පෙරවදන

“සීහළවත්‍ථු” නමැති පාළිපොත වනාහි විනාශමුඛයෙන් යන්තම් බේරා ගන්නා ලද්දකි. මෙහි ලක්දිව පිළිබඳ කථා රාශියක් ඇතත් සිංහල අකුරෙන් ලියැවුණු පොතක් තවම දකින්ට නොලැබුණි. කුඩා කාලයේදී සීහළවත්ථු - සහස්සවත්ථු යන පොත්දෙකේ නම් වත් මට අසන්ට නොලැබුණි. නමුත් 1908 වර්ෂයේ මා රැන්ගුන් නුවර සිටියදී මේ නම් දෙකම මට දකින්ට ලැබුණි. ඒවා දකින්ට ලැබුණේ ඒ නුවර මහා විද්‍යාලය භූමියෙහි තිබුණු බර්නාඩ් නිදහස් පුස්තකාලයේ පොත් ලැයිස්තු වලිනි. ඒ කාලයේදී නිතර මා ඒ පුස්තකාලයට ගොස් දුර්ලභ පොත් කීපයක් පිටපත් කරගත් නමුත් මාගේ සැලකිල්ල වැඩිපුර යොමුවී තිබුණේ අභිධර්මය පිළිබඳ පොත් කෙරෙහිය. පරමත්‍ථවිනිච්ඡය හා එහි ටීකාව, අභිධම්මාවතාරයේ සංක්‍ෂිප්තටීකාව, නාමරූප පරිච්ඡේදටීකාව ආදි පොත් කීපයක් මම සියතින්ම පිටපත් කරගතිමි. කථා වස්තු පොත් ගැන වැඩි ඕනෑකමක් නොතිබුණු බැවින් සීහළ වත්‍ථුව පිටපත් කරන්ට අදහස් නොකෙළෙමි.

පසු කලකදී සීහළවත්‍ථු - සහස්සවත්‍ථු දෙකෙන් අපේ ඉතිහාසය හා සිරිත් විරිත් ආදිය දැනගැනීමට උපකාර ලැබිය හැකියයි වැටහී ඒවා සෙවීමට උනන්දුවක් ඇතිවිය. මෙසේ සිටිනාතර ස-හස්ස (= සහාස) වත්‍ථුව ශුද්ධකොට සකස් කිරීමට මහාචාර්ය මලලසේකර මහතා උනන්දුවක් දැක්වීය. ස-හස්ස වත්‍ථුවේ පිටපතක් බර්නාඩ් පුස්තකාලයේ ඇති බව ඒ මහතාට දන්වා එහි අංකය ද යවා පිටපතක් ලියවාගන්නා ලෙස දැනුම් දුනිමි. එසේ ගෙන්වාගත් පිටපතක් ලංකා විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙහි ඇති බව පෙනේ. සීහළවත්‍ථු නාමය යෙදී ඇත්තේ ඒ ස-හස්සවත්‍ථුවටම ද යන සැකයක් ද ඇතිවූ බැවින් සීහළවත්‍ථුව ගැන ඒ මහතාගේත් උනන්දුවක් ඇති නොවීය.

