සච්චක දමනය

තථාගතයන් වහන්සේ වැඩ විසූ කාලයේ වෛශාලිපුරයෙහි සච්චක නම් නිගණ්ඨපුත්‍රයෙක් විසී. ඔහුගේ මාපිය දෙදෙන වාද පන්සියය බැගින් දැන සිටි උගතුන්ය. සච්චක ඒ දෙදෙනා දත් සියල්ල ද නොයෙක් ශිල්පශාස්ත්‍ර හා බාහිරසමයයන් ද උගෙන කීර්තිමත් පඬිවරයෙක් විය. ඔහු වෛශාලියෙහි ලිච්ඡවි කුමාරයන්ට උගන්වා ගුරුවරයා ද විය. “තමා තරම් දත්, තමා හා වාදකථා කිරීමට සමත් අනිකකු ලෝකයේ නැතය” කියා සිතා ඔහු පණ්ඩිත මානයෙන් මත්ව සිටියේය.

ඔහු වෛශාලියෙහි ජනයා මැද සිට “මා වාද කළ හොත් වෙවුලා නො යන, කිසිලිවලින් ඩහදිය නො වැගිරෙන පණ්ඩිතයෙක් ගණාචාර්‍ය්‍යයෙක් නැත. සම්‍යක් සම්බුද්ධය යි කියා ගෙන සිටින්නකු වුව ද මා වාද කළ හොත් වෙවුලා යන්නේ ය. ඔහුගේ කිසිලිවලින් ඩහදිය ගලන්නේ ය”යි පුරසාරම් බස් දොඩන්නේ ය.

දිනක් සච්චක වේසාලියෙහි පාගමනින් ඇවිදිනුයේ එහි පිඬු පිණිස පිවිසි අස්සජී මහරහතන් වහන්සේ හමුවී උන්වහන්සේ හා පිළිසඳර කථා කොට “පින්වත් අස්සජියනි, කෙසේ ශ්‍රමණ ගෞතමයෝ ශ්‍රාවකයන් හික්මවත් ද? ශ්‍රමණ ගෞතමයන් බෙහෙවින් ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ කෙසේදැ”යි විචාළේ ය.

“රූපං භික්ඛවෙ අනිච්චං, වේදනා අනිච්චං, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං, රූපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තා,”

“අග්ගිවෙස්සන, භග්‍යවතුන් වහන්සේ මෙසේ ශ්‍රාවකයන් හික්මවන්නාහ, මෙසේ ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරන්නාහ”යි අස්සජී තෙරුන් වහන්සේ වදාළහ.

එකල්හි සච්චක “පින්වත් අස්සජියනි, නො ඇසිය යුත්තක් ඇසීමි, යම් කිසි විටෙක, ඒ භවත් ගෞතමයන් මුණ ගැසී කථා කරන්නට වුව හොත් ඔහු මේ පාප දෘෂ්ටියෙන් මිදවිය හැකි වන්නේ ය”යි කීය.

එසමයෙහි පන්සියයක් ලිච්ඡවීහු යම්කිසි කරුණක් නිසා ඔවුන්ගේ සන්ථාගාරයට රැස්ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ හා ප්‍රසිද්ධියේ වාද කර උන් වහන්සේ පරදවනු කැමැති සච්චක රැස්ව හුන් ලිච්ඡවීන් වෙත ගොස් “පින්වත් ලිච්ඡවීන් අප හා එත්වා, අද ශ්‍රමණ ගෞතමයන් සහ අපත් අතර වාද කථාවක් වන්නේය. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයකු වන අස්සජී භික්ෂුව කී පරිදි ඒ කථාවෙහි ශ්‍රමණ ගෞතමයන් ද එසේ ම පිහිටා සිටිය හොත් මම වාදාරෝපණය කොට වීර්‍ය්‍ය ඇති පුරුෂයකු විසින් දික් ලොම් ඇති එළුවකු ලොම් වලින් අල්ලා ඒ මේ අත අදිමින් සොලවන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් වාද කථාවෙන් සොලවන්නෙමි. සුරාධූර්තයකු සුරාපානස්ථානයේ එළන කළාලය පිරිසිදු කරනු පිණිස කොනකින් ගෙන ගැඹුරු දියෙහි ගසා හෙලන්නාක් මෙන් සුරාධූර්තයකු සුරා පෙරණ මහ පෙරහනෙහි කසට හරිනු පිණිස දියෙහි ලා කොනකින් ගෙන ගසා හෙලන්නාක් මෙන්, හණ සේදීමේ යෙදෙන අය දියෙහි ලා තුබූ හණමිටි ගෙන ගස ගසා සෝදන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් සොලවාලමි, ගසාලමි, පින්වත් ලිච්ඡවීනි, වහා එත්වා, අද ශ්‍රමණ ගෞතමයන් හා අපත් අතර වාදකථාවක් ඇතිවන්නේය”යි කීය.

එකල්හි ඇතැම් ලිච්ඡවීහු කිමෙක් ද ශ්‍රමණ ගෞතමයෝ සච්චක නිගණ්ඨ පුත්‍රයා හට වාදාරෝපණය කෙරෙත් ද? නැත හොත් සච්චක නිගණ්ඨ පුත්‍රයෝ ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය කෙරෙත්දැ”යි කීහ. එය අසා ඇතැම් ලිච්ඡවීහු “සච්චක නිගණ්ඨ පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණය කරන්නට කවරෙක් ද? ඔහුට භාග්‍යවතුන් වහන්සේ ට වාදාරෝපණය කළ හැකි ද? භාග්‍යවතුන් වහන්සේ ම සච්චක නිගණ්ඨ පුත්‍රයා හට වාදාරෝපණය කරන්නාහ”යි කීය.

