සතළොස් සඟවෙසෙස් ඇවැත්

ආර්‍ය්‍යාවරුනි, අනතුරුව සතළොස් සඟවෙසෙස් ඇවැත් උදෙසනු ලැබේ.

  1. යම් භික්ෂුණියක් ගැහැවියකු හෝ ඔහු පුතකු සමග දාසයකු කම්කරුවකු යටත් පිරිසෙයින් ශ්‍ර‍මණ පිරිවැජියකු සමග මානී වූවා විවාදයට බැස ගත්තී වේ ද ඇයට පඨමාපත්තික වූද (ඉක්මවූ කෙණෙහි ම ඇවතට පැමිණෙන සුළු) නිස්සාරණීය වූද (භික්ෂුණී සංඝයා කෙරෙන් නෙරපා දැමිය යුතු) සඟවෙසෙස් වේ.
  2. යම් භික්ෂුණියක් රජුට හෝ භික්ෂුණී සංඝයාට හෝ නො දන්වා ලෝක සාසනික කටයුතු කරන සේවා සංගමයකට, රාජකීය සේනාවකට හෝ නො දන්වා පෙර පැවිදි වූවක හැර වධයට සුදුසු වූ, එයින් ප්‍ර‍සිද්ධ වූ සොර ස්ත්‍රියක් උපසම්පන්න කෙරේද ඇය පඨමාපත්තික වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණියා වේ.
  3. යම් භික්ෂුණියක් හුදකලාව අනිත් ගමකට යේ ද, ගඟක් හෝ තරණය කෙරේ ද, රාත්‍රියක් ගත කෙරේ ද, භික්ෂුණීන්ගෙන් තනිව හෝ වෙසේ ද, ඇය පඨමාපත්තික වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණියා වේ.
  4. යම් භික්ෂුණියක්, සමගි සංඝයා විසින් දැහැමිව, විනයානුකූලව, ශාස්තෘ අනුශාසනය නො ඉක්මවා නෙරපන ලද භික්ෂුණියක ඒ විනය කර්ම කළවුන්ට නො දන්වා ඔවුන්ගේ අදහස් ද නො දැන භික්ෂුණී සංඝයා කෙරෙහි ලා ඇතුළත් කරගනී ද ඇය පඨමාපත්තික වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණියා වේ.
  5. යම් භික්ෂුණියක් රාගී අදහස් ඇතිව එබඳු වූ ම පුරුෂයකු අතින් කෑ යුතු බුදිය යුතු දැයක් සියතින් පිළිගෙන වළඳා නම් ඇය පඨමාපත්තික වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණියා වේ.
  6. යම් භික්ෂුණියක් මෙසේ කියයි. “ආර්‍ය්‍යාවරුනි, මේ පුරුෂයාගේ රාගී අදහස් ඇති බැවින් හෝ නැති බැවින් තොපට වැඩක් නැත. මක්නිසාද? තොප හැම රාගී අදහස් නැත්තවුන් හෙයිනි. එහෙයින් ආර්‍ය්‍යාවරුනි, කෑයුතු බුදියයුතු දැයක් මොහු තොපට දෙන්නේ නම් සියතින් පිළිගෙන අනුභව කරවු”යි කියායි. ඇය ද පඨමාපත්තික වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණියා වේ.

(7, 8, 9 වැනි සඟවෙසෙස් භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි දැක්වූ 5, 8, 9 වැනි සඟවෙසෙස් අයුරුයි.)

10. යම් භික්ෂුණියක් කුපිතව නො සතුටු සිත් ඇතිව “මම බුදුන් අත් හරිමි. දහම් හා සඟුන් අත් හරිමි. ශික්‍ෂා අත්හරිමි. කිම ශාක්‍ය දුහිතෘ වූ භික්‍ෂුණීහු පමණක් ම භික්‍ෂුණීහු වෙත් ද? ලජ්ජනී වූ කුකුස් ඇත්තා වූ ශික්ෂාකාමිනී වූ අන්‍ය භික්‍ෂුණීහුද වෙති. මම ඔවුන් කෙරෙහි පැවිදිව බඹසර හැසිරෙමි’යි කියා ද, ඇයට සෙසු භික්ෂුණීන් විසින් මෙසේ කියයුතු වෙයි. “ආර්‍ය්‍යාවනි, කෝපයෙන් හා නො සතුටින් මෙසේ කථා නො කරව. ශාසනික ප්‍ර‍තිපදාවෙහි සිත් අලවව. නව ලොව්තුරු දහම් සසර දුක් කෙළවර කිරීමට සුදුසු පරිදි වදාරණ ලද්දේ ද එහෙයිනි. බඹසර හැසිරෙව’යි කියායි. මෙසේ කියනු ලබද්දීත් ඒ භික්ෂුණිය තම දෘෂ්ටිය දැඩිව ම ගෙන සිටී නම් එය දුරු කරනු පිණිස තුන්යලක් ම කියයුතු වෙයි. තෙවැනි වර දැඩි බව දුරුකළා නම් මැනවි. නොකළා නම් තෙවැනි වර ඇවතට පැමිණිය හැකි වූ ද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණේ.

11. යම් භික්ෂුණියක් අධිකරණයකින් පරාජිත වූවා නොසතුටු සිත් ඇතිව මෙසේ කියයි. “මේ භික්ෂුණීහු ඡන්දයෙන් අගතියට ගියාහ. ද්වේෂයෙන් මෝහයෙන් හා බියෙන් අගතියට ගියාහ”යි කියයි. ඇයට සෙසු භික්ෂුණීන් විසින් “ආර්‍ය්‍යාවෙනි, එසේ නොකියව”යි දැන්විය යුතුයි. එසේ දන්වනු ලබද්දීත් පෙර සේ ම දැඩිව සිටී නම් එය දුරු කිරීම පිණිස තෙ වරක් ම කිය යුතුය. තෙවැනි වර දැඩි බව දුරුකළා නම් මැනවි. නො කළා නම් තෙවැනි වර ඇවතට පැමිණිය හැකි වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණේ.

