චීවර සංඛ්‍යාවට අයත් වන වස්ත්‍රයක් ලද හොත් එය අධිෂ්ඨාන හෝ විකප්පනය හෝ කළ යුතුය. එසේ නො කොට දසදිනක් ඉක්ම ගිය හොත් ඒවා නිසගි වේ.
“අනුජානාමි භික්ඛවෙ තිචීවරං අධිට්ඨාතුං, න විකප්පෙතුං වස්සිකසාටිකා වස්සානං චාතුමාසං අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතුං. නිසීදනං අධිට්ඨාතුං, න විකප්පෙතුං. පච්චත්ථරණං අධිට්ඨාතුං, න විකප්පෙතුං, කණ්ඩුපටිච්ඡාදිං යාව ආබාධා අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතුං. මුඛපුඤ්ඡනවොළකං අධිට්ඨාතුං, න විකප්පෙතුං. පරික්ඛාරවොළකං අධිට්ඨාතුං, න විකප්පෙතුං.[1]
තේරුම:
මහණෙනි, තුන්සිවුරු අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, වස්සිකසාටිකය වස්සාන සාරමාසයෙහි අධිෂ්ඨාන කිරීමට ඉන් පසු විකප්පනය කිරීමට, නිසීදනය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, පච්චත්ථරණය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, කණ්ඩුපටිච්ඡාදිකය ආබාධය ඇති තාක් අධිෂ්ඨාන කරන්න්ට ඉන් පසු විකප්පනය කරන්නට, මුඛපුඤ්ඡනචෝළකය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, පරික්ඛාරචෝළය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට අනුදනිමි.
තුන්සිවුරු අධිෂ්ඨාන කරන කල්හි ප්‍රමාණයුක්ත සිවුරු ගෙන පඬු පොවා කප්ප බින්දු තබා එකින් එක වෙන වෙන ම අධිෂ්ඨාන කළ යුතුය. තුන්සිවුරු උඩත්පිරිසෙයින් සුගත්සිවුරට කුඩා විය යුතුය. යටත් පිරිසෙයින් සංඝාටිය දිගින් සතර රියනක් හා මිටි රියනක් තිබිය යුතුය. පළලින් දෙරියනක් හා මිටිරියනක් තිබිය යුතුය. උත්තරාසංගයත් එපමණ ම විය යුතුය. අඳනය දිගින් සතර රියනක් හා මිටිරියනක් ද පළලින් දෙරියන් හමාරක්් හෝ දෙරියනක් තිබිය යුතුය. ප්‍රමාණයට කුඩා වූයේ නම් අධිෂ්ඨානයට යෝග්‍ය නො වේ. කයින් අධිෂ්ඨාන කිරීමය, වචනයෙන් අධිෂ්ඨාන කිරීමය යි අධිෂ්ඨාන ක්‍රම දෙකකි. එකක් අධිෂ්ඨාන කර ඇති කල්හි අනිකක් අධිෂ්ඨාන නො කළ යුතුය. එබැවින් සංඝාටියක් ලැබී එය අධිෂ්ඨාන කරන කල්හි පුරාණ සංඝාටිය පච්චුද්ධරණය කළ යුතුය. පච්චුද්ධරණය කිරීම යන්නෙහි අදහස ඒ චීවරය සංඝාටි ආදි වශයෙන් පරිභෝග කිරීමෙන් ඉවත් කිරීමය.
පුරාණ සංඝාටිය පච්චුද්ධරණය කොට නවසංඝාටිය අතට ගෙන එය පිරිමදිමින් “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යි සිතීම කයින් අධිෂ්ඨාන කිරීමය. එසේ ම “ඉමං උත්තරාසංගං අධිට්ඨාමි” යි සිතමින් උත්තරාසංගය ද, “ඉමං අන්තරාවසකං අධිට්ඨාමි” යි සිතමින් අන්තරවාසකය ද අධිෂ්ඨාන කළ යුතුය. “ඉමං චීවරං අධිට්ඨාමි” යි චීවර නාමයෙන් අධිෂ්ඨාන නො කළ යුතුය.
