සැවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා බුදුසස්නෙහි පැවිදිව උපසම්පදාවද ලබා විසුයේය. ඒ ස්ථවිරතුමා තිස්ස ස්ථවිර නම් විය. පසු කලෙක ඒ ස්ථවිරතුමා රෝගාතුර විය. එතුමාගේ ශරීරයෙහි කුඩා බිබිලි සෑදී ක්‍රමයෙන් ඒවා නෙල්ලිගෙඩි, දෙහිගෙඩි, දොඩම්ගෙඩි, බෙලිගෙඩි පමණ මහත් වී පැසව පැසවා පුපුරන්නට විය. කාරුණික භික්ෂූහු ආහාර බෙහෙත් සපයා දීමෙන් ද සිවුරු හා වාසස්ථානය පවිත්‍ර කිරීමෙන් ද තිස්ස ස්ථවිරයන්ට උපස්ථාන කළහ. කල් යාමෙන් මුළු සිරුර ම කුණු වී ගියෙන් තිස්ස ස්ථවිරතුමාගේ නම ද වෙනස් විය. ශරීරය කුණු වී ඇති බැවින් එතුමා පූතිගත්තතිස්ස යන නමින් හඳුන්වන්නට විය. භික්ෂූන් වහන්සේලා කොතෙක් උපස්ථාන කළ ද රෝගය මඳකුදු අඩු කළ නො හැකි විය. කල්යාමයේ දී එතුමාගේ ශරීරයේ ඇට ද බිඳෙන්නට විය. ඇට බිඳීමෙන් තිස්ස තෙරණුවන්ට නැඟිටින්නට වාඩි වන්නට තබා හැරෙන්න පෙරළෙන්නට ද නො පිළිවන් විය. අධික දුර්ගන්ධය නිසා කෙනෙකුට ළං නො විය හැකි විය. උපස්ථාන නො කළ හැකි තත්ත්වයට පැමිණි බැවින් උපස්ථායක භික්ෂුහූ අත්හැර දැමූහ. තිස්ස ස්ථවිර ලේ සැරව ගොඩේ අනාථව සයනය කළේය. තථාගතයන් වහන්සේ ලොව බලා වදාරන සේක්:- අනාථව ශයනය කරන තිස්ස ස්ථවිර දුටු සේක. උන් වහන්සේ දැන් මා හැර මේ භික්ෂුවට අන් පිහිටක් නැත ය යි ගඳකිළියෙන් නික්ම විහාර චාරිකාවෙහි හැසිරෙන සේක්, ගිනිහල් ගෙට වැඩම කොට වතුර සැළියක් ලිප තබා එය හුණු වන තුරු එහි ම වැඩ සිට වතුර හුණු වූ පසු රෝගී භික්ෂුව වෙත වැඩම කොට ඒ භික්ෂුව ඇඳත් සමඟ ඔසවා ගිනිහල්ගෙට ගෙන එනු පිණිස ඇඳේ පසකට අත තැබූහ. එකල්හි භික්ෂූහු “අපි ගෙන යන්නෙමු”යි තථාගතයන් වහන්සේ ඉවත් වන්නට කියා ඇඳ ඔසවා ගිනිහල්ගෙට රෝගී භික්ෂුව ගෙන ගියහ. ඉක්බිති තථාගතයන් වහන්සේ රෝගී භික්ෂුවගේ අපවිත්‍රව තිබූ සිවුර සෝදවා භික්ෂුව උණු දියෙන් සියතින් ම නහවා පිරිසිදු කොට සේදූ සිවුරු පෙරවූහ. රෝගී භික්ෂුවට එයින් මහත් සැනසිල්ලක් ලැබී සිත එකඟ කර ගත හැකි විය.
එකල්හි තථාගතයන් වහන්සේ භික්ෂුවගේ හිස සමීපයෙහි සිට ධර්මදේශනා කළහ. දේශනාවසානයෙහි සියල්ලන් විසින් හැර දමා සිටි පූතිගත්ත තිස්ස තෙරණුවෝ සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියහ. එක් වරෙක සැලකීමට කෙනකු නැතිව සිටි උදරාබාධයකින් පෙළුණු භික්ෂුවකට ද තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග ගොස් උණු පැනින් නහවා උපස්ථාන කළ බව ද විනය පිටකයෙහි මහාවග්ගපාළියේ සඳහන්ව ඇත්තේ ය.