තෙළෙස් සඟවෙසෙස්

ඇවැත්නි, අනතුරුව මේ තෙළෙස් සඟවෙසෙස්12 උදෙසනු ලැබේ.

  1. සිහිනයක් විනා දැන දැන ශුක්‍ර‍ මෝචනයක් වේ ද (ඕහට) සඟවෙසෙස් නම් ඇවැත වේ.
  2. යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලී ගිය සිතින් අතින’ත ගැනීම, කෙහෙ අල්ලා ගැනීම හා අනිත් අතින් අවයවයන් පරාමර්ශනය කිරීම වශයෙන ස්ත්‍රියක හා කයින් කය ස්පර්ශ කෙරේ ද, (ඕහට) සඟවෙසෙස් ඇවැත් වේ.
  3. යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලී ගිය සිතින් තරුණයකු තරුණියකට මෛථුන සන්නිශ්‍රිතව කරන කථාවක් මෙන් යම් ස්ත්‍රියකට ඇගේ වසමග පසමග පිළිබඳව අසභ්‍යව්‍යවහාරයෙන් කථා කරයි නම් (ඕහට) සඟවෙසෙස් ඇවැත් වේ.
  4. යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලී ගිය සිතින් නැගණියනි, සිල්වත්වූ යහපත් ගතිගුණ හා බඹසර ඇත්තා වූ මා වැන්නකුට මෛථුන සේවනයෙන් උවටැන් කෙරේ නම් එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ ය’යි ස්ත්‍රියක් හමුවෙහි තමා හා මෙවුන්දම් සෙවීමේ අනුසස් ප්‍ර‍කාශ කරන්නේද, (ඕහට) සඟවෙසෙස් නම් ඇවැත් වේ.
  5. යම් භික්ෂුවක් ස්ථිර අඹුසැමි බවකින් හෝ සොර අඹුසැමි බවකින් ස්ත්‍රියකගේ කැමැත්ත පුරුෂයාට ද පුරුෂයාගේ කැමැත්ත ස්ත්‍රියවෙත ද ගෙනයයිද, යටත් පිරිසෙයින් එකෙණෙහි රමණය කරනු කැමති ස්ත්‍රී පුරුෂයන්ගේ හෝ අදහස් ඔවුනොවුන් අතර ගෙනයන්නේ නම් (ඕහට) සංඝාදිසේසා’පත්තිය වේ.
  6. තමන් සඳහා වූ ද, කරවා දෙන දායකයන් නැත්තා වූ ද, (එහෙයින් ම) ඉල්ලා ගත් වෑ පොරෝ ආදිය ඇතිව කුටියක් කරවනු කැමති භික්ෂුව විසින් එය ප්‍ර‍මාණවත් ලෙස කරවිය යුත්තේය. මේ එහි ප්‍ර‍මාණයයි. දිගින් යුගත් වියතින්13 දොළොස් වියතකි. පළලින් (භික්ති හැර) ඇතුළත සුගත් වියතින් සත් වියතකි. කුටිබිම දෙසීම පිණිස භික්ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්ෂූන් විසින් ද උපද්‍ර‍ව රහිතව උපචාර සහිතව කුටිබිම දෙසිය යුත්තේ ය. යම් භික්ෂුවක් උපද්‍ර‍ව සහිතව උපචාර රහිතව ඉල්ලා ගත් වෑ, පොරෝ, ආදියෙන් කුටියක් කර වන්නේ කුටිබිම දෙසීම පිණිස භික්ෂූහු ද නොකැඳවන ලද්දාහු ද, එසේ ම ප්‍ර‍මාණය ද ඉක්මවා නම් (ඕහට) සඟවෙසෙස් වේ.
