26. චුල්ලී උපාසිකාවගේ කථාව

(මෙසේ අසන්ට ලැබේ:) (1) මෝරුන්ට වාසස්ථාන වූ සාගරය මැද සක්දෙව් රජු විසින් මවන ලද පියංගුදීප නැමති උතුම් දිවයිනක්ම වේ. (2) ෂඩභිඥාලාභී වූ මහත් සෘද්ධි ඇති කනපියපුත්ත - තිස්ස තෙරනම දහසක් තරුණයන් විසින් පිරිවරන ලදුව එහි වාසය කරයි. (3) ඒ තෙරුන් සමීපයෙහි චුල්ලනාග නමැති කීකරු හෙරණ නමක් පැවිදි විය. (4) ඒ කාලයේදී තාම්‍ර‍පර්ණි ද්වීපයෙහි සුලුගමේ උපන් බැවින් චුල්ල නමැති උපාසිකාවක් (5) රත්නත්‍රයෙහි ප්‍ර‍සන්න වූවා බුදුසස්නෙහි ශ්‍ර‍ද්ධා ඇත්තී මැඩ දැමූ පිදුරු ගොඩවල් අවුස්සා ධාන්‍ය රැස් කරයි. (6) ඕ තොමෝ ඒ ධාන්‍ය ස්වකීය ගෙට ගෙන ගොස් සංඝයාගෙන් නමක් ඉල්වාගෙන සුලුකැඳක්ද බතක් ද දුන්නීය. (7) ඒ කාලයේ දී තිස්ස තෙරුන්ගේ කුසයෙහි වාතයක් හටගත් බැවින් උපස්ථායක සාමණේරයන් අමතා මෙසේ කීය. (8) “සාමණේරය, තෝ සිංහල ද්වීපයෙහි *[1]චූලකාලගමෙහි චුල්ලී උපාසිකාව සමීපයට යව.” (9) මහත් සෘද්ධි ඇති චුල්ලනාග තෙමේ යහපතැයි කියා අහසට නැග හෙළදිව සංඝාරාමයෙහි ගොඩ බැස්සේය. (10) සංඝයාට සලාක බෙදන කල්හි වැඩිමහලු පිළිවෙළින් බෙදූ බැවින් ඕ හට සුලු කැඳ සලාකය ලැබුණි. (11) ඉක්බිති නුවණැති ඒ හෙරණනම සඟළ සිවුර පොරවා පාත්‍ර‍ය අතින් ගෙන යට බැහූ ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගොස් චුල්ලිය ඉදිරියෙහි සිටියේය. (12) ඒ උපාසිකාව උපශාන්ත වූ දිනූ ඉඳුරන් ඇති ඒ හෙරණ නම දුටු පමණින් සතුටුව පහන් සිතැතිව ආසනයක් පැන විය. (13) මොහොතක් වැඩ හිඳ පා සෝදාගත් හෙරණ නම ඒ කැඳ උපාධ්‍යය තෙරුන් සඳහා ගෙන යන්නෙමියි කීය. (14) “ස්වාමීනි, මේ කැඳ වලඳා ඉතිරි කැඳ ගෙනයනු මැනවි. දුගී වූ මට අනුකම්පා කොට මෙය වලඳනු මැනව”යි උපාසිකාව කීය. (15) හෙරණ නම ඒ කැඳ වලඳා පාත්‍ර‍ය සෝදා ඇයට දුණි. ඕ තොමෝ පාත්‍ර‍ය නැවත පුරවා දී දොරටුව කරා පැමිණියාය. (16) ඒ ප්‍රාඥතෙමේ බමරෙකු වැනි පාත්‍ර‍ය ඉදිරියෙන් යවා අහසෙහි යන හංසරාජයෙකු මෙන් එය පස්සෙන් ගියේය. (17) මිනිසුන් බලා සිටියදීම පුවඟු දිවයිනට පැමිණි හෙරණ නම ඒ කැඳ ගෙනවුත් තෙරුන්ට පිළිගැන්වීය. (18) කනපියතිස්ස තෙරනම ඒ කැඳ දසදහස් නමකට බෙදා දී පසුව තෙමේ වැලඳී. (18) එය බී කෙණෙහි තෙරනම සුවපත් විය. එය දුටු (ලක්දිව) රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සාධුකාර දුණි.

