(1) කාශ්‍යප බුදු රදුන්ටත් ගෞතම බුදුරදුන්ටත් අතර කාලයෙහි අතිදේව රජුගේ පුත්‍ර වූ රජෙක් විය. (2) හෙතෙම ධාර්මික වුවත් ධනයෙන් හීන විය. ධනය රැස්කරනු කැමති හෙතෙම ඇමතියනට මෙසේ කී: (3) මිත්‍රවරුනි, රාජ කෝෂයෙන් බලමින් ඇවිද්ද මට එහි ධනය හීන වී තිබෙන බව පෙනුණි. එබැවින් එය (4) ධාර්මික සේ පිරවිය යුතුය, අධාර්මික ලෙස නොපිරවිය යුතුය එය සමාකාරයෙන් මිස විෂමාකාරයෙන් නොකළ යුතුය. ඒ කීම ඇසූ එක් ඇමතියෙක් (5) “ජනපදය, සමෘද්ධිය, ජනපද වාසීහු රජුට ධනය දෙත්වා. රන් රිදියෙන් පිරවූ බොහෝ භාජන ගෙයක් පාසා වෙති; මිනිසුන් අයත් කෝටි ගණන් රන්කාසි ද ඇත්තාහ”යි කීය. (6) “මිත්‍රය, එසේ නොකියව, අධර්මය නොපවතීවා; ධාර්මිකව මියයාම යහපත් වුවත් අධාර්මිකව ජීවත්වීම අයෝග්‍යය. (7) අපි දෙදෙන අප්‍රකට වේශයකින් රටේ ඇවිද රටේ තිබෙන ධනය විමසා බලමු”යි රජ කීය.
(8) ඒ දෙදෙන කිලිටි වස්ත්‍ර ඇඳගෙන ශරීරාවයවද වෙනස් කරගෙන ඇවිදිමින් එක් ගමකට පැමිණියහ. (9) එහි එක් ගෙයකට ගිය ඔවුහු ගෘහණිය අමතා “මෑණියෙනි, අපි මගියෝ වෙමු. ඔබගෙන් කෑම කන්ට කැමැත්තෙමු”යි කීහ. (10) “දරුවෙනි, එව්, මේ පැනවූ ආසනවල හිඳගනිව්, කැමති සේ අනුභව කොට යව්” යයි ගෘහණිය කීය. (11) ඔවුන් ආසනවල හිඳගත් පසු ආහාර සම්පාදනය කළ ඕතොමෝ මොවුන් සියුමැලි ශරීර ඇත්තවුන් බව දැක (12) “දරුවෙනි, පිරිසිදු උක්පැණි හා අනුභව කරනු කැමැත්තහුද? නැතහොත් දීකිරි සමඟ හෝ ගිතෙල් සමග අනුභව කරනු කැමැත්තහුදැයි මට කිව මැනවැ”යි කීය. (13) ඇගේ බස් ඇසූ මේ දෙදෙන ශාන්ත සිතැතිව “මෑණියෙනි, උක්පැණි සමග දෙව”යි කීහ. (14) ඕතොමෝ යහපතැයි කියා පිරිසිදු භාජනයක් ගෙන උක්වත්තට ගොස් (15) උක්ගසක් කඩා පැණි බේරාගැනීම සඳහා එය අත්වලින් ඇඹරීය. මුළු ශක්තියෙන් ඇඹරීම කළත් පැණි බින්දුවක් වත් නොවැගුරුණි. (16) ඉක්බිති උක්ගත මිරිකා අඹරන ස්ත්‍රිය දුටු ඔවුහු ගෘහණියගෙන් මෙසේ විචාළාහ: (17) ඔබ දෑතින් උක්ගස්කඩක් ගෙන අඹරන නමුත් වේලුණු උක්ගසේ පැණි වැගිරීමක් කොයින්ද (18) ගෘහණිය මෙසේ කී: “දරුවෙනි, පෙර මම මෙසේ උක්ගස් ඇඹරුවෙමි. පුරුක් දෙකක් අතරෙහි නැළියක් පමණ පැණි තිබුණි.” (19) “මෑණියෙනි, කිනම් වරදකින් මේ උක්ගස වියලී ගියේ දැයි අපි ඔබගෙන් විචාරමු”යි ඒ දෙදෙන කීහ. (20) දරුවෙනි, රජතෙම ලෝභීය, නොසතුටු සිතැත්තේය. ලෝභයෙන් යුතුව තමා කැමති දේ කරන්නේය. (21) ඒ වරදින් උක්ගස්වල හා අන්ගස්වල ඇති රසය වියලී ගියේය යි මම සිතමියි ගෘහණිය කීය.