ඉක්බිති සච්චක තමාගේ සපන්කම් පෙන්වීමට පන්සියයක් ලිච්ඡවීන් ද කැඳවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙන මහා වනයෙහි කූටාගාර ශාලාව වෙත ගියේ ය. එකල්හි බොහෝ භික්ෂූහූ අභ්‍යවකාශයෙහි සක්මන් කරමින් උන්හ. සච්චක ඒ භික්ෂූන් වෙත ගොස් “ශ්‍රමණ ගෞතමයෝ කොහි වෙසෙත් දැ”යි ඇසීය. “මහවෙනෙහි ගසක් මුල තථාගතයන් වහන්සේ වැඩ සිටිති”යි භික්ෂූහු කීය. එදින තථාගතයන් වහන්සේ සච්චකයා මහ පිරිසක් සමඟ වාදයට එන බව කලින් ම දැන වදාරා පිරිසට ඉඩ ඇති වනු පිණිස මහවනයෙහි ගසක් මුල වැඩ හුන් සේක.

සච්චක පිරිස සමඟ එහි ගොස් තථාගතයන් වහන්සේ හා පිළිසඳර කථා කොට එකත්පසෙක හිඳගත්තේ ය. ලිච්ඡවීහු ද වාදය බලනු රිසියෙන් තම තමන්ට සුදුසු තැන් වල හිඳගත්හ. ඉක්බිති සච්චක “පින්වත් ගෞතමයන්ගේ අවසර ලැබෙත හොත් යම් කිසිවක් විචාරමි”යි කී ය, “කැමැති නම් අසව අග්ගිවෙස්සන”යි තථාගතයන් වහන්සේ වදාළහ.

එකල්හි සච්චක “පින්වත් ගෞතමයනි, ඔබ ශ්‍රාවකයන් කෙසේ හික්මවන්නෙහි ද? ඔබ ශ්‍රාවකයනට බෙහෙවින් අනුශාසනා කරන්නේ කෙසේ දැ”යි ඇසීය. අස්සජී තෙරුන්වහන්සේ ඔහුට වදාළ අකාරය මඳකුදු වෙනස් කර තථාගතයන් වහන්සේ විසින් වදාළ හොත් පරාජයෙන් පසු අස්සජී භික්ෂුව කීයේ අනිකක, ශ්‍රමණ ගෞතමයන් කියන්නේ අනිකක, මා ආයේ අස්සජී භික්ෂුව කී ලෙස ශ්‍රමණ ගෞතමයන් කියතහොත් වාදාරෝපණය කිරීමටය කියා, සච්චකට ගැලවී යන්නට ඉඩ නො ලැබෙනු පිණිස තථාගතයන් වහන්සේ මඳ වෙනසකුදු නො කොට අසස්ජී තෙරුන් වහන්සේ වදාළ ලෙසම:-

“රූපං භික්ඛවෙ අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං, රූපං භික්ඛවෙ අනත්තා, වේදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, සබ්බෙ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තා,”

“මෙසේ මම ශ්‍රාවකයන් හික්මවමි, ශ්‍රාවකයනට බෙහෙවින් අනුශාසනා කරමි”යි වදාළ සේක.

එකල්හි සච්චක නිගණ්ඨපුත්‍ර “පින්වත් ගෞතමයෙනි, මට උපමාවක් වැටහේය”යි කීය. “කියව, අග්ගිවෙස්සන”යි තථාගතයන් වහන්සේ වදාළහ. “පින්වත් ගෞතමයෙනි, යම් බීජ ජාතියක් පැළ වී ගස්-වැල් වී වැඩෙත් නම් ඒ සියල්ල පොළොව ඇසුරු කොට පොළොවෙහි පිහිටා වැඩෙත් ද, කාය බලයෙන් කරනු ලබන යම් කර්මාන්තයෝ වෙත් ද, ඒ සියල්ල පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත් ද, එමෙන් රූපය ආත්මකොට ඇති පුද්ගල තෙමේ රූපයෙහි පිහිටා පින් හෝ පව් රැස් කරයි, වේදනාව ආත්ම කොට ඇති පුද්ගල තෙමේ වේදනාවෙහි පිහිටා පින් හෝ පව් රැස් කරයි, සංඥාව ආත්ම කොට ඇති පුද්ගල තෙමේ සංඥාවෙහි පිහිටා පිං හෝ පව් රැස් කරයි, සංස්කාරයන් ආත්ම කොට ඇති පුද්ගල තෙමේ සංස්කාරයන් හි පිහිටා පින් හෝ පව් රැස් කරයි. විඥානය ආත්ම කොට ඇති පුද්ගල තෙමේ විඥානයෙහි පිහිටි පින් හෝ පව් රැස් කෙරේය”යි සච්චක කීය.

“අග්ගිවෙස්සන, නුඹ රූපය මගේ ආත්මය ය. වේදනාව මගේ ආත්මය ය, සංඥාව මගේ ආත්මය ය, සංස්කාරයෝ මාගේ ආත්මය ය, විඥානය මගේ ආත්මය ය යි කියන්නෙහි දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ.

“පින්වත් ගෞතමයෙනි, රූපයේ මාගේ ආත්මය ය, වේදනාව මාගේ ආත්මය ය, සංඥාව මාගේ ආත්මය ය, සංස්කාරයෝ මාගේ ආත්මය ය, විඥානය මාගේ ආත්මය ය යි මම කියමි. මේ මහජන සමූහය ද එසේ කියති”යි සච්චක කීය.