මෙසේ පවත්නාතර දැන් විශ්ව විද්‍යාලය පුස්තකාලයේ උප ප්‍ර‍ධානතැනව සිටින කේ.ඩී. සෝමදාස (බී.ඒ.,ඇම්.ඇස්.) මහතා දකුණු පළාතේ පන්සල් පොත්ගුල්වල තිබෙන පුස්කොළපොත්වල නාමාවලියක් සම්පාදනය කළේය. එයින් මහත් ප්‍රයෝජන අත්විය. මෙරට නැතැයි අප සිතා සිටි පොත් කීපයක්ම, ඒ ඒ තැන තිබෙන බව එයින් දැනගන්ට ලැබුණි. විසුද්ධිමග්ගගණ්ඨි නැමැති පාලි පොතක් ඇති බව අපි නොදැන සිටියෙමු. නමුත් පාලි උගත් ඉන්දීය පණ්ඩිතයන් අතරෙහි අග්‍ර‍ගණ්‍ය වූ දැන් දිල්ලි විශ්ව විද්‍යාලයේ බෞද්ධාගමික අංශයේ ප්‍ර‍ධාන තැන්පත් පී.වී. බාපත් (ඇම්.ඒ, පී.එච්.ඩී.) මහතාට සියම් අකුරෙන් ලියූ ඒ පොතක් දකින්ට ලැබී ලක්දිවින්ද පිටපත් සෙවීම පිණිස 1950 දී මෙරටට පැමිණියේය. බොහෝ කලකට පෙරසිට මාගේ මිත්‍රයෙක්ව සිටි ඒ මහතාට විසුද්ධිමග්ගණ්ඨිය තිබෙන තැන් දෙකක් ගැන සෝමදාස මහතා දැනුම් දී තිබුණි. ඒවා ලබාගැනීමට පඬිතුමා මා වෙත පැමිණ මාගේ උපකාරය සෙවීය. මම ඒ පඬිවරයා සමග බූස්සේ සුදර්‍ශනාරාමයටද මාදම්පේ නිග්‍රොධාරාමයටද ගොස් ඉතා අමාරුවෙන් පොත් සපයා දුනිමි. ඉන්පසු පින්වත්තේ සඬර්‍මාකර පිරිවෙණාධිපති පණ්ඩිත දේවානන්ද ස්ථවිරතුමන් විසින් එය මුද්‍ර‍ණයට පමුණුවන ලදි.

සීහළවත්‍ථුවේ බුරුම අකුරෙන් ලියූ එකම පිටපතක් වැලිතර අම්බරුක්ඛාරාම පුස්තකාලයේ තිබී සෝමදාස මහතාට දකින්ට ලැබුණි. දිරාගිය බැවින් තැනින් තැනින් කැඩී යන ඒ පුස්කොළ පොත විශේෂයෙන් සෑදවූ පෙට්ටියක තැන්පත් කළ ඒ මහතා එය සිංහල අකුරෙන් පිටපත් කිරීම සඳහා මා වෙත එවීය. මම ද ඉතා කැමැත්තෙන් එය බාරගත් නමුත් පුස්කොළවල වාටිය කැඩී යාමෙන් ඇතැම් අකුරුද කැඩී ගොස් තිබුණ බැවින් ඇතැම් තැන්වල වචන තුනහතර නැතිව පිටපත් කරන්නට සිදුවිය. පසුකලක සෝමදාස මහතා ලක්දිව සැමතන තිබෙන පුස්කොළ පොත්වල නාමාවලියක් සපයා ගත් නමුත් සිහළවත්‍ථුවේ අන්‍ය පිටපතක් ඒ මහතාට සොයාගත නොහැකි විය. මා පිටපත් කළ පොතේ ප්‍ර‍වෘත්ති සිළුමිණ පත්‍රයේ පළවූ විට 1923 වර්‍ෂයේදී බුරුම රටට ගොස් සිටි හුණුමුල්ලේ සඬම්මඤාණ ස්ථවිරතුමන් විසින් එහිදී දිරාගිය පුස්කොළ පොතකින් පිටපත් කරගෙන තිබුනු පැන්සලෙන් ලියූ අත්කොපියක් මා වෙත එවන ලදී. එයින් ප්‍රීතියට පත් මම මා ලියාගත් පිටපත සමග සසඳා බලා පුස්කොළ කැඩීයාමෙන් අඩුවූ තැන් බොහොමයක් පුරවා ගත්තෙමි. අඹගහපිටියේ තිබෙන පොත ලක්දිවට ගෙනැවිත් අවුරුදු එක්සිය හැටක් පමණ ගතවෙන්ට ඇත. සඬම්මඤාණ ස්ථවිරතුමාට බුරුමේදී ලැබුණ පොතත් දිරා ගිය එකකැයි කියන බැවින් ඒ පොතත් අවුරුදු සියගණනක් පරණ වූවකි. නමුත් මේ බුරුම පිටපත් දෙකම ලියාගෙන තිබෙන්නේ එකම මුල්පිටපතකින් බව පෙනේ. අඹගහපිටියේ පොතේ අඩුතැන් ඒ පොතෙත් අඩුය. තේරුම් ගත නොහැකි සේ අවුල් වූ තැන් පොත් දෙකේම එකසේය.

මෙහි ප්‍ර‍ථම පරිච්ඡේදයේ කථා දශයක් ඇතැයි කියවෙන නමුත් මේ පොත් දෙකේම තිබෙන්නේ කථා අටකි. මහාචේතිය කථා - දීඝාවුචෙතිය කථා යන දෙක අඩුබව නිගමන ගාථාවලින් පෙනේ. මුල් පරිච්ඡේදයේ ඇතුළත් කථාවල පටුනක් නිගමන ගාථාවල ඇතත් ඉන් එහා තිබෙන කථා තිස් දෙකේ පටුනක් පොතේ නැත. ඒවා පසුව එක්කරන ලදැයි ද සිතිය හැක. මෙසේ මේ පිටපත් දෙකෙන් ශුද්ධ කළහැකි තරමක් ශුද්ධකොට විනාශවෙන්ට ගිය මේ පොත රටට දීම සුදුසු යයි සිතා සිටින විට සෝමදාස මහතාගේ ඉල්ලීමක් ලෙස ස-හස්සවත්ථුව සෙවීම සඳහා මම කොස්ගොඩ බෝගහපිටියේ විහාරයටද වැලිතර මහාකප්පිනමුදලින්දාරාමයට ද ගියෙමි. බෝගහපිටියේ විහාරස්ථානයෙහිත් අඹගහපිටියේ විහාරයෙහි මෙන් බුරුම අකුරෙන් ලියූ පුස්කොළපොත් රාශියක් තිබේ. ඒවා මින් අවුරුදු 150 කට පමණ උඩදී උඩරට අමරපුර නිකායේ ආදිපුරුෂෝත්තම වූ බෝගහපිටියේ ධම්මජෝති මහතෙරපාණන් විසින් ගෙනෙන ලද ඒවාය. ඒ විහාරස්ථානයට දෙගමනක් ගිය නමුත් ඕනෑකළ පොත සොයාගත නොහැකි විය. ඉන්පසු මහාකප්පින මුදලින්දාරාමයට ගියෙමි. දැනට එහි නේවාසික වූ මාවඩවිල පඤ්ඤාසේන ස්ථවිරතුමා ඉතා සතුටෙන් එහි තිබෙන පුස්කොළ පොත් පෙන්වීය. පොත් කීපයක් පරීක්ෂා කරන විට බුරුම අකුරෙන් ලියූ ස-හස්සවත්ථුව දකින්ට ලැබුණි. එය කම්බ නොදැමූ පොත් මිටියක් විය. ඒ මිටියෙහිම තවත් පොත් දෙකක් තිබෙන බව දැක ඒවාද පරීක්ෂණය කෙළෙමි. මට මහත් විස්මයක් ප්‍රීතියක් උපදවමින් එය සීහළවත්ථුවක් බව දකින්ට ලැබුණි. මෙය මෙතැන ඇති බවක් අයිතිකාරයෝත් නොදැන සිටියාහ. මමත් නොදැන සිටියෙමි. පොත් විමසා බැලූ සෝමදාස මහතාටත් අසු නොවීය. මේ පිටපත ඉතා හොඳ අලුත් තත්ත්වයකින් පැවැත්තේය. මෙය නොපසුබව උත්සාහයේ ප්‍ර‍තිඵලයක් වශයෙන් ලැබුණකැයි සිතමි.

මේ සීහළවත්ථු ස-හස්සවත්ථු පිටපත් දෙකම මම ඒ ස්ථවිරයන්ගෙන් ඉල්ලා ගෙනාවෙමි. මේ රටේ නැතැයි සිතා සිටි පොත් දෙකක්ම අම්බලම්ගොඩට නුදුරු තැනක අවුරුදු සියයකට වැඩි කලක් සැඟවී තිබුණි. හැම පොත්ම විමසා බලා නාමාවලියක් සෑදීමේ වැදගත්කම මෙයින් ඔප්පු වේ. (එවැනි නාමාවලියක් දැන් සෝමදාස මහතා විසින් මුද්‍ර‍ණය සඳහා සකස්කොට තිබේ.)