එය ඇසූ රජතෙම දේවතාව අමතා (19) ඔබ මාගේ දානයත් සෘද්ධියත් දැනගත්තේ දැන්ද? කුමක් හෙයින් දැන් සතුටු සිතැතිව සාධුකාර දෙන්නෙහිදැයි විචාළේය. (20) මහරජ, මම ඔබට සාධුකාර නොදෙමි. මම චුල්ලී උපාසිකාවට සාධුකාර දෙමි. ඕ දක්ෂිණාර්හ වූ තාදී ගුණ ඇති රහතන්ට දනක් දුන්නී යයි දේවතාවා කීය. (21) එය‘සා සතුටු සිතැති රජ ඇය සොයා ගෙනව; ඕ මාගේ දුවක් වන්නීයයි කියා ඈ ගෙන ඒම පිණිස ඇමතියකු යැවීය. කථා වස්තුව විස්තර කළ යුතුය. ඕ තොමෝ ඒ ඇමතියාගේ භාර්යාව විය. ඇගේ මරණකාලයෙහි සදෙව්ලොවින් රථ පැමිණියාහ. ඇය රථවල සිටියන් හා කථා කරන විට ඇතැම් කෙනෙක් ඇය දොඩවන්නීයයි කීහ. (22) මම ප්‍ර‍ලාප නොදොඩමි; දේවතාවෝ අවුත් ඔවුන්ගේ රථවලට මා කැඳවමින් මා ඉක්මන් කරවතියි භික්ෂූන්ට කී ඕ මෙසේද කීය: (23) හෙළදිව යම් පමණක් භික්ෂූන් වෙසෙත් නම් ඒ සියළු භික්ෂූන්ට තුන්වරක් තුන්සිවුරු දුනිමි. (24) පහන් දහස බැගින් දහස් වරක් මා විසින් දල්වන ලදහ. අකාලධර්ම ශ්‍ර‍වණ දහසක් ද මා විසින් පවත්වන ලදි. (25) මී පැණි, ගිතෙල් තෙල් පැණි යන මේවා බොහෝ වාරවලදී බොහෝ සේ දෙන ලදි. මම දැන් කුමකට ප්‍ර‍ලාප දොඩවම්ද? (26) අවසන් කාලයෙහි කළදේ දෙන්නාගේ සිත ප්‍රීතිමත් කරවයි. බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍ර‍ය ආශ්‍රිත වූ බොහෝ පින් කොට ශාක්‍යසිංහයන්ගේ ශාසනයෙහි මට ප්‍රීතියක්ද සොම්නසක් ද ඇති විය. මට තැති ගැන්මක් නැත. (28) දෙව්ලෝවලින් උතුම් රථ ඇවිත් මා ඉදිරියෙහි සිටිත්. ඒ දෙව්ලෝවලින් කවර එකක් යහපත් ද ප්‍ර‍ශස්තදැයි මට කියනු මැනවි. (භික්ෂූහු මෙසේ කීහ.) (29) රහතන් වසන නුවරක් මෙන් අප්‍ර‍මාදීන් වසන්නා වූ ඉතා යහපත් වූ තුසිත දෙව්ලොවැ ධර්ම කථාව හැමකල්හි බහුලයෙන් පවත්නේය. අජිත නමින් පැවිදි වී සිටි මෙතේ බෝසත් තෙමේද එහි වෙයි.

(30) මෙසේ බොහෝ පින් කළ බුද්ධ වචනයෙහි පැහැදීම ලැබූ ඕ තොමෝ තුසිත පුරයෙන් ගෙනා රථයෙහි නැඟී අහසින් යයි. (31) යම් කෙනෙක් දශකුශලයන්හි හැසිර සර්වඥ දේශිත වූ ධර්මය පිළිපදින්නාහු නම් ඔවුහු පින්පල ලැබීමට ක්‍ෂේත්‍ර‍යක් වූ ස්වර්ගයට උතුම් රථවලින් යති.

  1. “සුළුගල” විය හැක.