භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සමයෙහි පඤ්චසිඛ නම් ගාන්ධර්ව දේවපුත්‍රයා උන්වහන්සේ වෙත පැමිණ ස්වාමීනි, “මම තව්තිසා දෙවියන්ගෙන් අසන ලද්දක් නුඹ වහන්සේට සැල කරමි”යි කීය. “කියව පඤ්චසිඛය”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි ඔහු මෙසේ කීය.
“ස්වාමීනි, ඉකුත් පසළොස්වක් පොහෝ දින රාත්‍රියෙහි තව්තිසා දෙව්ලොව සුධර්මා නම් ශාලාවට සියලු තව්තිසා වැසි දෙවියෝ රැස්වූහ. මහත් වූ දෙව් පිරිසක් ශාලාව අවට ද රැස්ව හුන්හ. සතර දිග සතර වරම් මහ රජහු උන්හ. පෙරදිග ධතරට්ඨ නම් මහදෙව්රජ බස්නාහිරට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේය. දකුණු දිග විරුළ්හක නම් මහදෙව්රජ උතුරට මුහුණලා දෙවියන් පෙරටු කොට හුන්නේය. පැදුම්දිග විරූපක්ෂ නම් මහදෙව්රජ නැගෙනහිරට මුහුණ ලා දෙවියන් පෙරටුකොට හුන්නේය. උතුරු දිග වෙස්සවණ නම් මහදෙව්රජ දකුණට මුහුණලා පෙරටු කොට හුන්නේ ය. මේ දෙවිවරුන්ගේ පසු පස අපට අසුන් ලැබුණේ ය. ස්වාමීනි, ඒ දේවසභාවෙහි නුඹ වහන්සේගේ ශාසනයෙහි ශ්රේෂ්ඨචර්ය්යාවෙහි හැසිර අලුත තව්තිසා දෙව්ලොව උපන් දෙවියෝ වර්ණයෙන් හා යසසින් පරණ දෙවියන් ඉක්මවා සිටියෝ ය. ස්වාමීනි, ඒ කරුණෙන් තව්තිසා වැසි දෙවියෝ දෙව්ලොව පිරෙන්නේ ය. අසුර ලොව පිරිහෙන්නේය”යි ප්‍රීති වූවෝ ය, සොම්නසට පැමිණියෝ ය. ස්වාමීනි, එකල්හි සක්දෙව්රජ දෙවියන්ගේ සතුට දැන මේ ගාථාවන් කියා දෙවියන්ගේ ප්‍රීතිය අනුමෝදන් විය.
මොදන්ති වත භො දෙවා - තාවතිංසා සහින්දකා.
තථාගතං නමස්සන්තා - ධම්මස්ස ච සුධම්මතං
නවෙ දෙවෙච පස්සන්ත - වණ්ණවන්තෙ යසස්සිනෙ,
සුගතස්සමිං බ්රහ්මචරියං - චරිත්වාන ඉධාගතෙ.
තෙ අඤ්ඤෙ අතිරොචන්ති - වණ්ණෙන යසසායුනා,
සාවකා භූරිපඤ්ඤස්ස - විසෙසූපගතා ඉධ.
ඉධං දිස්වාන නන්දන්ති - තාවතිංසා සහින්දකා,
තථාගතං නමස්සන්තා- ධම්මස්ස ච සුධම්මතං.
සක්දෙව්රජු කී ගාථා ඇසූ දෙවියෝ දෙව්ලොව පිරෙන්නේ ය. අසුරකායය පිරිහෙන්නේ යයි වඩාත් සතුටට පත්වූහ. දෙවියන්ගේ සතුට දත් සක්දෙව්රජ දෙවියන් අමතා “ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ ගුණ අටක් අසන්නට කැමැත්තහු දැ”යි ඇසී ය. දෙවියන් ඒ ගුණ ඇසීමට කැමැත්ත ප්‍රකාශ කෙළෙන් සක්දෙව් රජ මෙසේ ඒ ගුණ අට ප්‍රකාශ කෙළේ ය.
1. ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස පිළිපන් සේක. බොහෝ ජනයාට සැප පිණිස පිළිපන් සේක. ලෝකයාට අනුකම්පාව පිණිස දෙව්මිනිසුන්ගේ අර්ථය පිණිස හිතය පිණිස සැපය පිණිස පිළිපන් සේක. මේ අංගයෙන් සම්පූර්ණ වූ ශාස්තෲවරයකු අතීතයෙහි ද නො දකිමු. දැනුදු ඒ ශාස්තෲන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
2. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට දේශනය කරන ලද්දේ ය. ඒ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, තමාගේ සන්තානයට පමුණුවා ගැනීමට සුදුසු ය. නුවණැතියන් විසින් ස්ව සන්තානයෙන්ම දත යුතුය. මෙසේ සත්ත්ව සත්තානයට පමුණුවා ගත යුතු වූ සත්ත්වසන්තානයෙහි පැවැත්විය යුතු ධර්මයක් දේශනය කරන අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
3. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කුශලය යි මැනවින් පනවන ලද්දේය. මේ කුශලය යි මැනවින් පනවන ලද්දේ ය. මේ සාවද්‍යය, මේ නිරවද්‍යය, මේ සේවනය කළ යුතුය, මේ සේවනය නො කළ යුතුය, මේ හීනය, මේ ප්‍රණීතය, මේ කෘෂ්ණය, මේ ශුක්ලය යි මැනවින් පනවන ලද්දේ ය. මෙසේ කුශලාකුශලාදි ධර්මයන් මැනවින් පනවන අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
4. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට පනවා ඇති නිර්වාණගාමිනී ප්‍රතිපදාව ඉතා යහපත් ය, නිර්වාණය හා ප්‍රතිපදාව ගංගාජලය හා යමුනාජලය මෙන් සංසන්දනය වන්නේ ය. සම වන්නේ ය. එබඳු යහපත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් පැන වූ ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
5. ඒ භාග්‍යවතුන් වහන්සේට බොහෝ ලාභ ඇති විය. ඉමහත් කීර්තියක් ඇති විය. ක්ෂත්රිය බ්‍රාහ්මණාදීහු උන් වහන්සේට පැහැදී සිටිති. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒවායින් මත් වීමක් නැතිව ආහාරය වළඳන්නාහ. මේ අංගයෙන් ද යුක්ත ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
6. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත් පුරන්නා වූ ද අර්හත්වයට පැමිණීමෙන් පිළිවෙත් පිරීම අවසන් කළා වූ ද බොහෝ ශ්‍රාවකයන් ඇත්තෝ ය. එහෙත් උන් වහන්සේ ඔවුන් කෙරෙහි නො ඇලී ඔවුන් අතර ම එකලාව වාසය කරන සේක. එසේ එකලාව වෙසෙන අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ ශාස්තෲන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
7. ඒ භාග්‍යවතුන් වහන්සේ කියන පරිදිම කරන සේක. කරන පරිදි ම කියන සේක. එසේ ධර්මය අනුව පිලිපදින අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
8. ඒ භාග්‍යවතුන් වහන්සේ එතෙර කරන ලද විචිකිත්සා ඇති සේක. මෙය එසේ ද මෙසේ ද කියා සැක කරන ස්වාභාවය ඉක්මවා සිටින සේක. බලවත් වීර්‍ය්‍යයෙන් පෞරාණික ආර්ය්යමාර්ගයෙන් සර්වඥත්වයට පැමිණි අදහස් මුදුන්පත් කර සිටි සේක. ඒ අංගයෙන් සමන්වාගත අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.
