“භික්ඛුං පනෙව උද්දිස්ස අඤ්ඤාතකස්ස ගහපතිස්ස වා ගහපතානියා වා චීවරචෙතාපන්නං උපක්ඛටං හොති, ඉමිනා චීවරචෙතාපන්නෙන චීවරං චෙතාපෙත්වා ඉත්ථංනාමං භික්ඛුං චීවරෙන අච්ඡාදෙස්සාමීති, තත්ර චෙසො භික්ඛු පුබ්බේ අප්පවාරිතො උපසංකමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජෙය්ය, සාධු වත මං ආයස්මා ඉමිනා චීවරචෙතාපන්නෙන එවරූපං වා එවරූපං වා චීවරං චෙතාපෙත්වා අච්ඡාදෙහීති කල්‍යාණකම්‍යතං උපාදාය නිස්සග්ගියං පාචිත්තියං.”[1]
මේ මුදලින් මෙනම් භික්ෂුවට සිවුරක් ගෙන පුදමි යි ඒ භික්ෂුවට නෑ නො වූ ගැහැවියකු විසින් හෝ ගැහැවිනියක විසින් හෝ මුදලක් රැස්කොට තැබූ කල්හි භික්ෂුව පැවරීමක් නැතිව එහි ගොස් “පින්වත, මේ මුදලින් මට මෙබඳු වූ හෝ මෙබඳු වූ හෝ සිවුරක් ගෙන පුදන්නය” යි හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් සංවිධානය කෙළේ නම් නිසගි පචිති වේ.
භික්ෂුවගේ කීම අනුව දායකයා බලාපොරොත්තු වූවාට වඩා දික් වූ හෝ පළල් වූ හෝ සිනිඳු වූ හෝ සිවුරක් මිලයට ගනී නම් කීමෙහිදී දුකුළ ඇවැත් වේ. ලැබීමේ ද නිසගි පචිති වේ. ඒ සිවුර කැපකර ගැනීමට නම් නිස්සජනය කළ යුතුය. නිස්සජනය කිරීමේ වාක්‍යය මෙසේය.
“ඉදං මෙ ආවුසො චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිකං උපසංකමිත්වා චීවරෙ විකප්පං ආපන්නං නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජාමි.”[2]
නුඹ වහන්සේට කොපමණ දිග පළල ඇති කෙබඳු සිවුරක් අවශ්‍යදැයි දායකයා විචාළ හොත් කීමෙහි වරද නැත. දායකයා මහඟු සිවුරක් පිදීමට බලාපොරොත්තු වන කල්හි මිල අඩු සිවුරක් පූජා කරන්නට කීම ද වරද නැත. මේ සිකපදය පැනවීමේ හේතුව දායකයාට වැඩිපුර මුදල් වියදම් කරන්නට සිදුවීම වැළැක්වීම ය. දායකයා පිළියෙළ කර ඇති මිලයෙන් ම ඔහු බලාපොරොත්තු වන සිවුර හැර අන් සිවුරක් ගැන්වීම ද වරද නැත. දායකයා රුපියල් විස්සකට අඳනයක් ගන්නට අදහස් කරන කල්හි ඒ මිලට ම තනිපොට සිවුරක් ගන්නට කීමෙන් ද ඇවැත් නො වේ.
චීවරය වඩා වටිනා එකක් කිරීමේ කැමැත්ත ය, නො නෑයකුට කීමය, එයින් ලැබීමය කියා මේ සිකපදයේ අංග තුනෙකි.