උපග්‍ර‍න්ථය

1. දින වශයෙන් පොහොය තුනකි. චාතුද්දසී, පණ්ණරසී හා සාමග්ගී වශයෙනි. සෘතුවකට පෝය අටක් වේ. එයින් තුන්වැනි, සත්වැනි පොහෝ දින චාතුද්දසී නමිනුත් ඉතිරි සය පණ්ණරසී නමිනුත් හැඳින්වේ. මෙසේ අවුරුද්දකට චාතුද්දසී පොහෝදින සයක් ලැබෙන අතර පණ්ණරසී පොහෝ දින අටළොසක් ලැබේ. සියලුම පොහෝ දින සූවිස්සකි. පෑලවිය, දියවක, තියවක, ජලවකාදී විසින් තිථි තුදුසක් පිරීමෙන් චාතුද්දසියත්, පසළොසක් පිරීමෙන් පණ්ණරසියත් ලැබේ. පොහොය කිරීමේදී චාතුද්දසී දිනයක් නම් “අජ්ජු පොසථො චාතුද්දසො” කියාද, පණ්ණරසී දිනයක් නම් “අජ්ජු පොසථො පණ්ණරසො” කියාද යොදාගත යුතුය.

සාමග්ගී උපෝසථයට දින නියමයක් නැත. යම් දිනක භේද වී ගිය භික්ෂු සංඝයා ස්වකීය සාමග්‍රිය පතා එක්වී පොහොය කෙරෙත් නම් ඒ සාමග්ගී පොහොයයි. එයට චාතුද්දසී හෝ පණ්ණරසී බවක් අවශ්‍ය නොවේ. “අජ්ජු පොසථො සාමග්ගී” යි යොදාගත යුතුය.

2. i. උපෝෂථ දිනය, ii. පොහොය කිරීමට ප්‍ර‍මාණවත් භික්ෂූන් ඇතිබව iii. ඔවුන් සභාගාපත්තිවලට නොපැමිණිබව හා iv. සීමාවෙහි බැහැරකළ යුතු කිසිවකු නැතිබව, යන සිව් කරුණු සම්පූර්ණ වීමෙන් පොහොය කිරීමට කාලය එළඹේ.

3. පොහොය කිරීම දින වශයෙන් තුනක් බව මුලදී (අංක1) දැක්වීමු. කරන්නන්ගේ වශයෙන් ද සංඝ, ගණ හා පුද්ගල යි උපෝෂථ තුනකි. සංඝ උපෝෂථයට යටත් පිරිසෙයින් භික්ෂූන් සිව්නමක් සීමාව තුළ සිටිය යුතුය. ගණ උපෝසථයට ද භික්ෂූන් තුන් නමක් හෝ දෙනමක් සිටිය යුතුය. පුද්ගල උපෝෂථය වනාහි එක ම භික්ෂුවක් ඉටා ගැනීමෙන් කරගන්නා උපෝෂථයකි.

කළයුතු ආකාරය වශයෙන් ද උපෝෂථ තුනකි. සුත්තුද්දේස පාරිසුද්ධි හා අධිට්ඨාන නමිනි. සුත්තුද්දේස යනු ප්‍රාතිමෝක්ෂය දෙසීම ය.

එයද -

  1. නිදානය දෙසා ඉතිරි කොටස අසා ඇති පරිදි සිහිකර ගැනීම,
  2. නිදානය හා සිව්පරිජි දෙසා ඉතිරි කොටස අසා ඇති පරිදි සිහිකර ගැනීම
  3. නිදානය, පරිජි හා සඟවෙසෙස් දෙසා ඉතිරි කොටස අසා ඇති පරිදි සිහිකර ගැනීම.
  4. නිදානය, පරිජි, සඟවෙසෙස් හා අනියතාපත්ති දෙසා ඉතිරිය අසා ඇති පරිදි සිහි කර ගැනීම.
  5. නිදානය පටන් මුළුල්ලේම දෙසීම යයි ආකාර පහකි.