ස්වාමීනි, මෙසේ සක්දෙව්රජු භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ මේ ගුණ අට ප්‍රකාශ කළ කල්හි තව්තිසා දෙවියෝ වඩාත් ප්‍රීතිමත් වූහ. අතිශයින් සතුටට පත් වූ ඔවුන්ගෙන් ඇතමෙක් “අහෝ ලොවට බුදුවරුන් සතර නමක් ඇතිවුව හොත් කොතරම් යහපතැක්දැ”යි කීය. තැම්හු “සතර නමක් නොව තෙනමක්වත් ඇති වුව හොත් කොතරම් යහපතක් දැ”යි කීහ. ඇතැම්හු “බුදුවරුන් දෙනමක් වත් ඇති වුව හොත් කොතරම් යහපතක් දැ”යි කීය. එකල්හි සක් දෙව්රජ තෙමේ දෙවියන් අමතා “පින්වත්නි, එක් ලෝකධාතුවෙක්හි එකවර බුදුවරු දෙනමක් පහළවීම සිදු නො වන්නේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ නිරෝගීව චිරකාලයකක් ජීවමාන වුව හොත් ඉතා යහපතැයි” කී ය.
දේව සභාවේ වැඩ අවසන් වූ සැටියේ ම සනන්කුමාර බ්‍රහ්ම තෙමේ එහි පැමිණියේ ය. දෙවියෝ සැම දෙන ඔහුට වැඳ ගෙන තමන්ගේ අසුන්වල ම හුන්ය. ඔහුද තව්තිසා දෙවියන්ගේ චිත්තප්‍රසාදය දැන “මොදන්ති වත භො දෙවා” යනාදි ගාථා තුන කියා ඒ ප්‍රීතිය අනුමෝදන් විය. ඉක්බිති සනන්කුමාර බ්‍රහ්ම තෙමේ සක් දෙව් රජුගෙන් බුදුගුණ අට අසා සතුටුව ඔහු ද භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය දැක්වීම පිණිස මහාගෝවින්ද චරිතය කීය.
(මහාගෝවින්ද සුත්ත)
තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවත්වූ අවස්ථාවෙහි බූමාටු දෙවියන්ගේ පටන් අකණිටා බඹලොව බ්‍රහ්මයන් දක්වා ඒ ඒ දේවලෝක බ්රාහ්මලෝකවාසීහු “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං”යි ස්තුතිඝෝෂා පැවැත්වූහ. ඒ ඝෝෂය සැණෙකින් අකනිටා බඹලොව දක්වා පැන නැංගේය. දස දහසක් සක්වළ පැතිර ගියේය.
බුදුන් වහන්සේ මව්කුස පිළිසිඳීම, මවුකුසින් බිහිවීම, බුද්ධත්වයට පැමිණීම යනාදී විශේෂ අවස්ථාවන්හි අවිඥානක වස්තූහු ද නිමිති පහළ කිරීම් වශයෙන් තථාගතයන් වහන්සේගේ කීර්තිය පතළ කළහ. ඒ අවස්ථාවලදී මහපොළොව මහකඳු ගුගුර ගුගුරා කම්පාවීම් වශයෙන් ද, ගංගා සාගර නිශ්චලවීම් වශයෙන් ද, ගස්වැල් මලින් සැරසීම් වශයෙන් ද, රත්නජාතිහු දිලිසීම් වශයෙන් ද, තුර්‍ය්‍යභාණ්ඩ වාදනයක් නැතිව ම හඬනැඟීම් වශයෙන් ද තථාගතයන් වහන්සේගේ කීර්තිය පතළ කළහ.
බුදුරදුන්ගේ කීර්තිය මිනිස්ලොව බුදුසස්න පවත්නා වර්ෂ පන්දහසේ ම පවත්නේ ය. දෙවියන්ගේ ආයුෂය දික් බැවින් ඉදිරියට ද වර්ෂ කෝටි ගණනක් දෙව්ලොව තථාගතයන් වහන්සේගේ කීර්තිය පවත්නේ ය. බ්‍රහ්මයන්ගේ ආයුෂ ඉතා දික් බැවින් බ්‍රහ්මලෝකවල කල්ප බොහෝ ගණනක් යන තුරු ද බුදුරදුන්ගේ කීර්තිය පවත්නේ ය.