හෙළදිව දුර්භික්ෂ කාලයකදී ඝෝණ නමැති එක්තරා බාලයෙක් මහල්ලකු සමග ඇවිදිනේ මහා විහාරයට ආවේය. ඔහු දුටු එක් තෙරනමක් “මහල්ලා අත්හැර පැවිදි නොවන්නේ කුමක් හෙයින්දැ”යි ඇසීය. “ව්‍යසනයට පත් මා වැනියකු පැවිදි කරන්නේ කවරෙක්දැ”යි බැලයා කීවිට තෙරනම මේතෙම අනාගතයේදී ශාසනයෙහි සැලකිය යුත්තෙක් වන්නේ යයි දැන ඔහු මහල්ලාගෙන් වෙන්කොට කරුණාවෙන් පැවිදි කරවිය; මනාසේ ඉගැන්වීමද කෙළේය.
පසුකලක තෙරුන්ට බුදුරදුන්ගේ උත්පත්ති ස්ථානය ආදි පූජ්‍ය ස්ථාන සතර වැඳීමට සිතක් උපණි. එතුමා සාමණේර නම අමතා “පිණ්ඩපාතය කොට වලඳා මෙහිම වාසය කරව; මම චෛත්‍යයන් වැඳ නැවත එන්නෙමි”යි කීය. හෙරණනම “මාගේ ජීවිතය ඇතිතාක් මම ඔබ අත් නොහරින්නෙමි”යි කීය. ඉක්බිති තෙරනම ඒ හෙරණනමත් කැටිව තවලම්කාරයන් සමූහයක් සමග ගමනට පිටත් විය. වනය මැදදී තෙරුන්ට වාතරෝගයක් උපණි. එය මාරාන්තික විය. එවිට තෙරනම ඉතිරි භික්ෂූන්ට කථාකොට “මම දැන් මරණයට පත්වන්නෙමි, ඔබ වහන්සේ වැඩිය මැනවි. හැමදෙන විපතට පත්වීමෙන් කම් නැතැ”යි කීය. ඒ සියලු භික්ෂූන් ගිය නමුත් සාමණේර නම නොගියේය. තෙරුන් විසින් පිටත් කරන ලද නමුත් ඔබවහන්සේ ජීවත්ව සිටින තුරු මම නොයමි”යි කීය. තෙරනම පිරිනිවියේය. හෙරණතෙර දර එකතුකොට මිනිය දැවීය. එකල මේ කරුණ නිසා දෙව්රජුගේ ආසනය සෙලවෙන්ට විය. ශක්‍ර තෙම අප්‍රකට වේශයකින් අවුත් සාමණේර නමගෙන් ප්රවෘත්ති විචාරා ඒ නම සමග එක්වී තෙරුන්ගේ ශරීර පූජාව කොට හෙරණනම උතුරු දඹදිවට ගෙනගොස් මහාවිහාරයක මහත් සෘද්ධි ඇති තෙරනමක් වෙත නවත්වා “මේ භික්ෂූන් වෙතින් ඉගෙන තමාගේ කටයුතු කරගත මැනවැ”යි කියා ගියේය. හෙරණනම සියලු පූජ්යස්ථානයන් වැඳ මහතෙරුන් වෙතින් ත්‍රිපිටකය ඉගෙන තෙරුන්ගෙන් අවසර ගෙන හෙළදිවට එන්ට පිටත් විය. මහාකොට්ටිදේව නම් තැනට පැමිණි විට ඔහුට එක පදයෙක්හි සැකයක් උපණි. හෙතෙම නැවත හැරී ගොස් මධ්‍යම රාත්‍රි කාලයෙහි විහාරයට පැමිණ මහ තෙරුන්ගේ කාමරයේ දොරට ගැසීය. තෙරුන් විසින් කුමකට ආවෙහිදැයි විචාරන ලද්දේ “ස්වාමීනි, මට එක් පදයක සැකයක් උපණි, එහෙයින් ආවෙමි. එය මට විස්තර කළ මැනවැ”යි කී විට “තා විසින් සිතන ලද්දේ එහි නියම අර්ථයමය”යි තෙරනම කීය. හෙතෙම එය අසාගෙන හෙළදිවට අවුත් බොහෝ දහස්ගණන් භික්ෂූන්ට පාළි උගන්වා අර්ථ කියා දී පසු වර්ෂයේදී රහත් බවට පත්විය. හෙතෙම වාසස්ථානයේ තෙවෙනි මාසයේ ප්‍රථම යාමයේදී පුවඟු දිවයිනෙහිද, මධ්‍යම යාමයේදී මහා විහාරයෙහි ද පශ්චිම යාමයේදී සෑගිරියෙහිදැයි එක රැයකදී දහම් දෙසීය. පවාරණය කරන දිනයෙහි එතුමාගේ ප්‍රකාශය මෙසේ විය.
(1) “බුදුන් දෙසූ නවාංගබුද්ධ ශාසනය යම් පමණ ද ඒ සියල්ල මා විසින් ඉගෙන ප්‍රකාශ කරන ලදි. (2) මහර්ෂීන් වහන්සේගේ ශාසනයෙහි හැම රතියක්ම මා විසින් අනුභව කරන ලදි. මම සත්කාරය නොකැමති වෙමි. මම යුගන්ධරයට යන්නෙමි”යි කියා තෙරනම යුගන්ධර පර්වතයට ගොස් පිරිනිවියේය. ඉක්බිති (ආචාර්ය) මහතෙරනම දිවැසින් බලා පවාරණය කිරීම සඳහා එහි වැඩියේය. දේවරාජයා ද “මජ්ඣන්තික - සෝණතෙර පිරිනිවියේය, පූජා පවත්වන්නෙමි”යි සිතා එහි ගියේය. එහි දිව්‍යමය පූජාද ආර්යයන්ගේ පූජාද වූහ. මෙසේ ආචාර්යවරයෝ සත්කාර කරන ලදහ.