මේ පොතේ කර්‍තෘවරයා ධම්මනන්දි නම් තෙරනමකැයි පරිච්ඡේදාවසානයන්හි තිබෙන නිගමනවලින් පෙනේ. කර්තෘනාමය හැම තැනම පැහැදිලි නමුත් එතුමන් විසූ විහාරයේ නමත් ප්‍රදේශයේ නමක් එක් එක් පරිච්ඡේදයෙහි වෙනස්ව පෙනෙන බැවින් නිශ්චයකට පැමිණිය නොහැක. නමුත් ඒ නම්වලට කිට්ටු නම් ලක්දිව නැති බැවින් මෙය ලක්දිවදී සම්පාදිත වූවක් නොවන බව කිය හැක. විහාරයේ නම ඇතැම් තැනක පට්ටකොට්ටි යයි ද ඇතැම් තැනක සණ්ඩකොන්ති යයිද පෙනේ. උපන් ගමේ හෝ විසූ පෙදෙසේ නම කණ්ටකසෝලපට්ටන යයි පෙනේ. මේ නම් ඉන්දියාවේ නම් මිස ලක්දිව නම් යයි කිය නොහැක. මෙහි බැමිණිතියාසාය පිළිබඳ ප්‍ර‍වෘත්ති නොයෙක් තැන පෙනෙන බැවින් වළගම්බා රජුගේ කාලයෙන් පසු රචිතයයි කිය හැක. මෙහි ඇතුළත් කථා රාශියක්ම දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු සද්ධාතිස්ස රජුගේ කාලයේ දී සිදුවූ ඒවාය. ඒ දෙරජුන්ගේ නම් හැර අන් සිංහල රජකුගේ නමක් මෙහි ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. සුරට්ඨදේශය පිළිබඳ කථා හතක් ද මෙහි තිබේ.

මේ පොත හා පාළිපොත පළවූ පසු එයින් පිටපත් දෙකක් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට තෑගිකොට යැවීමි. ඒ මහතා පොත්දෙක පළකරවීම ගැන ස්තුතිය පුදන අතරම ඉතා වැදගත් කාරණයක් ද දන්වා එවීය. එය නම් “කණ්ටකසොලපට්ටන” යන නම දෙවෙනි ක්‍රිස්තුශතාබ්දය පමණේ දී නාගර්ජුන මහතෙරුන් විසූ මහා විද්‍යාලයක් හා මහාවිහාරයක් වූ බව ශ්‍රී පර්වතයෙහි තිබෙන ශිලා ලිපියක සඳහන් වෙන බවයි. “බෝධිසිරි” නම් උපාසිකාවක් තාම්‍ර‍පර්ණිද්වීපයෙන් යන ථේරීය භික්ෂූන්ට විසීම සඳහා නාගාර්ජුනකොණ්ඩයෙහි චේතියඝරයක් කරවීය. ඒ චේතියඝරයෙහි පිහිටෙව් ශිලාලිපියක ඒ උපාසිකාව අන්‍යස්ථානවල කෙරෙව් පින්කම් ද සඳහන් කොට තිබේ. ඒ පින්කම් අතරෙහි කණ්ටකසෝලයේ මහාචෛත්‍යයේ නැගෙනහිර දොරටුවේ ගල් මණ්ඩපයක් සෑදෙව් බව කියවේ. “ටොලමි” නම් ග්‍රීක් ජාතිකයා ලියූ දඹදිව භූමිශාස්ත්‍ර‍ය ඇතුළත් පොතේ මේ නම ‘Kantakassulos’(=කණ්ටකස්සුලෝ) යි ලියවී තිබේ. මෙය දැන් තෙලිඟුරටේ “ඝණ්ඩශාල” නමින් ප්‍ර‍කට ප්‍රදේශය විය හැකියි බොහෝ දෙනෙකුන් කියන බවත් පරණවිතාන මහතා කියයි. තවද ශ්‍රී පර්වත විහාරයේ සිංහලාරාමාදි ගොඩනැගිලි සාදවද්දී උපදෙස් දුන් ස්ථවිරතුන්නමෙන් එක් නමක් ධම්මනන්දි තෙර වී යයිද ඒ මහත්මා ශිලා ලිපි අනුව කියයි. මෙසේ අන්කිසි පොත පතකින් දකින්ට නොලැබුනු, මින් පෙර අපට අසන්ට නොලැබුනු නම් දෙකක් හෙළිකරදීම ගැන අප හැමගේ ස්තුතිය ආචාර්ය පරණවිතාන මහතා වෙත පිරිනැමිය යුතුය.