තථාගතයන් වහන්සේ විසින් සච්චකයා කියන දෙය නැවතත් විචාරා ඔහු ඒ කථාවෙහි හොඳට ම පිහිට වූ බැවින් ඔහුට තමාගේ කීමෙහි යම්කිසි වරදක් ඇත්තේ ද? කියා සැක ඇති විය. ඔහු කෛරාටිකයෙකි. වරදක් ඇතොත් එය තමා පිට පමණක් නො වැටී සැම දෙනා පිටම වැටේවා යි සිතා අනික් අයත් එයට ඈඳා ගනු පිණිස “මේ ජනසමූහයත් එසේ කියන්නාහ”යි සච්චක කීය.

කොතරම් කෛරාටිකයකුට වුව ද බුදුරදුන් රවටන්නට නො පිළිවන. මහජනයා පිට වරද පටවා ඔහුට නිදහස් වන්නට ඉඩ නො තබනු පිණිස තථාගතයන් වහන්සේ “අග්ගිවෙස්සන, මහජනයාගේ අදහස් කුමට ද? අප හා වාදයට ආවේ මේ ජන සමූහය නොව නුඹය. නුඹේ වාදයම කියව”යි වදාළහ. “පින්වත් ගෞතමයෙනි, මම රූපය මාගේ ආත්මය ය, වේදනාව මාගේ ආත්මය ය, සංඥා මාගේ ආත්මය ය, සංස්කාරයෝ මාගේ ආත්මය ය, විඥානය මාගේ ආත්මය ය යි කියමි”යි සච්චක කීය.

“අග්ගිවෙස්සන, මම නුඹෙන් මේ කාරණය අසමි. නුඹට වැටහෙන සැටියකට එය විසඳන්න. අග්ගිවෙස්සන, රජයෙහි අභිෂේක ලත් රජෙකුට මේ පසේනදී කොසොල් රජුට මෙන් අජාසත් රජුට මෙන් තමාගේ රටෙහි මරා දැමිය යුත්තන් මරා දැමිය හැකි ලෙසත්, ධනය ගෙන දුප්පත් කළ යුත්තන් දුප්පත් කළ හැකි ලෙසත්, රටෙන් නෙරපිය යුත්තන් නෙරපිය හැකි ලෙසත්, තමාගේ ආධිපත්‍යය තමාගේ අණසක සිය රටෙහි පැවැත්විය හැක්කේ නො වේ දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ.

සච්චකගේ වාදය බිඳලනු පිණිස තථාගතයන් වහන්සේ විසින් ඉදිරිපත් කළ කරුණ කුමට ඉදිරිපත් කරන ලද්දක් දැයි නොදත් සච්චක, තමාගේ බෙල්ල කපන්නාට තමා ම කඩුව මුවහත් කර දෙන්නාක් මෙන් “පින්වත් ගෞතමයෙනි, අභිෂේක ලත් රජුට පසේ නදී කෙසොල් රජුට මෙන්, අජාසත් රජුට මෙන් තමාගේ රටෙහි තමාගේ ආඥාව තමාගේ ආධිපත්‍ය පැවැත්විය හැකිය. පැවැත්වීමට සුදුසු බවක් ද ඇත්තේ ය. ගෞතමයෙනි, කොසොල් රජුට හා අජාසත් රජුට පමණක් නොව මේ වජ්ජීන්ට හා මල්ලයන්ට ද ඔවුන්ගේ රටවල ආඥාව පැවැත්විය හැකිය. ඔවුන්ටත් එසේ කිරීමට සුදුසු බවක් ද ඇත්තේය”යි තථාගතයන් වහන්සේ වදාළ කරුණ වඩාත් වර්ණනා කොට සච්චකයා අනුමත කෙළේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “අග්ගිවෙස්සන, නුඹ රූපය මගේ ආත්මය යි කියන්නෙහි ය. එය එසේ නම් රජුන්ට සිය රටෙහි තමන්ගේ ආඥාව පැවැත්විය හැකි වන්නාක් මෙන් නුඹේ රූපයෙහි නුඹේ ආඥාව ආධිපත්‍යය පැවැත්විය හැකි විය යුතු ය, මගේ රූපය මෙසේ වේවා, මෙසේ නො වේවා ය කියා නුඹේ රූපය කෙරෙහි නුඹේ ආඥාව ආධිපත්‍ය පැවැත්විය හැකි දැ”යි වදාළ සේක.