පාරිශුද්ධිය යනු පිරිසිදු බව කීමයි. උපෝෂථාගාරයට භික්ෂූන් තෙනමක් රැස්වූ කල ඒ තිදෙනාන වහන්සේ අතරින් ස්ථවිර භික්ෂුව ඤත්තියද පිහිටුවා පසුව “පාරිසුද්ධො අහං අවුසො (භන්තෙ) පරිසුද්ධො’ ති මං ධාරථෙ” ආදි නයින් ඔවුනොවුන් තම තමන්ගේ පිරිසිදු බව ප්‍ර‍කාශ කටයුත්තේ ය. ප්‍රාතිමෝක්ෂය දෙසීමක් නැත. සීමාවට දෙනමක් රැස් වූ කල “ඤත්තිය” නොතබා කියන ලද පරිදි පාරිශුද්ධිය පමණක් ඔවුනොවුනට ආරෝචනය කළ යුත්තේ ය. අධිෂ්ඨානය එකම භික්ෂුවකගේ උපෝෂථය වේ. “අජ්ජ මෙ උපොසථො පණ්ණරසො” යි වශයෙන් ඉටා ගත යුතු යි.

4. පාමොක් යනු සීලයට නමකි. අපායාදි දුක්වලින් හා අත්තානුවාදාදි භයෙන් ද ආරක්‍ෂා කරන හෙයින් සීලයට එනම් වේ. එය දක්වන ග්‍ර‍න්ථය ද උපචාර වශයෙන් ප්‍රාතිමෝක්ෂය යි කියනු ලැබේ.

5. කරුණු නවයකින් පූර්ව කෘත්‍යය සම්පූර්ණ වේ. i. ඇමදීම, ii, පහන් දැල්වීම, iii. අසුන් පැනවීම, iv. පැන් එළවීම, v. ඡන්දය හා vi. පිරිසිදු බව ගෙන ඊම, vii. සෘතුකීම, viii. භික්ෂූන් ගණන් ගැනීම හා ix. භික්ෂුණීන්ට අවවාද දීම ද වේ.

(මෙහි v සහ vi එකක් වශයෙන් ගැනීමෙන් කරුණු අටකට ගොනු කරන අවස්ථා ද ඇත.)

6. පාමොක් දෙසීමේදී තම තමන් ඒ ඒ සත් ඇවැත් කඳුවලින් පිරිසිදු බව කීම ය. දේශක භික්ෂුව විසින් නිදානාදි පරිච්ඡේදයක් පාසා එහි අවසන භික්ෂූන්ගේ පිරිසිදු බව තෙවරක් ම විචාරණු ලැබේ. එහිදී ඇවැත් නැති නම් නිශ්ශබ්ද වීමෙන් තම පිරිසිදු බව පළ වේ.

7. පරිජිවීම නම් කෙලෙසුන් විසින් පරදනු ලැබීමයි. එතැන් සිට ඔහු භික්ෂුත්වයෙන් සලකනු නො ලැබේ. ගිහියකු වැනි ය.

8. අධිශීලය නම් උපසම්පදාශීලය යි. ශීලයන් අතර ශ්‍රේෂ්ඨ ශීලය හෙයින් ඊට අධි ශීලය යි කියනු ලැබේ.

9. කරුණු සයකින් යුක්තව කරන ප්‍ර‍තික්ෂේපයෙන් උපසම්පදාව ප්‍ර‍තික්ෂේප වේ. i. උකටලී වූ සිත, ii. ගිහිබව පතමි”යි ඈ විසින් කිය යුතු බව, iii. එය වර්තමාන කාලයෙන් ම කිය යුතු බව iv. වචනයෙන් ම ප්‍ර‍කාශ කළ යුතු බව, v. සිහි ඇත්තකු ඉදිරියෙහි කීම හා vi. ඒ ඇසිල්ලෙහි ම ඔහු දැන ගැනීම ද යන සය යි.

10. මිනිස් දහමට වැඩි වූ ගුණදම් උත්තරී මනුෂ්‍යධර්ම නම් වේ. දසකුසල් මිනිස් දහම් ය. ඉන් මත්තෙහි වූ ධ්‍යාන මාර්ග ඵලාදිය උතුරු මිනිස් දම් ය.