මේ කරුණු සලකා බලන විට ධම්මනන්දි තෙරනම ආන්ධ්‍රදේශයේ විසූවෙකැයි කිය යුතුය.

මෙහි තිබෙන ඇතැම් කථා රසවාහිනි - සහස්සවත්ථුවල දකින්ට ලැබෙතත් ඒවායේ වෙනස්කම් ද ඇත්තාහ. ඒ පොත් කිසිවක නැති කථාරාශියක් මෙහි විද්‍යාමාන වේ. කෙසේ වෙතත් මෙය අටුවාකාලයට පෙර ලියනලද්දකැ යි සිතීමට කරුණු පෙනෙත්. මෙහි එක් කථාවක පෙනෙන්නේ වැදගත් අවස්ථාවලදී සක්දෙව් රජුගේ ශෛලාසනය රත්වූවා නොව සෙලවෙන්ට පටන්ගත් බවයි. ධර්‍මාශෝක කාලයේ දී විසූ කුන්තිපුත්ත තෙරදෙනමගේ කථාව විස්තර ලෙස අන් කිසි පොතක මා විසින් නොදක්නා ලදි. මෙහි එය ඉතා විස්තර ලෙස දැක්වේ. කිඳුරියන් පක්ෂිවර්ගයක් නොවන හැම අඟපසඟින් යුත් මනුෂ්‍ය ස්ත්‍රී වර්ගයක් බව මේ කථාවෙන් පෙනේ. ඔවුන් අහසින් ගමන් කොට තිබෙන්නේ ඇඳුමක බලයෙනි. දඹදිව සාගවාහන රජුන් ගැන විස්තරයක් එක් කථාවක පෙනේ.

මේ පොතේ පෙනෙන සුරට්ඨදේශය පිළිබඳ කථාවන්හි ඇතුළත් නම් ගම් ගැන දිල්ලි විශ්වවිද්‍යාලයේ බාපත් පඬිතුමාගෙන් විචාරා යැවූ විට ඒ මහතා ඒ තොරතුරු හොඳින් දන්නා තමාගේ මිත්‍ර‍යකුගෙන් ඒ ගැන විමසා යවා තිබේ. එබැවින් පඬිතුමාගෙන් උත්තරයක් ලැබුණේ පාළිපොතේ සංඥාපනය ලියද්දීය. ඒ නම් සෙවීම දැන් අපහසු බව මේ උත්තරයෙන් පෙනේ. සුරට්ඨදේශය දැන් බටහිර ඉන්දියාවේ කතියාචාඩ් පෙදෙසේ ඇතුළත්ය.

මෙහි පාළිපොත පසුගිය අප්‍රේල් මස මුලදී මුද්‍ර‍ණයට පත්විය. මෙහිදී පළමුවෙන්ම මාගේ ස්තුතිය හිමිවන්නේ ශාස්ත්‍රාචාර්ය කේ.ඩී. සෝමදාස මහතාට හා ඒ මහතාට පොත බාරදුන් අම්බරුක්ඛාරාමාධිපති මහානායක ස්ථවිරතුමන්ටය. දෙවෙනිව තමාගේ අත්පිටපත එවූ සද්ධම්මඤාණ ස්ථවිරතුමාට හා ඉතා හොඳ තත්ත්වයේ තිබෙන පුස්කොළ පොතක් බාරදුන් මාවඩවිල පඤ්ඤාසේන ස්ථවිරතුමන්ටය. මුල්වාරයේ දී පොත් දාහක් පමණක් මුද්‍ර‍ණය කළ බැවින් මෙය නැවත වරක් ඉක්මනින් මුද්‍ර‍ණය කරවන්ට සිදුවිය.