තථාගතයන් වහන්සේගේ ප්‍රශ්නය සච්චකට උභතෝකෝටික ප්‍රශ්නයක් විය. කෙසේ පිළිතුරු දුන ද ඔහුට ගැලවීමක් නැත. ඉදින් “රූපයෙහි තමාගේ ආධිපත්‍ය පැවැත්විය හැකිය”යි පිළිතුරු දුන හොත් ලිච්ඡවීහු නැඟී සිට “ආචාර්‍ය්‍යයෙනි, රූපයේ ඔබගේ ආධිපත්‍යය පැවැත්විය හැකි නම් ඔබගේ ඔය වීරූප ශරීරය මේ ලිච්ඡවීන්ගේ ශරීර මෙන් ලස්සන කර නොගන්නේ මන්දැ”යි කියමින් සච්චකයා පෙළන්නාහ. ඉදින් “රූපය කෙරෙහි ආධිපත්‍යය නො පැවැත්විය හැකිය” පිළිතුරු දුනහොත් “නුඹ කලින් රූපය මගේ ආත්මයය යි කියා දැන් අනිකක් කියන්නෙහිය”යි තථාගතයන් වහන්සේ වදාරෝපණය කරන්නාහ. මෙසේ කිව ද ගැලවීමක් නො ලැබිය හැකි බව වැටහී සච්චක තුෂ්ණීම්භූත විය. තථාගතයන් වහන්සේ දෙවනුව ද විචාලේ ය. සච්චක තුෂ්ණීම්භූත විය.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “අග්ගිවෙස්සන, වහා පිළිතුරු දෙනු, මේ නුඹට තුෂ්ණීම්භූත විමට කාලය නොවේ. අග්ගිවෙස්සන, තථාගතයන් වහන්සේ විසින් තුන්වන වරටත් විචාළ පසු යමෙකු පිළිතුරු නොදී සිටිය හොත් එතැනදී ම ඔහුගේ හිස සත්කඩකට පැලී යන්නේය”යි වදාළහ.

තථාගතයන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණි අලුත මා විසින් අවබෝධ කරන ලද මේ ගැඹුරු වූ සියුම් වූ ධර්මය දේශනය කළ ද මේ සත්ත්වයන්ට නො වැටහෙනු ඇතය යි දහම් දෙසීමට මන්දෝත්සාහී වූ දිනයෙහි සක්දෙව්රජ මහා බ්‍රහ්මයා හා බුදුරදුන් වෙත පැමිණ “ස්වාමීනි, දහම් දෙසනු මැනව, නුඹ වහන්සේගේ අණට අකීකරු වන්නවුන් අපි කීකරු කරවන්නෙමුය, නුඹ වහන්සේට ධර්මචක්‍රය වේවා, අපට ආඥාචක්‍රය වේවා”යි කියා කරන ලද ප්‍රතිඥාවක් ඇති බැවින් සච්චක තථාගතයන් වහන්සේගේ අණට කීකරු නොවී සිටින කල්හි ඒ බව සක්දෙවිඳු දැක සච්චක ලවා ප්‍රශ්න විසඳවනු පිණිස එහි පැමිණියේ ය.

ඉක්බිති සක්දෙවිදු රුදුරු යක් වෙසක් ගෙන ගිනිදැල් විහිදෙන වජ්‍රායුධයක් සච්චකගේ හිසට උරුක්කර ගෙන සිටියේ ය. යකු පෙනෙන්නේ සච්චකට හා බුදුනට පමණි. යකු දැකීමෙන් සච්චකගේ ඇඟේ ලේ උණු විය. පපුව ගැහෙන්නට විය. කිසිලිවලින් පමණක් නොව නළල් වටින් ද දහඩිය ගලන්නට විය. තමාට යකෙකු පෙනෙතත් සෙස්සන්ට යකු නො පෙනෙන බව පිරිස හැසිරෙන ආකාරය බලා සච්චක තේරුම් ගත්තේ ය. යකෙකු ගැන කථා කළ හොත් මෙතෙක් නො පෙනුණු යකුන් නුඹට පෙනෙන්නට පටන් ගත්තේ දැන් ද? කියා සෙස්සෝ ඔහුට පරිහාස කරන්නාහ. ඒ බව දන්නා සච්චක මේ වෙලාවේ මට බුදුරදුන්ගේ පිහිට හැර අන් පිහිටක් නැතය සිතා “පින්වත් ගෞතමයෙනි, අසනු මැනවි, මම පිළිතුරු දෙමි”යි කීය.

ඉක්බිති බුදුරදුන් හා සච්චක අතර ඇති වූ ප්‍රශ්නෝත්තර කථාව මෙසේ ය.

“අග්ගිවෙස්සන, නුඹ රූපය මාගේ ආත්මය ය යි කියන්නෙහි ය. මාගේ රූපය මෙසේ වේවා! මෙසේ නො වේවා යි රූපය කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?”

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනාවෙන් කථා කරන්න. නුඹේ පළමු බස හා පසුව කී බස සැසඳෙන්නේ නැත. අග්ගිවෙස්සන, නුඹ වේදනාව මාගේ ආත්මය යි කියන්නෙ හිය, මාහට මෙබඳු වේදනා වේවා, මෙබදු වේදනා නො වේවා යි වේදනාව කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කර කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම නො සැසඳෙයි, අග්ගිවෙස්සන, නුඹ සංඥාව මගේ ආත්මයයි කියන්නෙහි ය, මා හට මෙබදු සංඥාව වෙත්වා! මෙබදු සංඥාව නො වෙත්වා යි සංඥාව කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?”

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කොට කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම නො සැසඳෙයි, අග්ගිවෙස්සන, සංස්කාරයෝ මගේ ආත්මය යි කියන්නෙහි ය, මට මෙබදු සංස්කාරයෝ වේවා, මෙබදු සංස්කාරයෝ නො වේවා යි සංස්කාරයන් කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කොට කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම නො සැසඳෙයි, අග්ගිවෙස්සන, නුඹ විඥානය මගේ ආත්මය යි කියන්නෙහි ය, මට මෙබදු විඥානයක් වේවා. මෙබඳු විඥානයක් නො වේවා යි විඥානය කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කොට කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම සැසඳෙන්නේ නොවේ. අග්ගිවෙස්සන, රූපය නිත්‍ය ද? අනිත්‍ය ද?

