නිදානෝද්දේසය

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස

හැමදාම, පහන් දැල්වීම, පැන් එළවීම හා අසුන් පැනවීම යන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ “පූර්‍වකරණ” යයි කියනු ලැබේ.

ඡන්දය හා පිරිසුදු බව ගෙන ඊම, සෘතුකීම, භික්ෂුණීන්ගේ සංඛ්‍යාව හා ඔවුන්ට අවවාද දීම යන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ “පූර්‍වකෘත්‍ය” යයි කියනු ලැබේ.

චාතුද්දසී ආදි උපෝසථය, සුත්තුද්දේස උපෝසථයට ප්‍ර‍මාණවත් භික්ෂුණීන් ඇති බව ඔවුන් සමාන ආපත්තිවලට නොපැමිණි බව හා සීමාවෙන් ඉවත් කළ යුතු කෙනකුන් නැති බව යන සිව්අඟින් යුක්ත නම් එය පොහොය කිරීමට “සුදුසු කාලයයි” කියනු ලැබේ.

පූර්වකරණ, පූර්වකෘත්‍ය නිමවා දෙසන ලද ඇවැත් ඇති සමගි වූ භික්ෂුණී සංඝයාගේ අවසරයෙන් පාමොක් උදෙසීමට ආරාධනය කරමු.

“ආර්‍ය්‍යාවරුනි, භික්ෂුණී සංඝතෙමේ මා කියන්නක් අසාවා. අද පුණුරැසි පොහෝ දවසයි. ඉදින් සංඝයාගේ පොහොය කිරීමට පැමිණි කල් ඇත්තේ වී නම් සංඝ තෙමේ පොහොය කරන්නේය. පාමොක් උදෙස්නනේ ය.

සංඝයා විසින් කළයුතු වූ පූර්වකෘත්‍ය කොට නිමවන ලදද? (එසේ නම්) ආර්‍ය්‍යාවරුනි, පිරිසුදු බව පළකරවු. පාමොක් උදෙසන්නෙමි. අප සියල්ලෝ ම එක්වන්ව සාවධානව එය අසමු. මෙනෙහි කරමු. යමකුට පැමිණි ආපත්තියක් ඇත්නම් එය ප්‍ර‍කාශ කළ යුත්තේය. පැමිණි ආපත්තියක් නැතිකල්හි නිශ්ශබ්ද විය යුතුයි. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මත්හු පිරිසුදු වූහ’යි දැනගනිමි. යම් සේ ඔබ වෙන් වෙන්ව විචාළා වූ (මට) එය විසඳීමක් වන්නේ ද එහෙයිනි.

එසේම මෙබඳු පිරිසක තුන්යලක් නැවත නැවත ඇසීමක් වේ. යම් භික්ෂුවක් තුන්වරක් නැවත නැවත අසනු ලබද්දීත් (තමා කෙරෙහි) ඇති ආපත්තිය සිහිකරමින් එය ප්‍ර‍කාශ නො කරයිද, ඕහට සම්පජාන මුසාවාදය වේ. ආර්‍ය්‍යාවරුනි, දැන දැන බොරුකීම වූ කලි අන්තරායකර දෙයකැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය. එහෙයින් පිරිසුදු බව බලාපොරොත්තු වන්නා වූද ආපත්ති සිහිකරන්නා වූද භික්ෂුණිය විසින් පැමිණි ආපත්ති ප්‍ර‍කාශ කළ යුතු වෙයි. එසේ ප්‍ර‍කාශ කිරීම භික්ෂුණියගේ (ධ්‍යානාධිගමය සඳහා) පහසුවන්නේ ද, එහෙයිනි.

ආර්‍ය්‍යාවරුනි, නිදානය දක්වන ලදි. එහි ලා ඔබ අතින් විචාරමි. කෙසේද පිරිසුදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේ ද පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? මේ නිදානයෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම්ද, එහෙයිනි.

පළමුවැනි නිදානෝද්දේසය යි.