මේ දෙවෙනි මුද්‍ර‍ණයේ දී ස-හස්ස (=සහාස) වත්ථුවෙන් උපුටා සිංහලට නැගූ කථා හයක් ද එක් කරන ලදි. ඒ කථා බොහොමයකින් සීහළවත්ථුවේ කියවුණු කථාවල අඩුපාඩු පිරෙන බව සැලකිය යුතුයි. සීහළවත්ථුවේ විස්තර නොවූ ද, ඉතා කොටින් කියවන්නා වූ ද කරුනු ඒ කථාවලින් විස්තර වෙති. ස-හස්සවත්ථුව කෙබඳු පොතක් ද යන්නත් එයින් වටහාගත හැක.

සීහළවත්ථු - සහස්සවත්ථු - රසවාහිනී යන පොත් තුන ක්‍ර‍මයෙන් එකිනෙකට පැරණිය. එයින් පළමුපොත ආන්ධ්‍රදේශයේ දී ද පසුව කියවුණු පොත් දෙක ලද්දිව දී ද සම්පාදිත වූහ. “සහස්සවත්ථු” යන්නේ තේරුම “කථාදහසක්” යන්න නොවේ. සහර්‍ෂ (=සතුට උපදවන) කථා යන්නයි. මහාචාර්ය මලලසේකර, මහාචාර්ය වල්පොල රාහුලස්ථවිර යන දෙදෙනා ද ඒ මතය ප්‍ර‍කාශ කරති. මේ පොතේ කථා දහසක් තබා සියයක්වත් නැත. මහාචාර්ය මලලසේකර මහතාගේ මෙහෙයීමෙන් මේ පොත ශුද්ධකොට පළකිරීමට අදහසක් රාහුල ස්ථවිරයන් වෙත තිබුණ නමුත් ඒ ස්ථවිරයන් පිටරට යාම නිසා එය නැවතුණි. නමුත් ඒ ස්ථවිරයන් පී.එච්.ඩී. උපාධිය සඳහා ලියූ නිබන්දනයෙහි සහස්සවත්ථුව ගැන කියයුතු කරුණු රාශියක් ඇතුළත් කොට තිබේ. ඒ පොත පමපූර්‍ණ ශුද්දියකට පමුණුවනතුරු පළ නොකළ යුතුය යන අදහසක් ද එහි දක්වා තිබේ. එය ලියා තිබෙන්නේ බොහෝ තැන්වලදී පාලි ව්‍යාකරණ රීතිවලට විරුද්ධ ලෙස බැවින් එය සම්පූර්ණ ශුද්ධියකට පැමිණවීම නොහැකිය. එහි පිටපත් සමාන කොට සලකා බලා තිබෙන සැටියෙන් වැරදි සහිතව පළකරවීම අපේ යුතුකමකි. රැන්ගන් විශ්ව විද්‍යාලයේ පාලි කථිකාචාර්ය වූ ද මාගේ මිත්‍ර‍යකුවූ ද දේවප්‍ර‍සාද් ගුහා මහතා ද බොහෝ කලක සිට මෙය ශුද්ධ කරන්ට උත්සාහ ගනිමින් සිටී. කීපවරක් මා හමුවී ඒ ගැන කථා ද කෙළේය. මේ අතරේ දී මා මුලින් නම් සඳහන් කළ සෝමදාස මහතා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන පිටපත් දෙකකින් ලබාගත් ඡායාරූප කොපි ආශ්‍ර‍ය කොට මෙය සිංහල අකුරෙන් ලියා බර්නාඩ් නිදහස් පුස්තකාලයෙන් ලියවා ගෙන්වාගත් පිටපතට ද සමකොට බලා තවත් බුරුම පිටපත් සමග බලන්ට මා වෙත එවීය. ඉන්පසු එය පළකරවන්ට ඒ මහතා බලාපොරොත්තු වූ නමුත් මේ ජුනි මාසයේ දී ඒ මහතා යුරෝපයේ මාස කීපයක් නැවතීම පිණිස ගිය බැවින් ඒ අත්පිටපත් මා වෙත එවා එය ශුද්ධ කරන ලෙස මටම ආරාධනා කෙළේය. ඒ ආරාධනාව ලෙස දැන් මම එය සකස් කරමි. එය නොබෝ කලකින් පළකළ හැකි වෙනවා ඇතැයි සිතමි.