“ගෞතමයෙනි, අනිත්‍ය යි,”

“යමක් අනිත්‍ය නම් එය සුඛයක් ද? දුක්ඛයක් ද?”

“එය දුඃඛයක්, ගෞතමයෙනි,”

“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වාභාවය ඇත්තේ නම් ඒ දෙය මාගේ ය කියා හෝ එය මමය කියා හෝ එය මගේ ආත්මය කියා හෝ ගැනීම සුදුසු ද?”

“සුදුසු නො වෙයි, ගෞතමයෙනි,”

වේදනා - සංඥා - සංස්කාර- විඥානයන් ගැන විචාළ කල්හි ද සච්චක එසේ ම පිළිතුරු දිණ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, “කිමද අග්ගිවෙස්සන, යමෙක් පඤ්චස්කන්ධය මාගේය මමය මාගේ ආත්මයයි ගෙන පඤ්චස්කන්ධය සංඛ්‍යාත දුක්ඛයෙහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇලී ගැලී සිටී නම්, ඔහු දුක්ඛය මේය කියා හැඳින ගනී ද දුක් කෙළවර කොට හෝ වෙසේ දැ”යි විචාළහ. “පින්වත් ගෞතමයනි, කෙසේ නම් එසේ වේද? නොවේ ම ය”යි සච්චක කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ “එසේ නම් අග්ගිවෙස්සන, නුඹ දුක ම මාගේ ය කියා ද මමය කියා ද මාගේ ආත්මය කියා ද ගනිමින් දුකෙහි ම ඇලී ගැලී සිටින්නෙක් නො වෙහිදැ”යි විචාළහ. “එසේ ය, ගෞතමයෙනි,”යි සච්චක කීය.

ඉක්බිති තථාගතයන් වහන්සේ “අග්ගිවෙස්සන හරයක් සොයනු කැමති පුරුෂයකු තියුණු පොරොවක් ගෙන වනයට පිවිස එහි මහත් වූ කෙසෙල් ගසක් දැක එහි මුල කපා අග කපා කඳ ගෙන හරය සොයනු පිණිස එකින් එක පතුරු ගැළවුව හොත් ඔහුට හරයක් ලබා එලයකුදු දක්නට නො ලැබෙන්නේ ය. එමෙන්ම අප විසින් නුඹේ වාදය එකින් එකට විමසූ කල්හි එහි කිසි හරයක් නො ලැබිණ. නුඹ පරාජිත වූවෙහි ය. “අග්ගිවෙස්සන, නුඹ වෛශාලියෙහි ජනයා මැද මා වාද කථා කළ හොත් අර්හත් සම්‍යක්සම්බුද්ධ වෙමි යි කියා ගෙන සිටින කෙනෙකු වුව ද වෙවුලා යන්නේ ය, ඔහුගෙන් ඩහදිය ගලන්නට වන්නේ ය. මා වාද කථා කළහොත් සිත් නැති කණුවක් වුවද වෙවුලා යන්නේය”යි කීයෙහි, එහෙත් දැන් නුඹේ නලළින් ගලන ඩහදිය නුඹේ උතුරු සළුවට වැටී එය විනිවිද පොළොවටත් වැටෙන්නේ ය. මාගේ ශරීරයෙහි නම් දහඩිය බිඳකුදු නැතැ යි වදාරා සිවුර ද කයින් මඳක් ඉවත් කොට දැක්වූ සේක.

සච්චක සර්වඥභාවය ප්‍රකාශ කර සිටින අන්‍ය ශාස්තෲවරයන් වෙත ගොස් වාද කොට ඔවුන් පරදවා ජය ඝෝෂා කරමින් එන්නෙකි. ඔහු තමාගේ සපන්කම් කියමින් සිටියේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ වාදයෙහි නිසරු බව දක්වා ඔහු පරාජිත බව පැවසු කල්හි සච්චක පරාජය පිළිගෙන කර කියාගත හැකි කිසිවක් නැතිව ලජ්ජාවෙන් බිම බලාගෙන හුන්නේ ය.

සච්චක හොඳට ම දමනය වී ලජ්ජාවෙන් මිරිකෙමින් බිම බලාගෙන ඉන්නා කල්හි දුර්මුඛ නම් ලිච්ඡවී කුමාරයා “භාග්‍යවතුන් වහන්ස, මට උපමාවක් වැටහේය”යි කීය. “කියව දුර්මුඛය”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි දුර්මුඛ ඔහුගේ උපමාව කියනුයේ “ස්වාමීනි, ගමක් සමීපයේ පොකුණක් ඇත, එහි මහා කකුළුවෙක් ද ඇත. දිනක් ගමේ දරුදැරියන් සමූහයක් එහි ගොස් පොකුණට බැස කකුළුවා ගොඩ දැම්මෝය. ඌ අඬු දිගු කරන්නට පටන් ගත්තේ ය. එයින් ගමේ දරුවෝ ලී කැබලි වලින් හෝ කැබිලිති වලින් හෝ උගේ අඬුටිකද සිඳ දැම්මෝ ය. ඌ නැවත පොකුණට පැමිණීමට නො සමත් විය. එමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ නිගණ්ඨපුත්‍ර සච්චකගේ දෘෂ්ටි නමැති අඬු සිඳලන ලද්දේ ය. එයින් සච්චක නැවත වාද කරනු රිසියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එන තැනට පැමිණියේය”යි කීය.

ශාස්ත්‍රෝද්ග්‍රහණයේ දී සච්චකගෙන් නිග්‍රහ ලැබ ඔහු හා අමනාපයෙන් සිටින ලිච්ඡවී කුමාරයන් බොහෝ දෙනෙක් ද එහි පැමිණ සිටියෝ ය. සච්චකට නිග්‍රහ කිරීමට මේ හොඳම වේලාවයයි ඔවුහු ද දුර්මුඛගේ කථාව අවසන් වන තුරු නො ඉවසිල්ලෙන් සිටියහ. සච්චක ඔවුන් සිටින ආකාරයෙන් ම ඒ බව තේරුම් ගෙන ඔවුනට කථා කරන්නට ඉඩ නො ලැබෙනු පිණිස “නවත්වනු දුර්මුඛ, නුඹ හා අපගේ කථාවක් නැත. අප මෙහි කථා කරන්නේ ශ්‍රමණ ගෞතමයන් සමඟ ය”යි කියා, නැවතත් බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න විචාළේ ය. තථාගතයන් වහන්සේ ඒවාට පිළිතුරු වදාළහ.

ඉක්බිති සච්චක “පින්වත් ගෞතමයෙනි, ඔබ හා වාදයට ආ අපි ම වරද කරුවෝ වෙමු. මද කිපුණු ඇතෙකු හා ගැටෙන්නට ගිය එකකුට සෙතක් විය හැක ය. ඝෝර විෂැති සර්පයකු හා ගැටුණු එකකුට සෙතක් විය හැකි ය. මහා ගිනි කඳක් හා ගැටුණු එකකුට සෙතක් විය හැකි ය. භවත් ගෞතමයන් හා ගැටෙන්නට ආ එකකුට සෙතක් නම් නොවන්නේ ම ය. භවත් ගෞතමයන් හා වාදයට අවුත් අප කළේ වරදකැ”යි කියා “පින්වත් ගෞතමයනි, සෙට දින භික්ෂු සංඝයා ද සමග මාගේ දානය ඉවසනු මැනව ”යි ද කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.

සච්චක, ලිච්ඡවීන් විසින් පුදනු ලබන උසස් පුද්ගලයෙකි. ලිච්ඡවීහු දිනකට බත් සැළි පන්සියය බැගින් යවති. එදා ඔහු තමාට එවන බත් සැළි බුදුනට පිරිනැමීමට සුදුසු සේ පිළියෙල කර එවන ලෙස ලිච්ඡවීන්ට දැන්වී ය. ලිච්ඡවීහු පසු දින සුදුසු සේ පිළියෙල කළ පන්සියයක් බත් සැළි සච්චකගේ අරමට යැවූහ. ඔහු සිය අරමෙහි ප්‍රණීත ලෙස දන් පිළියෙල කරවා අසුන් පනවවා බුදුරදුන්ට දන්වා යැවී ය. තථාගතයන් වහන්සේ බික්සඟන සමඟ එහි වැඩම කොට ඔහුගේ දානය පිළිගෙන වදාළ සේක. වළඳවා අවසානයේදී සච්චක බුදුරදුන් සමීපයේ එක් මිටි අසුනක වාඩිවී “පින්වත් ගෞතමයෙනි, මේ දානයෙන් වන යම් පිනක් වේ නම් යම් ආනිසංසයක් වේ නම් එය මේ ලිච්ඡවීන්ට වේවා”යි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “අවීතරාගී අවීතද්වේෂී අවීතමෝහී තොපට දීමෙන් වන ඵලය දායකයන්ට වන්නේ ය. අපට දුන්නේ නුඹය, අප වැනි වීතරාගී වීතද්වේෂී වීතමෝහී දක්ෂිණාර්හයන්ට දීමෙන් වන ඵලය නුඹට වන්නේය”යි සච්චක ඉන් ඵලයක් බලාපොරොත්තු නොවතුදු අනාගත වාසනාව පිණිස දානයෙන් වන ඵලය ඔහුට ම පැවරූ සේක.

එදා සච්චක බුදුරදුන් හා වාදයට ගොස් පරාජය ලැබ මහජනයා මැද ලැජ්ජාවට පත් වුව ද එපමණකින් ඔහු බුදුරදුන් පැරදවීමේ අදහස නො හළේ ය. ඔහු නැවතත් බුදුරදුන් හා වාද කිරීමට නිද්‍රාව පිළිබඳ ප්‍රශ්ණයක් ගොතා ගත්තේ ය. “කලින් මා පිරිස කැඳවා ගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත යාමෙන් කළේ අනුවණ කමෙක, වාදයට යා යුත්තේ අප්‍රසිද්ධියේ ය. එසේ ගොස් ශ්‍රමණ ගෞතමයා පැරදවිය හැකි වී නම් මගේ ලබ්ධිය දක්වා ජය ප්‍රකාශ කළ හැකි ය. මා පැරදුන ද අඳුරෙහි කළ නැටුමක් සෙයින් කිසිවෙක් නොදැන ගන්නාහ”යි සිතා, තථාගතයන් වහන්සේට දෝෂාරෝපනය පිණිස ඔහු තනිවම ගියේ ය. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් දෙසීමෙන් අනාගතයේ විය හැකි යහපත දැන වදාරා කරුණා පෙරදැරිව සච්චකයා පිළිගෙන ඔහුගේ ප්‍රශ්න විසඳමින් මහාසච්චක සූත්‍ර ධර්මය වදාළ සේක. සච්චකගේ නුවණ මෝරා නො තුබුණෙන් සූත්‍ර දෙකක් ම අසා ද ඔහුට ධර්මාවබෝධය නො වීය. යටත් පිරිසෙයින් අත් ඔසවා වැඳීම් මාත්‍රයකුදු නො කරන මේ නිගණ්ඨයාට තථාගතයන් වහන්සේ බොහෝ වෙහෙස ගෙන ධර්මදේශනා කරන ලදුයේ අනාගතයේ ඔහුට ලක්දිව ඉපිද පැවිදිව රහත් ව නිවන් දැකිය හැකි වන බව දුටු හෙයිනි.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. සච්චක ද මිනිස් ලොවින් චුතව දෙව්ලොව උපන්නේ ය. මෙහි බුදුසසුන පිහිටි පසු සච්චක දෙව්ලොවින් චුතව දක්ෂිණගිරි විහාරස්ථානයෙහි ඇමති පවුලක ඉපිද පැවිදි වීමට සුදුසු වයසට පැමිණි කල්හි ගිහිගෙන් නික්ම පැවිදි විය. ඔහු කාළබුද්ධරක්ඛිත නම් වීය. ඒ භික්ෂු තෙමේ ත්‍රිපිටක ධර්මය මැනවින් උගෙන ආචාර්‍ය්‍යවරයෙක් වී දිනක් බොහෝ භික්ෂූන් සමග උපාධ්‍යායයන් දක්නට ගියේ ය. උපාධ්‍යායයන් වහන්සේ තමන්ගේ සද්ධිවිහාරිකයා හික්මවන්නට සිතා ත්‍රිපිටකය උගෙන මහා පිරිසකුත් සමඟ පැමිණි කාළබුද්ධරක්ඛිතට මුහුණ නුදුන්හ. අන් සැලකිල්ලක් තබා පිළිසඳර කථා මාත්‍රයකුදු නො කළහ. පසු දින උදෑසන බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන් වෙත ගොස් වැඳ “ස්වාමීනි, මම ත්‍රිපිටක ධර්මය උගෙනීම නිම කොට නුඹ වහන්සේ දක්නට පැමිණියෙමි. නුඹ වහන්සේ මට මුහුණ දී කථාවකු දු නො කරන සේක. මා අතින් සිදුවී ඇති වරද කිමදැ”යි කීය. එකල්හි තෙරණුවෝ “ඇවැත්නි, බුද්ධරක්ඛිත ඔබ ත්‍රිපිටකය උගත් පමණින් පැවිදි කිස නිම වී යයි සිතන්නෙහිදැ”යි කීය. “ස්වාමීනි, කුමක් කරන්නෙම්දැ“යි බුද්ධරක්ඛිත භික්ෂු නම කීය. පිරිස හැර පළිබෝධ සිඳ, කසිතපබ්බත විහාරයට ගොස් මහණ දම් කරව”යි තෙරුන් වහන්සේ කීය. බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන්ගේ අවවාදයෙහි පිහිටා මහණදම් පුරා සිවුපිළිසිඹියාවන් සහිතව අර්හත්වයට පැමිණ බොහෝ භික්ෂූන් පිරිවර කොට ඇති රාජ පූජිත තෙරනමක් වී චේතියපබ්බත විහාරයෙහි වාසය කෙළේ ය. ඒකාලයේ තිස්ස රජ සිල් සමාදන්ව සෑගිරියේ රජලෙණෙහි වාසය කරයි. රජතුමා “කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසන, ප්‍රශ්න විසඳන අවස්ථාවක් වේ නම් මට දන්වනු මැනවයි” තෙරුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුවකට කියා තැබුයේ ය. එක් දිනක් කාලබුද්ධරක්ඛිත තෙරණුවෝ භික්ෂුසංඝයා සමඟ කණ්ඨක චෛත්‍යය වැඳ එය සමීපයෙහි කළු තිඹිරිගසක් මුල සිටියහ. එකල්හි එක් පිණ්ඩපාතික තෙරනමක් උන්වහන්සේගෙන් කාළකාරාම සූත්‍රයෙන් ප්‍රශ්නයක් ඇසීය. එය පොහෝ දිනයෙකි. තෙරුන් වහන්සේ “අද දහම් අසන දිනය නො වේදැ”යි භික්ෂූන්ගෙන් ඇසූහ. භික්ෂූහු “එසේය”යි පිළිතුරු දුන්හ. එසේ නම් “පුටුවක් ගෙනව, අද මෙහි ම දහම් දෙසමි”යි වදාළහ. තෙරුවන් වහන්සේ එහි වැඩ හිඳ රාත්‍රිය මුළුල්ලෙහි කාළකාරාම සූත්‍රයෙන් දහම් දෙසූහ.

කාළකාරාමසූත්‍රය, සූත්‍රදේශනා අතුරෙන් ඉතා උසස් සූත්‍රධර්මයෙකි. එය දේශනය කිරීමේදී පස් වරක් පොළොව කම්පිත විය. එය ඇසීමෙන් පන්සියයක් භික්ෂූහු සව්කෙලෙසුන් නසා රහත් වූහ. සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය. එය බුදුගුණ දැක්වෙන සූත්‍රයෙකි. මේ බුද්ධගුණ කථනස්ථානයේ දී එය දැක්වීමට යෝග්‍ය සූත්‍රධර්මයක් වුව ද ඉතා ගැඹුරු වූ ඒ සූත්‍රයේ ධර්ම රසය සැමටම ලැබිය නොහෙන බැවින් මෙයට ඇතුළු නො කරනු ලැබේ. එය අඞ්ගුත්තරනිකායේ චතුෂ්කනිපාතයේ පඨමපණ්ණාසකයේ උරුවේලවග්ගයේ සතරවන සූත්‍රය ය.

කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසන බව උපස්ථායක භික්ෂුව තිස්ස රජුට දැන්වීය. තෙරුන් වහන්සේ දහම් දෙසීමේදී පූර්වභාගයේ කියන ගාථා දේශනය කොට නිම වේගන යන කල්හි රජතුමා දහම් අසනු සඳහා එහි ගොස් අප්‍රසිද්ධ වේශයෙන් පිරිස් කෙළවර සිටගෙන රාත්‍රිය මුළුල්ලෙහි ධර්මය ශ්‍රවණය කළේ ය. තෙරුන්වහන්සේ ධර්මදේශනය අවසන් කරනු පිණිස “ඉදමවොච භගවා”යි වදාරන කල්හි රජතුමා සාධුකාර දිණ. තෙරුන් වහන්සේ රජු ගේ හඬ අසා හැඳින “මහරජ, කොයිවේලේ ආයෙහිදැ”යි විචාළහ. “ස්වාමීනි, නුඹ වහන්සේ පූර්ව ගාථා වදාරා අවසන් කරන වේලාවෙහිය”යි රජතුමා කීය. “මහරජ, තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි සිට ගෙනම දහම් ඇසීමෙන් ඔබ දුෂ්කර වැඩක් කෙළෙහි ය”යි තෙරුන් වහන්සේ කීහ. “ස්වාමීනි දුෂ්කර දෙයක් නොවේ. ස්වාමීනි, නුඹවහන්සේ දහම් දෙසීමට ආරම්භ කළ තැන් පටන් එක පදයෙක්හි ද මා අන්‍ය විහිත වී නම් මේ ලක්දිව පොළොවෙන් කෙවිටක් සිටවන තරමේ තැනකුදු මා හට හිමි නො වේවා”යි රජතුමා කීය.

තෙරුවන් වහන්සේ විසින් කළ බුදුගුණ දේශනය ඇසූ රජතුමා “ස්වාමීනි, බුදුගුණ මෙපමණ ද, තවත් ඇත්දැ”යි කී ය. “මහරජ, මා කී බුදුගුණ වලට වඩා නොකී බුදුගුණ ඉතා බොහෝ ය”යි තෙරුන් වහන්සේ කීහ. “ස්වාමීනි, උපමාවක් දක්වනු මැනව”යි රජු කීය. “මහරජ සියකිරියක් වැපිරෙන කුඹුරක එක් ගොයම් කරලකට ඉතිරි ගොයම් කරල් වැඩි වන්නාක් මෙන් මා කී බුදුගුණ ඉතා මඳය, නොකී බුදුගුණ ම ඉතා බොහෝ වෙතැ”යි තෙරණුවෝ කීහ. “ස්වාමීනි තවත් උපමාවක් දක්වනු මැනව”යි රජු කීය. “මහරජ, ජලය පිරි දෙගොඩතලා ගලා යන මහා ගංගාවකට ඉදිකටුවක් ඇල්ලුව හොත් එහි මලින් යන ජලය යම් සේ ඉතා මඳ වේ ද, ඉතිරි ජලයම බොහෝ වේ ද එමෙන් මා කී බුදුගුණ ඉතා මඳ වන්නේ ය. නොකී බුදුගුණ ම ඉතා බොහෝ වන්නේය”යි වදාළහ. “ස්වාමීනි, අනිකුදු උපමාවක් වදාළ මැනව”යි රජු කී ය. “මහරජ, අහසෙහි ක්‍රීඩා කරන වාතසකුණ නම් කුඩා පක්ෂි ජාතියක් ඇත. කිමෙක්ද මහරජ ඒ පක්ෂියකු අහසේ පියාසර කරන කල්හි උගේ පියාපත්වලට වැසෙන අහස වැඩි ද ඉතිරි අහස වැඩි දැ”යි තෙරුන් වහන්සේ වදාළහ. “ස්වාමිනී, කුමක් කියන සේක් ද? ඒ ලිහිණියාගේ පියාපත්වලට වැසෙන අහස ඉතා මඳ ය. නො වැසෙන අහස ම ඉතා බොහෝ වන්නේ ය”යි රජු කී ය. “මහරජ එමෙන් මා කී බුදුගුණ ඉතා මඳ ය, නො කී බුදුගුණ ම ඉතා බොහෝ ය. අනත්ත ය. අප්‍රමාණය”යි තෙරුන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, අනන්ත වූ බුද්ධගුණය අනන්තාකාශයට උපමා කිරීම ඉතා යහපත, මම ආර්‍ය්‍යයන් වහන්සේට ප්‍රසන්න වීමි. ආර්‍ය්‍යයන් වහන්සේට සුදුසු පූජාවක් කිරීමට මම නො සමත්මි. මාගේ මේ දුප්පත් පඬුර පිළිගන්නා සේක්වා මේ ලක්දිව සියයක් යොදුන් රජය ආර්‍ය්‍යයන් වහන්සේට දහම් පඬුරක් වශයෙන් පුදමි”යි රජු කීය. එකල්හි තෙරුන් වහන්සේ “මහරජ, ඔබතුමාගේ පැහැදීම නිසා කළ යුත්ත කෙළෙහි ය. අපට දුන් රජය අපි ඔබට ම නැවත දෙමු. දැහැමෙන් සෙමෙන් ඔබ ම මේ රජය කරන්නෙහිය”යි තෙරුන් වහන්සේ ඔහුට ම රජය ආපසු දුන්හ.

(මහාසච්චකසුත්තට්ඨකථාවෙන්)