  7. තමන් සඳහා වූද, කරවාදෙන දායකයන් ඇත්තා වූද ලොකු විහාරයක් කරවනු කැමති භික්ෂුව විසින් විහාරබිම දෙසීම සඳහා භික්ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්ෂූන් විසින් ද උපද්‍ර‍ව රහිතව උපචාර සහිතව විහාර බිම දෙසිය යුත්තේය. යම් භික්ෂුවක් උපද්‍ර‍ව සහිතව උපචාර රහිතව ලොකු විහාරයක් කරවන්නේ නම් විහාරවස්තුව දෙසීම පිණිස භික්ෂූහු ද නොකැඳවන ලද්දාහු නම් (ඕහට) සංඝාදිසේසා ‘පත්තිය වේ.
  8. යම් භික්ෂුවක් කිපියේ, නොසතුටු වූයේ, අනුන් විනාශ කරන සිත් ඇත්තේ අනිත් මහණකු සස්නෙන් නෙරපා දමන්නෙම් නම් යෙහෙකැයි (සිතා) අමූලික වූ පරිජි ඇවතකින් චෝදනා කරයි. ඉක්බිති පසුකලෙක කිසිවකු විසින් විනිශ්චය කරනු ලැබුව ද නො ලැබුව ද, ඒ චෝදනාව හේතු රහිත වූවක් වෙයි නම්, චෝදක භික්ෂුව ම දෝෂයෙහි පිහිටා නම් (ඕහට) සඟවෙසෙස් ඇවැත් වේ.
  9. යම් භික්ෂුවක් කිපියේ, නො සතුටු වූයේ අනුන් විනාශ කරන සිත් ඇත්තේ, අනිත් මහණකු සස්නෙන් පහකරන්නෙම් නම් යෙහෙකැ’යි (සිතා) තිරිසන් ආදී සතකු පිළිබඳ වූ ආපත්තියට හේතුවන කාරණයක් ආරෝපනය කොට පරිජි ඇවතකින් චෝදනා කරයි. ඉක්බිති පසු කලෙක කිසිවකු විසින් විනිශ්චය කරනු ලැබුව ද නො ලැබුව ද ඒ චෝදනාව තිරිසනුන් පිළිබඳ වූවක් බවත්, ආරෝපිත වූවක් බවත් පැහැදිලි වේ නම් චෝදක භික්ෂුව ම වරදෙහි පිහිටා නම් (ඕහට) සංඝාදිසේසා’පත්තිය වේ.
  10. යම් භික්ෂුවක් සමගි සංඝයාගේ භේදය පිණිස උත්සාහ කරයි ද, භේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩිය ගෙන සිටියි ද, ඒ භික්ෂුවට සෙසු භික්ෂූන් විසින් මෙසේ මෙසේ කිය යුත්තේ ය. “ඇවැත්නි, සමගි සංඝයාගේ භේදය පිණිස උත්සාහ නොකරව. භේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩිව ගෙන නොසිටුව, ඇවැත්නි, පියවි සංඝයා සමග එක්වනු මැනව. සමගි සංඝයා ප්‍රීතිමත්ය, අවිවාදය, සමාන පාමොක් උදෙසීම් ඇත්තේය, සුවසේ වාසය කරන්නේ ද එහෙයිනි. මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නා වූ යථෝක්ත භික්ෂුව පෙර සේ ම දැඩිව සිටී නම් ඒ දෘෂ්ටිය දුරුකරනු සඳහා පියවි භික්ෂූන් විසින් තෙවරක් ම අවවාද දිය යුත්තේ ය. ඉදින් තෙවැනි වරටත් හික්මවනු ලබන ඒ භික්ෂුව සිය අදහස් හළේ නම් මැනවි. නො හළේ නම් (ඕහට) සඟවෙසෙස් ඇවැත් වේ.