(22) මෑණියෙනි, ලෝභීවූ රජ කුමක් කරන්නේද? ලෝකයාගේ පිරිහීම හෝ අභිවෘද්ධිය ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? ඕ තොමෝ මෙසේ කියයි: (23) මේ තෙමේ මවක් හෝ පියෙකු මෙන් ලෝකය පාලනය කෙරේ නම් රටවැසියෝ සුවසේ ජීවත්වෙති. (24) අධර්මයෙන් පවත්නා රජතෙමේ දරුණු වෙයි. ඒ නපුරු රජුගේ වරදින් ලෝකය වහා විනාශ වෙයි. (25) නොකල්හි වැසි වසී; සුදුසුකල්හි වැසි නොවසී. රජු අධාර්මික වූ විට වැසි වැසීම විෂම වේ. (26) අධාර්මික රාජකාලයෙහි හැල්-වී ආදියද මෑ මුං ආදියද පිරිහෙති. නැතහොත් විෂම ලෙස පැසෙති. (27) මිහිරි රස, කුළු රස, තිත්ත-කසට-ලුණු රස යන මොහු නීරස වෙති. (28) අල හා ගෙඩි වර්ගද හැම ඖෂධීන්ගේ*[1] ඕජා ද අඩුවෙති, දුර්ලභ වෙති. (29) වංචාකිරීම්, හෙට්ටු කිරීම්, කපටි කම්ද, සොරකම් හා පාරදාරික කර්මයද යන හැම අනර්ථයෝ වැඩෙත්. (30) කිරි දෙන්නා වූ එළදෙන් මීදෙන් ආදීහු කිරෙන් පිරිහෙති. (31) මල් හා ගෙඩි උපදවන ගස්වල මල් ද ගෙඩි ද අඩුවෙති. (32) රජු අධාර්මික වූ විට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ද අන්යදෘෂ්ටි ගත්තන්ගේ ද සිල් තපස් ගුණ පිරිහෙති. (33) අධාර්මික රජු ආශ්‍රය කරන පිරිස ද දශවිධ සංග්‍රහයෙන් පිරිහේ. (34) ධර්මයෙහි පවත්නා කරුණා සිතැති රජකු ඇති කල්හි ඒ යහපත් රජුගේ තේජසින් ලෝකය වහා දියුණු වෙයි. (35) එකල යෝග්‍ය කාලයෙහි වැසි වසී; නොකල්හි නොවසී; හැම තැන සමසේ වසී. (36) රජු ධාර්මික වූ විට මුං මෑ ආදිහු ද ඇල් වී ආදීහු ද හැම තැන්හි සමසේ වැඩෙත්. (37) රජු ධාර්මික වූ විට මිහිරි රස-කළු රස-තිත්ත රස-කසට රස-ලුණු රස යන මොහු ස්වකීය රසයෙන් ආඪ්‍ය වෙති. (38) එවැනි කාලයෙහි හැම ඖෂධීජාතීන්ගේ ඕජාවෝ බහුල ද ශක්තිමත් ද වෙති. (39) වංචාකිරීම් නැවත ඇවිස්සීම් කපටිකම් යන මොහු ද සොරකම පරදාරසේවනය ආදී පව්කම් ද නැති වෙති. (40) කිරි දෙන දෙනුන්ගේ කිරි බහුල වේ. (41) මල් හා ගෙඩි උපදවන වෘක්ෂයෝ බොහෝ මල් හා ගෙඩි උපදවති. (42) රජු ධාර්මික වූ කල්හි මහණ බමුණන්ගේ ද පැවිද්දන්ගේ ද සිල් හා තපස් අභිවෘද්ධියට පැමිණෙති. (43) ලෝභය හා ද්වේෂය නිසා පිරිහෙන දුෂ්ට නපුරු රජුගේ කාලයේදී ගුණය සැඟවේ. ගුණයාගේ වැඩීම ද නවතී. (44) රජු ධර්මයෙන් රාජ්‍යය කොට ස්වර්ගයට යයි; අධර්මයෙන් රාජ්‍යය කොට අපායට යයි. (45) කීර්තිමත් පෞරාණික රජවරු ධර්මයෙන් ලෝකය පාලනය කළහයි මට අසන්ට ලැබේ.
(46) ගෘහණියගෙන් උක්ගස වියලීයාමේ හේතුව ඇසූ රජ ඇමතියා දෙස බලා මෙසේ කීය: (47) ලෝභයෙන් යුත් සිත ඉපදෙව් පමණින්ම මේ හැම රසයෝ වියලී ගියහ. යම් කලක ඒවා ගනිම් නම් එදා සිදුවෙන දේ ගැන කුමට කියම් ද? (48) අධර්මයෙන් යුක්තව ධනය රැස්කොට ඇත් අස් ගවාදීන් පෝෂණය කොට නරකයට යන්නේය. (49) අධාර්මික ධනොපාර්ජනයෙහි දෝෂය ඔබ විසින් මෙසේ ප්රත්යක්ෂ වශයෙන් දක්වන ලදි. මම හැරී යන්නෙමි; මට ධන රැස්කිරීමෙන් වැඩක් නැත. (50) ඒ රජ එතැනින් නැවතී ධර්මයෙන් රාජ්‍යය කොට ආයුෂ කෙළවරදී ස්වර්ගයට ගියේය. (51) මෙසේ මෙහි දැක්වූ ධර්මය මෙලොව අභිවෘද්ධිය ද පරලොව සුගතිය ද ගෙන දෙයි.
කණ්ටකසෝලපටුනෙහි උපන් පට්ටකොට්ටි විහාරවාසි ආචාර්ය ධම්මදින්න තෙරුන් විසින් සම්පාදිත සීහළවත්ථුව හා සුරඨවත්ථුවයි.
පස්වෙනි පරිච්ඡේදය නිමියේය.
-
එක් වරක් ගෙඩි හටගෙන මැරීයන මිරිස් ආදි ගස් ඖෂධී ගණයට ඇතුළත් වෙති. ↑