ස-හස්සවත්ථුවේ ව්‍යාකරණ දෝෂාදිය දුරුකොට තවත් විස්තර ඇතිව “රසවාහිනී” නමැති පාලිපොත සම්පාදිත විය. ඊටත් පසු කලක තවත් විස්තර සහිත කොට “සද්ධර්මාලංකාර” නමැති සිංහල ග්‍ර‍න්ථය සම්පාදිත විය. මේ නිසා මේ පොත් තුනේ කියවෙන නම් ගම් ආදිය නිශ්චය කර ගැනීමට අපට උපකාරයක් ලැබේ. ඒ නම් ගම් වෙනස් වී යෙදී තිබෙන සැටි මා විසින් එහි අධොලිපි වලින් දක්වනු ලැබේ.

ගොඨයිම්බර යෝධයා හා මහසෝණ යක්ෂයා අතර සිදුවූ ද්වන්දව යුද්ධය ගැන කියවෙන තැන “ස-හස්සවත්ථුවෙහි “ත්‍වංමයා සහ පොදං කිළිතුං සමත්‍ථො” යන්නක් පෙනේ. එහිම “ජයසෙනයක්ඛෙන සධිං පොදං කිළිතුං ආගතොමගි” යන්නද පෙනේ. තවත් දෙතැනක එය තිබෙන බැවින් මේ “පොදං” යන්න අවපාඨයකැයි කිය නොහැක. “පොරබැදීමට” හෙවත් “ගුස්ති ඇල්ලීමට” යන තේරුම සඳහා මෙය යොදා තිබේ. “පොදං” යි පාලිවචනයක් නැත. නමුත් වංගජාතිකයෙක් වූ ඩි. ගුහා මහතා රැන්ගුමේදී මා සමඟ කීවේ පොරබැදීම සඳහා දැනුත් වංගභාෂාවේ මෙවැනි ව්‍යවහාරයක් තිබෙන බවය. ඒ නිසා මේ වචන වැරදිය කියා ඉවත් කර දැමීම යුතු නොවේ. අන්‍යභාෂා ව්‍යවහාරවලින් ආ වචනදැයි විමසිය යුතුය.

පොල්වත්තේ බුද්ධදත්ත (නායක ස්ථවිර)

15.06.1959

අම්බලන්ගොඩ.

පොත ගැන

“සීහල වත්ථු” ඉපැරණි පොතේ සිංහල අනුවාදයේ නව සංස්කරණය “ඉතා පැරණි සිංහල බණකතා” නමින් ඔබ අතට එයි. සිහලවත්ථු නම් පොත අපේ මහාවංසයටත් වඩා පැරණිය. සමහරවිට මහාවංසය ලිවීමේ දී මහානාම හිමියන් සිහලවත්ථු හා සහස්සවත්ථු පොත් කියවන්නට ඇතැයි විද්වත්හු කල්පනා කරති. එය රචනා කර ඇත්තේ කණ්ටක සෝල පටුනේ ආචාර්ය ධම්මදින්න යතිවරයාණන් විසිනි. මේ පොතේ එන කතා බොහොමයක ලංකාවේ බැමිණිතියා සාය ගැන විස්තර සඳහනි. එසේම සද්ධාතිස්ස රජුගේ දින චරියාව පමණක් නොව දන් දෙන්නන්ට එරජ විසින් කරන ලද සැලකිලි සත්කාර හා සම්මාන ගැනද මෙහි සඳහනි. මෙහි සඳහන් කතා වලින් වැඩි කොටස දානානිසංස දක්වන කතාය. විශේෂය නම් දායකයන් විසින් දුකසේ පිරිනමන ලද සිවුපසය දායකයාට වඩා යහපතක්ම වන අයුරින් පරිභෝජනය කිරීම භික්ෂූන් වහන්සේලා දැඩි අධිෂ්ඨානයෙන් මහණදම් පිරීමට ගත් උත්සාහය දැක්වීමයි.