  11. සංඝභේදයට උත්සාහ කරන භික්ෂුවට පක්ෂ වූ භේදකරන්නා වූ භික්ෂුවක් හෝ දෙදෙනෙක් තිදෙනෙක් හෝ ඇතැ’යි (සිතමු). ඒ භික්ෂූහු ද මෙසේ පවසත්. “ඇවැත්නි යථෝක්ත භික්ෂුවට කිසිවක් නොකියවු. ඔහු විනයවාදිය, ධර්මවාදිය. අපගේ කැමැත්ත ද රුචිය ද ඔහු දනී. (එසේම) කියයි. ඒ අනුවද ක්‍රියාකරයි. අපගේ අදහස ද එය ම ය” කියයි. පියවි භික්ෂූන් විසින් ඒ භික්ෂූන්ට ද මෙසේ කියයුත්තාහු වෙති. “ඇවැත්නි, එසේ නොකියවු. යථෝක්ත මහණ අධර්මවාදිය, අවිනයවාදිය. ඔහ හැමද සංඝභේදය රුචි නොකරනු මැනව. පියවි සංඝයා සමග එක්වනු මැනව. සමගි සංඝතෙමේ ප්‍රීතිමත්ය. අවිවාදය. සමාන පාමොක් උදෙසීම් ඇත්තේය. සුවසේ වාසය කරන්නේ ද එහෙයිනි. මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ ඒ භික්ෂූහු පෙර සේ ම දැඩිව සිටිත් නම්, ඒ දෘෂ්ටිය දුරු කරනු සඳහා තෙවරක් ම අවවාද දියයුත්තාහ. ඉදින් තෙවන වරටත් හික්මවනු ලබන්නා වූ ඒ භික්ෂූහු සිය අදහස් හළේ නම් මැනවි. නොහළේ නම් සඟවෙසෙස් ඇවැත් වේ.
  12. යම්කිසි භික්ෂුවක් අකීකරු වෙයි. සෙසු භික්ෂූන් විසින් ප්‍රාතිමෝක්ෂයෙහි ඇතුළත් ශික්ෂා පදයන්හි පිහිටා අවවාද කරනු ලබන කල්හි ද ඔහු (තමා) අවවාද නොකටයුත්තෙකැ’යි කියයි. “ඇවැත්නි, ඔබවහන්සේ හොඳක් හෝ නරකක් හෝ මට නොකියනු මැනවි. මම ද ඔබවහන්සේට හොඳක් හෝ නරකක් නොකියමි. එහෙයින් මට අනුශාසනා නොකරවු” යයි තමා අනුශාසනා නොකටයුත්තකු කොට සලකයි. මෙබඳු භික්ෂුවට සෙසු භික්ෂූන් විසින් මෙසේ කිය යුතුය. “ඇවැත්නි, තමා නො කියයුත්තකු කොට නොසලකනු මැනව. හුදෙක් කිය යුත්තකු කොට ම සලකනු මැනව. ඔබ ද භික්ෂූන්ට විනයානුකූලව කියන්න. සෙසු භික්ෂූහු ද ඔබට විනයානුකූලව කියති. එය එසේම විය යුතුය. මක්නිසාද ඔවුනොවුන්ගේ අනුශාසනාවෙන්, ඔවුනොවුන් ඇවතින් නඟා සිටුවීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිස වැඩෙන්නේ ද, එහෙයිනි. මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරනු ලබන කල්හි ද ඒ භික්ෂුව පෙර සේ ම දැඩිව සිටීනම්, ඒ දෘෂ්ටිය දුරු කරනු සඳහා තෙවරක්ම අවවාද දිය යුත්තේය. ඉදින් තෙවන වරටත් හික්මවනු ලබන්නේ සිය අදහස හළේ නම් මැනවි. නොහළේ නම් (ඕහට) සංඝාදිසේසාපත්තිය වේ.
  13. යම් භික්ෂුවක් දායකයන්ගේ ශ්‍ර‍ද්ධාව දූෂණය කරමින් පහත් පැවතුම් ඇතිව යම් කුලයක් හෝ ගමක් ඇසුරු කොට වාසය කෙරේ. ඔහුගේ ලාමක හැසිරීම් හා එයින් දූෂිත වූ කුල ද දකින්නටත් අසන්නටත් ලැබේ. (එසේ ඇති කල්හි) පියවි භික්ෂූන් විසින් ඒ භික්ෂුවට මෙසේ කිය යුතු වෙයි. “ඔබ වනාහි දායකයන්ගේ ශ්‍ර‍ද්ධාව දූෂණය කරන්නෙකි. ලාමක හැසිරීම් ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත වූ කුල ද දකින්නටත් අසන්නටත් ලැබේ. එබැවින් මෙහි සිටීමෙන් වැඩක් නැත. මේ ආරාමයෙන් ඉවත්ව යව’යි කියායි. මෙසේ දන්වනු ලැබූ ඒ භික්ෂුව “මෙබඳුම ආපත්තියක් මුල්කොට සමහර අය (ආරාමයෙන්) බැහැර කරති. සමහර අය බැහැර නො කරති. මේ භික්ෂූහු ඡන්දයෙන් අගතියට ගියහ. ද්වේෂයෙන්, භයෙන් හා මෝහයෙන් අගතියට ගියහ’යි කියා නම්, පියවි භික්ෂූන් විසින් යලිත් ඕහට මෙසේ කියයුතු වෙයි. “මේ භික්ෂූහු ඡන්දයෙන් අගතියට නො ගියහ. ද්වේෂයෙන් භයෙන් හා මෝහයෙන් අගතියට නො ගියහ. ඔබ වනාහි කුලදූෂණය කරන්නෙකි. ලාමක හැසිරීම් ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත කුල ද දකින්නටත් අසන්නටත් ලැබේ. (එබැවින්) මෙහි සිටීමෙන් වැඩක් නැත. මේ ආරාමයෙන් ඉවත්ව යව’යි කියායි. භික්ෂූන් විසින් මෙසේ කියනු ලබද්දීත් පෙර සේ ම සිටී නම් නැවත තෙවරක් දක්වා දැන්විය යුතුයි. තුන්වැනි වර හික්මවනු ලබන්නේ සිය ලාමක හැසිරීම් අත්හලේ නම් මැනවි. නොහළේ නම් (ඕහට) සඟවෙසෙස් ඇවැත් වේ.

ඇවැත්නි, තෙළෙස් සඟවෙසෙස් ඇවැත් උදෙසන ලදි. (ඔවුන් අතුරෙන්) ශික්ෂාව ඉක්මවූ කෙණෙහි ම ඇවතට පැමිණෙන සඟවෙසෙස් නවයකි, තෙවැනිවර අවවාදයෙන් පැමිණෙන සඟවෙසෙස් සතරකි. භික්ෂුවක් කිසියම් ඇවැතකට පැමිණ යම් දින ගණනක් සඟවාගෙන සිටී ද, එපමණ දවස් ඒ භික්ෂුව විසින් නොකැමැත්තෙන් වුවද පිරිවෙස්14 විසිය යුතුය. විසූ පිරිවෙස් ඇති මහණ විසින් රෑ සයක් භික්ෂූන්ට බුහුමන් සඳහා මානත්15 පිළිපැදිය යුතුය. මානත් පිරීමෙන් අනතුරුව විසිනමකින් සම්පූර්ණ වූ සීමාවෙක්හි (පියවි භික්ෂුවක් වශයෙන්) සංඝයාට ඇතුළත් විය යුතුය. එයින් එකනමකින් හෝ අඩු වූ මහා සංඝතෙමේ එබඳු භික්ෂුවක් සංඝයාට ඇතුළත් කර ගනී නම් ඔහු ඇතුළත් නො වූයේ ම වේ. සීමාවෙහි වූ භික්ෂූහු නින්දා ලැබිය යුත්තාහු වෙති. මේ සඟවෙසෙස් ඇවතින් නැගී සිටීමේ පිළිවෙතයි.

මේ සංඝාදිසේසා‘පත්තීන්හි ලා ඔබ අතින් විචාරමි. කෙසේද? පිරිසුදුද? දෙවැනි වරද විචාරමි. කෙසේද? පිරිසුදුද? තෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදුද? මේ තෙළෙස් සඟවෙසෙස්හි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවාහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම්ද, එහෙයිනි.

තෙවැනි සංඝාදිසේස උද්දේසයයි.