11. සාංසාරික පැවැත්ම තිලකුණට නගා බලන යෝගාවචර භික්ෂුවට තමා ධ්‍යාන මාර්ග ඵලාදියට නොපැමිණ ම පැමිණියෙමි’යි වැරදි අදහසක් උපදී. එය අධිමානයය. එබඳු හැඟීමකින් තමා කෙරෙහි මාර්ගඵලාදිය ඇතැ’යි කියන්නකුට උතුරුමිනිස් දම් පලකිරීමෙන් පරිජි නොවේ.

12. ඇවතින් පිරිසුදු බව පතන භික්ෂුවට මුල මැද අග යන තුන් තැන්හිදී ම සංඝයාට අවශ්‍ය වන හෙයින් මේ ඇවැත් තෙළෙසට සංඝාදිසේස (සඟවෙසෙස්) යයි කියනු ලැබේ. මේ ගරුකාපත්තියට පැමිණි භික්ෂුව ඉන් මිදීම සඳහා මුලදී පිරිවෙස හා මැද දී මානත ලබා ගැනීම සඳහාත් අවසන අබ්භානය සඳහාත් සංඝයාගේ පිහිට අවශ්‍ය ය.

13. සුගත් වියත මැදුම් පිරිමියකුගේ අතින් වියත් තුනකි. වඩු රියනින් රියන් එකහමාරකි.

14. සඟ වෙසෙස් ඇවතට පැමිණි භික්ෂුව එය සඟවාගෙන සිටීමේ වරදින් මිදීම සඳහා වින්ද යුතු දඬුවම “පිරිවෙස්” නමි. පැමිණි ඇවැත් ගණනට හා සඟවාගෙන සිටි දින ගණනට පිරිවෙස් පිරිය යුතු ය. දින ගණන් හා ආපත්ති සංඛ්‍යා අමතක නම් උපසම්පදා වූ දිනය පටන් පිරිවෙස සමාදන් වූ දිනය දක්වා මේ දඬුවම විඳිය යුතු ය. පිරිවෙස ආකාර විසින් සතරකි. i. අපටිච්ඡන්න, ii. පටිච්ඡන්න iii. සුද්ධන්ත හා iv. සමෝධාන නමිනි.

15. භික්ෂූන්ට ගරු කිරීම මානත්ත (මානත්) නමි. ඇවැත් සඟවා සිටි භික්ෂුව කලක් පරිවාසයෙන් ද දඬුවම් විඳ පසුව මානත ද පිරිය යුතු ය. මෙය රැකිය යුත්තේ සත්දිනක් තුළ පමණි. ඊට පසුව ඔහු අබ්භානයට සුදුස්සකු වෙයි. මානත ද සිව් අයුරුය. i. පටිච්ඡන්න, ii. අපටිච්ඡන්න, iii. පක්ඛ හා iv. සමෝධාන විසිනි.

(පිරිවෙස හා මානත රකින භික්ෂුව ඒ රකින කාලය තුළ සෙසු භික්ෂූන්ගේ අභිවාදනාදිය ලැබීමට සුදුස්සෙක් නොවේ. ඔවුන් දුටුවිට අසුනෙන් නැගී ගරු කළ යුතු ය. උපසම්පදාදී විනයකර්ම වලට සහභාගී වීමට නො හැකි ය. පිණ්ඩපාතාදි වත් සමාදන් වීමක් ද නො වේ. පියවි භික්ෂූන් ඉදිරියෙන් යාම් ඊම් හෝ යටත් පිරිසෙයින් හෙරණුන් අතින් වුවද උවටැන් ගැනීම තහනම් ය. අනතුරකදී හැර අරමින් බැහැර යාමට ද නො හැකි ය.)

16. අනියත යනු අවිනිශ්චිත යන තේරුම යි. භික්ෂුවකගේ පැවැත්ම පාරාජිකාවකට සංඝාදිසේසයකට හා පචිතියට ද සාධාරණ නම් කවරකින් දඬුවම් දිය යුතු දැයි නිශ්චයක් නොවන හෙයිනි. එය දුටු සෝවාන් කෙනකු වැනි විශ්වාස කටයුතු කෙනකුගේ ප්‍ර‍තිඥාව පරිදි ආපත්ති ආරෝචනය කටයුතු ය.

17. සෝවාන් ඵලයට පැමිණි ආර්‍ය්‍ය ශ්‍රාවිකාව විශ්වාස කටයුතු වචන ඇත්තියකි.

18. තමන් සතු අකැප දෙයක් භික්ෂූන්ට දී ඇවැත් දෙසා ගැනීම නිසඟි පචිති වලින් දැක්වේ. එය සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට දිය හැකිය. ඔව්හු එය නිස්සජ්ජනය කළ භික්ෂුවට ආපසු පවරා දිය යුතු ය. එසේ දීම යුතුකමක් මෙන් ම නොදුන හොත් විනය වරදකට ද අසුවන බැවිනි.

19. භික්ෂූන් විසින් අතුළ කඨින සිවුර අට වැදෑරුම් හේතු අතුරෙන් එකකින් හෝ අවලංගු වේ නම් ඒ කඨිනෝද්ධාරය යි. කඨිනය ඉදිරීමයි. මසා අවසන් කිරීමෙන් හෝ කඨින බව අවලංගු වීමෙන් සිවුරක් ඇති කල්හි හෝ, මීයන් කෑමෙන් හෝ සොරුන් පැහැර ගැනීමාදියෙන් සිවුරක් නැති කල්හි නො ඉටා සිවුරක් දරණ භික්ෂුවට නිසඟි පචිති වේ.

20. කඨිනය ගත් භික්ෂුවට චීවර මාසයත්, අනතුරුව එළඹෙන හේමන්ත සෘතුවේ හාරමාසයත් යන පස්මාසය හැර ඉතිරි කාලය තුළ ලැබෙන සිවුරු “නොකල් සිවුරු” යි. කඨිනය නොගත් භික්ෂුවට චීවර මාසය හැර ඉතිරි එකොළොස් මාසය තුළ ලබන සිවුරු “නොකල් සිවුරු” යි.

21. “කුසල චිත්තං පාතයතී’ ති පාචිත්තියං” ආර්‍ය්‍යමාර්ගයට බාධා කරමින් පැවති කුසල් සිත් මුවහ කරන, හෙළන බැවින් දෙයානූවක් වූ මේ ඇවැත්වලට පචිති යයි කියනු ලැබේ.

22. ආගන්තුකයන සඳහා පිළියෙළ කළ බතට “ආවසථ පිණ්ඩ” යයි කියත්. එය භික්ෂූන් සඳහා පමණක් නොව මගියන්ට ගිලණුන්ට හා වෙනත් දිළිඳුන් සඳහා ද සකස් කරන ලද්දකි. මෙසේ ආගන්තුකයන් හා දිළිඳුන් සඳහා පිළියෙල කළ දාන ශාලාවක උපසපන් භික්ෂුවකට වැළඳිය හැක්කේ දවසක් පමණකි. ඉන් මත්තෙහි වළඳන්නාහට පචිති වේ.

23. දායකයන් භික්ෂූන් හමුවට පැමිණ “ඔබ වහන්සේලාට බතින් පවරමි” යි කරන අකැප නිමන්ත්‍ර‍ණයකින් හෝ භික්ෂූන් දායකයන් වෙත ගොස්, “අපට බත් දෙව” යි ඉල්ලන අකැප විඤ්ඤත්තියකින් ලැබූ භෝජනයක් සිව් නමක්ව හෝ වෙන වෙන ම හෝ ගොස් වළඳා ද එයට ගණභෝජනය යයි කියනු ලැබේ.

24. ආරාධිත ක්‍ර‍මය ඉක්මවා වැළඳීම පරම්පර භෝජනය යි. ඇරයුම් එකක් දෙකක් හෝ කීපයක් ලැබූ භික්ෂුව මුලින් පිළිගත් ඇරයුම්වලට පස් දැහැමියන් හෝ නො යවා පසුව පිළිගත් ආරාධනය ඉවසා ගොස් වළඳා නම් ආරාධිත ක්‍ර‍මය වෙනස් වූවා වේ. ඊට පරම්පර භෝජනය යි කියති.

25. මෙහි පවාරණය නම් ප්‍ර‍තික්ෂේපය යි. වළඳමින් සිටි භික්ෂුවක් වෙත එළ වූ භෝජනය පිළිගන්වන්නහු අත්පස සිටියදී හිස සැලීමාදියෙන් හා වචනයෙන් හෝ ප්‍ර‍තික්ෂේප කරයි නම් භෝජනය පවාරණය කෙළේ වේ. විනයානුකූලව ඉතිරි කර නො ගත් භෝජනයක් හැර වෙන කිසි ම දැයක් ඒ දවස තුළ අනුභව කරනු නො වටී.

26. සන්නිධිය යනු තැන්පත් කොට තැබීම ය. භික්ෂුව පිළිගත් යාවකාලික හෝ යාමකාලික වූ කෑයුතු පියයුතු දැයක් තැන්පත් කොට තබා එක රැයක් ගතවීමෙන් සන්නිධි වේ. එය වළඳන්නාහට පචිති වේ.

27. සුගත් අඟල මැදුම් පිරිමියකුගේ අතින් අඟල් තුනකට සමාන ය. එබඳු සුගත් අඟලෙන් අඟල් අටක් වඩුරියනින් එකකි. තවත් තැනක මැදුම් පිරිමියකුගේ රියන සුගත් අඟලට සමාන යයි ද සඳහන් වේ. විමසිය යුතු තැනකි.

28. පාටිදේසනීයා’පත්ති ද දෙසා ගැනීමෙන් පිරිසිදු බවට පැමිණෙන ඇවැත් කොටසකි. ගැරහිය යුතු බැවිනුත් අසප්‍රාය බැවිනුත් වරදට හේතු වූ ඇවැත් කොටස් “සො’ හං භන්තෙ පාටිදෙසනීයාපත්තිං ආපජ්ජිං තා තුම්හ මූලෙ පටිදෙසෙමි” විසින් දෙසනු ලැබේ.

29. සේඛ නම් මාර්ග ඵලයන්ට පැමිණි ආර්‍ය්‍යයෝ ය. ඔව්හු ඒ සඳහා හික්මෙන බැවිනි. යම් කිසි කුලයක් ශ්‍ර‍ද්ධාවෙන් දියුණු වූවත් ධනයෙන් දුප්පත් නම් එබඳු කුලවලට භික්ෂු සංඝයා ‘සෙඛ’ සම්මුතිය ප්‍ර‍දානය කෙරෙති. සෙඛ සම්මුතිය ලත් කුලයකින් ආරාධනයක් නො ලැබ ආමිසයක් පිළිගැනීම නොවටී.

30. සෙඛියා යනු හික්මිය යුතු යන තේරුම යි. භික්ෂුවක් විසින් හික්මිය යුතු චාරිත්‍ර‍ ක්‍ර‍ම දැක්වීම් වශයෙන් වදාළ සිකපද කොටසකි. ඒ ඒ සිකපද උල්ලංඝනය කිරීමෙන් දුකුළා ඇවැත් වේ.

31. සංඝයා, ධර්ම, විනය හා ආපත්තියට පැමණි භික්ෂුව ද යන සිව්කරුණු හමුවෙහි විසඳිය යුතු අධිකරණය “සම්මුඛ විනය”යි.

32. හේතුරහිත ශීල විපත්ති ආදියෙන් චෝදනා කරනු ලැබූ “දබ්බමල්ල පුත්ත” වැනි රහතුන්ට දිය යුතු අධිකරණ වෙසෙසකි, “සති විනය.”

33. ගර්හ භික්ෂුව වැනි උමතු වූ භික්ෂූන්ට දියයුතු විනය ක්‍ර‍මය “අමූළ්හ විනය” නමින් දැක් වේ.

34. අනියතාපත්තීන්හි කී පරිදි උවාල භික්ෂුව වැනි භික්ෂූන්ට ඔවුන්ගේ ප්‍ර‍තිඥාව අනුව දිය යුතු විනය කර්මය “ප්‍ර‍තිඥා” නමි.

35. යම් විනය කර්මයකදී ධර්මවාදී භික්ෂූන් වැඩිපුර සිටිත් නම් එබඳු අධිකරණ සමථයට “යෙභූය්‍යසික” යයි කියනු ලැබේ.

36. ලාමක ඇවැත් වලින් වැඩිහිටි භික්ෂුව පාපී සංඛ්‍යාවට ගැනේ. එබඳු පාපී භික්ෂූන් උදෙසා නියමිත විනය ක්‍ර‍මය “තස්ස පාපිය්‍යසිකා” නම් වේ.

37. යම් අධිකරණයක් පිළිබඳව කරුණු සෙවීමේදී එය සංඝයාගේ භේදය පිණිස පවතී නම් එබඳු අධිකරණය ගූථයක් තණවලින් වසා දමා යටපත් කිරීමක් මෙන් නවතා දමා ද විනිශ්චය නොකෙරේ ද ඊට තිණවත්ථාරකයයි කියනු ලැබේ.

(මේ සත්විධ සමථ ධර්ම මගින් ඒ ඒ අධිකරණ විසඳිය යුතු ක්‍ර‍මය මෙසේ ය.)

විවාදා‘ධිකරණය = සම්මුඛ විනයෙන් හා යෙභුය්‍යසිකාවෙන් ද,

අනුවා‘ධිකරණය = සම්මුඛ විනයෙන් සති විනයෙන් අමූළ්හ විනයෙන් හා තිණවත්ථාරකයෙන් ද,

ආපත්තා‘ධිකරණය = සම්මුඛ විනයෙන් ප්‍ර‍තිඥාවෙන් හා තිණවත්ථාරකයෙන් ද,

කිච්චා‘ධිකරණය = සම්මුඛ විනයෙන් ද විසඳිය යුතු ය.)

38. ගරුධර්ම අටකි. ඒවා භික්ෂුණීන් විසින් පිළිපැදිය යුත්තේ ය.

  1. භික්ෂුණිය තම උපසම්පදාවෙන සියයක් වස් ඉක්මවා සිටිය ද එදවස් උපසපන් වූ භික්ෂුවට වැන්ද යුතු ය. ගරුබුහුමන් දැක්විය යුතු ය.
  2. භික්ෂූන්ගේ ආරාමයකට ආසන්න වූ මෙහෙණවරක විසිය යුතු ය.
  3. අඩමසක් පාසා භික්ෂූන් කරා එළඹ පොහෝ විචාළ යුතු ය. අවවාද ලබා ගත යුතු ය.
  4. වස් විසූ භික්ෂුණිය උභතෝ සංඝයා කෙරෙහි පාවාරණය කළ යුතු ය.
  5. ගරු ධර්මයන්ගෙන් පිරිසිදු බව කැමති භික්ෂුණිය අඩමසක් මානත පිරිය යුතු ය.
  6. දෑවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි හික්මිය යුතු ය. අනතුරුව උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදා බව ලැබිය යුතු ය.
  7. මොනම කරුණකද වත් භික්ෂූන්ට නින්දා පරිභව නො කළ යුතු ය.
  8. භික්ෂූණීන් භික්ෂූන්ට අවවාද නො කළ යුතු ය. භික්ෂූණීහු භික්ෂූන්ගෙන් අවවාද ලබා ගත යුතු ය.

39. සයාකාර ශික්ෂාව නම් i. සතුන් මැරීම හෝ හිංසා නො කිරීම, ii. සොරකම් නො කිරීම, iii. බඹසර හැසිරීම, iv. බොරු නො කීම, v. රහමෙර නො බීම, vi. විකාලයෙහි නො වැළඳීම.

උපග්‍ර‍න්ථය නිමියේ ය.