වචනයෙන් කරන අධිෂ්ඨානය ද දෙයාකාරයකින් කළ හැකිය. සංඝාටිය අත්පසෙහි වේ නම් “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යි ද, “ඉමං උත්තරාසංගං අධිට්ඨාමි” යි ද “ඉමං අන්තරවාසකං අධිට්ඨාමි” යි ද තුන්වර බැගින් කියා අධිෂ්ඨාන කළ යුතුය. අත්පසින් පිටත අන් තැනක ඇති චීවරයක් අධිෂ්ඨාන කරන කල්හි තිබෙන තැන සලකා ගෙන “එතං සංඝාටිං අධිට්ඨාමි, එතං උත්තරාසංගං අධිට්ඨාමි, එතං අන්තරවාසකං අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. පච්චුද්ධාරයේදී ද දුර ඇති ඒවා පච්චුද්ධරණය කිරීමේ දී “ඉමං” යන වචනය වෙනුවට “එතං” යනු යොදා පච්චුද්ධරණය කළ යුතුය. විනයෙහි හත්ථපාස, අත්පස යන වචනය ව්‍යවහාර කරන්නේ දෙරියන් හමාරටය වස්සිකසාටික නිසීදනසන්ථක කණ්ඩුපටිච්ඡාදික යන මේ චීවර අධිෂ්ඨාන කළ යුත්තේ එක බැගිනි. පච්චත්ථරණ මුඛපුඤ්ඡනචෝළක පරික්ඛාරචෝළ යන මේවායේ ප්‍රමාණයක් නැත. බොහෝ ගණනක් වුව ද අධිෂ්ඨාන කොට පරිභෝග කළ හැකිය. පරිභෝගයට ගන්නා වස්තු සෑම එකක් ම පරික්ඛාරචෝළ නාමයෙන් ඉටිය හැකිය. “ඉමං චීවරං පරික්ඛාරචෝළං අධිට්ඨාමි” යි කියා ඉටිය යුතුය. ඉටිය යුතු වස්ත්‍ර බොහෝ වේ නම් සියල්ල එක්කොට තබා “ඉමානි චීවරානි පරික්ඛාරචොළානි අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. පරික්ඛාරචෝළයට දිග පළල ප්‍රමාණයක් නියම නැත. කිනම් වස්ත්‍රයක් වුව ද පරික්ඛාරචෝළ නාමයෙන් ඉටා ගැනීමට සුදුසුය. පෞද්ගලික වශයෙන් ලැබුණු සුදුරෙදි තුවාය ආදී වස්ත්‍ර සියල්ල දස දින ඉක්මෙන්නට කලින් අධිෂ්ඨාන කළයුතුය. බොහෝ දෙනකුට හෝ සංඝයාට අයත් පිරිකර නො බෙදා තිබෙන තෙක් අධිෂ්ඨාන විකප්පන නො කළ යුතුය. බෙදා පෞද්ගලික වූ පසු දසදිනයෙන් මොබ අධිෂ්ඨානය හෝ විකප්පනය හෝ කළ යුතුය. විකප්පනයට යෝග්‍ය ප්‍රමාණය ඇති පෙරහන්කඩ පාත්‍රථවික ආදිය ද පරික්ඛරචෝළ වශයෙන් අධිෂ්ඨාන කළ යුතුය. සේනාසනභාණ්ඩ වශයෙන් පරිභෝග කරන කොට්ට මෙට්ට හා ඒවායේ උර හා ඇඳ පුටු මේසවලට එලන ඇතිරිලිවලට ද අධිෂ්ඨානය අනවශ්‍ය ය.
අධිෂ්ඨාන කරන ලද තුන්සිවුරු රාත්‍රියක් පාසාම භික්ෂුවගේ අත්පසෙහි තිබිය යුතුය. එක් රැයකුදු වෙන් ව වාසය කළ හොත් නිසගි පචිති වේ. එහි විස්තර ඒ පිළිබඳව පනවා ඇති සිකපදය විස්තර කිරීමේදී පසුව දත හැකි වනු ඇත. ඇතැම් භික්ෂූන්ට එසේ අධිෂ්ඨාන කොට තුන් සිවුරු පරිහරණයට පහසු නැත. ඒ භික්ෂූන් විසින් තුන් සිවුරු සංඝාටි ආදි නම් වලින් නො ඉටා “ඉමං චීවරං පරික්ඛාරචෝළං අධිට්ඨාමි” යනාදි වශයෙන් ඉටා පරික්ඛරචෝළ වශයෙන් පරිහරණය කළයුතුය. එසේ කරන කල්හි රත්තිවිප්පවුත්ථයෙන් නිසගි නො වේ.
-
මහා - 726 පි. ↑