12. යම් භික්ෂුණී පිරිසක් ගිහියන් හා මුසුව, ලාමක හැසිරීම් ඇතිව එයින් ම ප්‍ර‍සිද්ධ වූවාහු භික්ෂූණී සංඝයාට අපහාස ගෙන දේද, ඔවුනොවුන් කුදු මහත් වරද වසා ගනිත් ද සෙසු භික්ෂුණීන් විසින් ඔවුනට මෙසේ කියයුතු වෙයි. “ආර්‍ය්‍යාවෙනි, තොප ගිහියන් හා මිශ්‍ර‍ය. ලාමක හැසිරීම් ඇත්තෙහිය. එයින් ම ප්‍ර‍සිද්ධය. එහෙයින් භික්ෂුණී සංඝයාට අපහාස ගෙන දෙති. වරද වසාගෙන සිටිති. ආර්‍ය්‍යාවනි, ගිහියන් හා මුසුව වාසය නො කරව. යුෂ්මතුන්ගේ කායචිත්ත විවේකය ම භික්ෂුණී සංඝයා වර්ණනා කරති” කියායි. මෙසේ කියනු ලබද්දීත්, ඒ භික්ෂුණීහු පෙර සේ ම දැඩි බව ගෙන සිටිත් නම් එය දුරු කරනු පිණිස තුන්යලක් ම කියයුතුය. තෙවැනි වර දැඩිබව දුරුකළා නම් මැනවි. නො කළා නම් යාවතතියක වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවැත් වේ.

13. යම් භික්ෂුණියක් මෙසේ කියයි. “ආර්‍ය්‍යාවෙනි, තොප මුසුව වාසය කරවු. වෙන්ව නො වසවු. භික්ෂුණී සංඝයා අතට පවිටු හැසිරීම් ඇති, එයින් ප්‍ර‍සිද්ධ වූ භික්ෂුණී සංඝයාට අපහාස ගෙන දෙන, එසේ ම ඔවුනොවුන්ගේ වරද සඟවා ගෙන සිටින්නාවූ, අන්‍ය භික්ෂුණීහුද සිටිති. එහෙත් සංඝයා ඔවුන්ට කිසිවක් නො කියති. අවඥා මුඛයෙන් පරිභව මුඛයෙන්, ක්‍රෝධයෙන් හෝ තොප දුර්වල බැවින් නැතහොත් බියගැන්වීමේ කැමැත්තෙන් තොපට ම මුසුව වාසය නො කරවු. වෙන්ව වසවු” යයි කියති. පවිටු හැසිරීම් ඇතැ”යි ද එයින් ප්‍ර‍සිද්ධයයි ද කියති. භික්ෂුණී සංඝයාට අපහාස ගෙනදෙන බවත්, ඔවුනොවුන් වරද වසා සිටින බව ද කියත්” යනුයි. සෙසු භික්ෂුණීන් විසින් ඇයට එසේ නො කිය යුතු බව දැන්විය යුත්තේය. එසේ කියනු ලබද්දීත් ඒ භික්ෂුණිය පෙර සේ ම දැඩිව සිටී නම් එය දුරුකරනු පිණිස තෙවරක් ම දැන්විය යුතුය. තෙවැනි වර ඒ දෘෂ්ටිය දුරුකළා නම් මැනවි. නො කළා නම් තෙවැනි වර ආපත්තියට පැමිණිය හැකිවූ ද නිස්සාරණීය වූ සඟවෙසෙස් ඇවැත් වේ.‍

(14, 15, 16, 17 වැනි සඟවෙසෙස් භික්ෂුප්‍රාතිමෝක්ෂයෙහි දැක්වූ 10, 11, 12, 13 වැනි සඟවෙසෙස් අයුරුයි.)

ආර්‍ය්‍යාවරුනි, සතළොස් සඟවෙසෙස් ඇවැත් උදෙසන ලදී. එයින් පඨමාපත්තික සඟවෙසෙස් නවයකි. යාවතතියක සඟවෙසෙස් අටකි. මේ ආපත්තීන්ගෙන් යම් යම් ඇවතකට පැමිණි භික්ෂුණිය විසින් භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා වෙත පසළොස් දිනක් පක්ෂමානත පිරිය යුතුය. මානත් පිරීමෙන් අනතුරුව විසිනමකින් සම්පූර්ණ වූ භික්ෂුණී සංඝයා ඇති සීමාවෙක්හි (පියවි භික්ෂුණියක වශයෙන්) සංඝයාට ඇතුළත් විය යුතුයි. එක නමකින් හෝ අඩුව මහා සංඝ තෙමේ එවැනි භික්ෂුණියක සංඝයාට ඇතුළත් කර ගනී නම් ඇය ඇතුළත් නො වූවා වෙයි. සීමාවෙහි වූ භික්ෂුණීහු ද නින්දා ලැබිය යුත්තාහු වෙති. මේ සඟවෙසෙස් ඇවතින් නැගී සිටීමේ පිළිවෙතයි.

ආර්‍ය්‍යාවරුනි, මේ සඟවෙසෙස් ඇවැත්හි ලා ඔබ අතින් විචාරමි. කෙසේද පිරිසුදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? ආර්‍ය්‍යාවරු මේ තෙළෙස් සංඝාදිසේසාපත්තීන්හි ලා පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම් ද එහෙයිනි.

තෙවැනි සංඝාදිසේස උද්දේසයයි.