නමෝ තස්ස භගවතෝ අරහතො
සම්මා සම්බුද්ධස්ස
බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමය යි කියනුයේ ඒ පිළිගැනීමට ය. රත්නත්‍රයේ එක ගුණයකුදු නො දැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්‍ය්‍ය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නො හැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් ම තරමකින්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.
බුද්ධ ගුණය අනන්ත ය. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහෙන බොහෝ බුදු ගුණ ඇත්තේය. දත් කෙනෙකුට වුවද බුදුගුණ කියා නිම කිරීමට කාලයක් නැත්තේ ය.
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ ඛීයේථ කප්පෝ චිරදීඝමන්තරේ වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස.”
යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙක්හි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවී යන නමුත් බුදුගුණ කීම අවසන් නො වන බව දක්වා තිබේ. අනන්ත වූ බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදු ගුණ ඇත්තේ ස්වල්පයෙකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයෙකි.
සකල ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩා මහත්වූ බුදුගුණ එක් සෝවාන් පුද්ගලයකුට ඇතය යි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, සකෘදාගාමීන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, අනාගාමීන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප අනුරුද්ධ මහා කච්චාන මහා කොට්ඨිත යන මහ තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ඒ සතර මහතෙරුන්ගේ බුදුගුණ දැනුමට වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතුරෙන් ද සැරියුත් මහ තෙරුන් වහන්සේට මහත්වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුන්ට ඇතය යි ද, ඉදින් සක්වළ පුරා සිවුරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලු පසේ බුදුවරුන්ගේ බුද්ධගුණඥාණයට මහත්වූ බුද්ධගුණඥාණයක් එක් ලොවුතුරා බුදුකෙනෙකුන්ට ඇතැය යි ද සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි* දක්වා ඇත්තේ ය.
නුවණැතියන්ගෙන් අගතැන්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. උන්වහන්සේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි. එක් එක් පසකින් නවයොදුන බැගින් අටළොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්‍රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නාක් මෙන් ද, නො ගත් ජලය ම බොහෝ වන්නාක් මෙන්ද, මහාපොළොවෙන් ඇඟිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇඟිල්ලට ආ පස අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොවේ පස් බොහෝ වන්නාක් මෙන් ද, මහ සයුරට ඇඟිල්ලක් දිගු කළ කල්හි ඇඟිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි ජලයම බොහෝ වන්නාක් මෙන් ද, අහසට ඇඟිල්ලක් දිගුකළ කල්හි ඇඟිල්ලට කෙළින් සිටිනා අහස අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නො පෙනෙන නො දැනෙන බුදුගුණම බොහෝ බව ද, සම්පසාදනීය සුත්තට්ඨ කථාවෙහිම දක්වා තිබේ. සාමාන්‍ය ලෝකයාහට අනන්ත බුද්ධගුණස්කන්ධය පිළිබඳ ව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇති කර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුද්ධගුණයන් නව කොටසකට බෙදා පද නවයකට සකල බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය.
* දීඝනිකායට්ඨ කථා
ඒ මෙසේය :
ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජා චරණසම්පන්නො, සුගතො, ලොකවිදූ, අනුත්තරො පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධො, භගවාති.
ඒ පාඨයේ තේරුම මෙසේය:
1. සො භගවා අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පූජාවන් පිළිගැනීමට සුදුසු වූ සේක.
2. සො භගවා සම්මා සම්බුද්ධො
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල ධර්ම සමූහය අනිකකුගෙන් අසා ගැනීමක් නො කොට තමන් වහන්සේ විසින්ම කිසිදු වැරදීමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක.
3. සො භගවා විජ්ජාචරණ සම්පන්නො
ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයන්ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.
4. සො භගවා සුගතො
ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක.
5. සො භගවා ලොකවිදූ
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක.
6. සො භගවා අනුත්තරො පුරිසදම්මසාරථි
ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘද්ධිබලාදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමගට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක.
7. සො භගවා සත්ථා දෙවමනුස්සානං
ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක.
8. සො භගවා බුද්ධො
ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ කරවන සේක.
9. සො භගවා භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින් ම ගරු කිරීමට සුදුසු වන සේක.
මෙසේ සැකෙවින් දැක්වුණු බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ.