නිදානොද්දේසය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ස්වාමීනි, සංඝතෙමේ මා කියන්නක් අසාවා, අද පුණුරැසි පොහෝ දවසය.[1] ඉදින් සංඝයාගේ පොහොය කිරීමට සුදුසු කාලය පැමිණියේ නම්2 සංඝතෙමේ පොහොය කරන්නේය.3 පාමොක්4 උදෙසන්නේය.

සංඝයා විසින් කළ යුතු වූ පූර්වකෘත්‍යය5 කොට නිමවන ලදද? (එසේ නම්) ඇවැත්නි පිරිසිදුබව6 පළ කරවු. පාමොක් උදෙසන්නෙමි. අප සියල්ලෝ ම එක්වන්ව සාවධානව එය අසමු. මෙනෙහි කරමු. යමෙකුට පැමිණි ආපත්තියක් ඇත්නම් එය ප්‍ර‍කාශ කළ යුත්තේ ය. ආපත්තියක් නැති කල්හි නිශ්ශබ්ද විය යුතුය. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මත්හු පිරිසිදුහයි දැනගනිමි. යම් සේ ඔබ වෙන් වෙන් ව විචාළා වූ (මට) එය විසඳීමක් වන්නේ ද, එහෙයිනි.

එසේ ම මෙබඳු පිරිසක තුන් යලක් නැවත නැවත ඇසීමක් වේ. යම් භික්ෂුවක් තුන් යලක් නැවත නැවත අසනු ලබද්දීත් (තමා කෙරෙහි) ඇති ආපත්තිය සිහි කරමින් එය ප්‍ර‍කාශ නොකරයි ද ඕහට සම්පජාන මුසාවාදය වේ. ඇවැත්නි, දැන දැන බොරුකීම වූ කලී අන්තරාය කර දෙයකැ’යි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ ය. එහෙයින් පිරිසිදු බව බලාපොරොත්තු වන්නා වූ ද ආපත්ති සිහි කරන්නා වූ ද භික්ෂුව විසින් ඇති ආපත්ති ප්‍ර‍කාශ කළයුතු වේ. එසේ ප්‍ර‍කාශ කිරීම භික්ෂූන්ගේ ධ්‍යානාධිගමය සඳහා පහසුවන්නේ ද එහෙයිනි.

ඇවැත්නි, නිදානය දක්වන ලදී. එහි ලා ඔබ අතින් විචාරමි. කෙසේ ද? පිරිසිදු ද? දෙවැනිවර ද විචාරමි. කෙසේ ද? පිරිසිදු ද? තෙවැනි වරද විචාරමි. කෙසේද පිරිසිදු ද? මේ නිදානයෙහි ලා ආයුෂ්මත්හු පිරිසිදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසිදු බව කොට සලකම් ද, එහෙයිනි.

පළමුවැනි නිදානොද්දේසයයි.

  1. සිංහල කොටසේ සංඛ්‍යා සටහන් උප ග්‍ර‍න්ථයෙන් බලන්න.