අපේ පැරණි ජනශ්‍රැති - ජනප්‍ර‍වාදවල එන කරුණුවලට වඩා බොහොමයක් කරුණු මෙහි කතාවලින් හෙළිදරව් වේ. කාවන්තිස්ස හා විහාරමහාදේවිය රජ පවුල් දෙකක එකට හැදුනු වැඩුනු බව, සාලිය කුමරු, අශෝකමාලා විවාහයේදී දුටුගැමුණු රජුගේ පිළිවෙත, දුටුගැමුණු රජුගේ මරණය ආදිය එවැනි තැන් කීපයකි. ලංකාවේ භික්ෂූන් දඹදිව බලා පිටත් වූ නැව් තොටවල් පිළිබඳවද විස්තර ඇත. ඒ අනුව ඉතිහාසගත කරුණු ද පිරික්සීමේදී මෙම පොත වැදගත් වේ.

සාංඝික දේපල වැරදි ලෙස පරිහරණය කළ හා විනාශ කල අය ගල් පෙරේතයන් වී ඉපදුනු හැටි බණකතා කීපයක සඳහනි. සාංඝික දේපල යනු පොදු දේපල කොටසකි. පොදු ජනයා සතු පොදු දේපල වැරදි ලෙස පරිහරණය කරන්නන්ට අනාගතයේ දී එවැනි දුක් විපාක විඳින්නට සිදුවන බව ඒ මගින් උගන්වයි. පවට බියවීම උසස් ගුණ ධර්මයකි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල-තරුණ-මහළු-ස්ත්‍රී-පුරුෂ-ගිහි-පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි කතාය. චරිත නිර්මාණයට ගුණ දහම් වගාවට උපකාර වන කරුණු ඒ හැම කතාවකම අඩංගුය.

ලංකාවේදී සොයා ගැනීමට අපහසුව පැවති “සීහලවත්ථු” නම් පාළි පොත මහත් ආයාසයකින් සොයාගෙන එය සිංහලට පරිවර්තනය කිරීමෙන් පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මාහිමිපාණන් වහන්සේ කළ ශාස්ත්‍රීය සේවයට වියත් අවියත් හැම කෙනෙක්ම පිදිය යුතුය. ගරු කළ යුතුය. උපහාර දැක්විය යුතුය.

වසර 45 කට පමණ පෙර නිකුත් වූ මෙම ඉපැරණි බණ කතා පොත නැවත මුද්‍ර‍ණය කිරීමට අප පෙළඹුනේ මෙම කතාවලින් ගිහි පැවිදි දෙපිරිස තුළම ගුණ වගාවත් - සසරින් එතෙර වීමේ දැඩි උවමනාවත් ඇති කරන්නට පොහෝනා ග්‍ර‍න්ථයක් වීම නිසා පමණක්ම නොව ඓතිහාසික මූලාශ්‍ර‍ ග්‍ර‍න්ථයක් වශයෙන් විද්වතුන්ට හා විද්වතුන් වීමට වෙර දරන්නන්ට පහසුවෙන් සපයා දීමෙන් ශාස්ත්‍රීය සේවයක් කිරීමේද බලාපොරොත්තුවෙනි.

දර්ශනීය ලෙස “ඉතා පැරණි බණකතා” නව සංස්කරණය මුද්‍ර‍ණය කළ සීමාසහිත ග්ලෝබල් ග්‍රැෆික්ස් සහ ප්‍රින්ටින් (පෞද්.) සමාගම කළමනාකාරතුමා ප්‍ර‍ධාන සේවක මහත්ම මහත්මීන්ටද පොත සකස් කිරීම සඳහා මට සහාය වූ අනෙක් සියළු දෙනාටමද කෘතඥතා පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි.

මෙයට, සසුන් වැඩ කැමති

කිරම විමලජෝති ස්ථවිර

අධ්‍යක්ෂ - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.