“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ එකරත්තිම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්‍ය අඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං පාචිත්තියං.”[1]
සිවුරෙහි වැඩ අවසන් වීම් ආදියෙන් චීවර පළිබෝධය සිඳීමෙන් පසු කඨිනය උදුළ පසු භික්ෂුව එක් රාත්‍රියකුදු තුන්සිවුරෙන් වෙන්ව භික්ෂුසම්මුතියක් ද නැතිව විසූයේ නම් සිවුරු නිසගි වේ. පචිති ඇවැත් වේ.
මේ සිකපදයේ තිචීවරය යි කියනුයේ “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යනාදීන් නාම වශයෙන් අධිෂ්ඨාන කළ තුන් සිවුරුය. පරික්ඛාර චෝළ නාමයෙන් ඉටා ඇති සිවුරු විප්පවාසයෙන් නිසගි නො වේ. භික්ෂුව ගෙයක හෝ ශාලාවක වෙසේ නම් සිවුරු ඒ ගෙයි හෝ ශාලාවේ තබා ගත යුතුය. මාර්ගයේ ගමන් කෙරේ නම් ගෙන යා යුතුය. සිවුරු ගෙයක තබා ගෙයින් පිටත දෙරියන් හමාරකින් ඔබ සිටියදී අරුණ නැගුණේ නම් සිවුරු නිසගි වේ. අධිෂ්ඨාන කළ සිවුරු සියල්ල ම හෝ එකක් දෙකක් හෝ විහාරයේ තබා පිටත ගිය භික්ෂුවට අරුණට කලින් සිවුරු ඇති තැනට නො පැමිණිය හැක්කේ නම් ඒ සිවුරු පච්චුද්ධරණය කළ යුතුය. “එතං සංඝාටිං පච්චුද්ධරාමි” යනාදි වශයෙන් කියා දුර ඇති සිවුරු පච්චුද්ධරණය කළ හැකිය. අරුණට පෙර පච්චුද්ධරණය කළ හොත් නිසගි නො වේ. විප්පවාසයෙන් නිසගි වුව හොත් “ඉදං මෙ භන්තෙ චීවරං රත්තිං විප්පවුත්ථං අඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං. ඉමා “හං ආයස්මතො නිස්සජ්ජාමි”යි කියා නිස්සජ්ජනය කොට ඇවත දෙසා නැවත සිවුර අධිෂ්ඨාන කර ගත යුතුය. සිවුරු දෙකක් හෝ තුන ම නිස්සජ්ජනය කරන්නට සිදු වී ඇත හොත් “එතානි මේ චීවරානි” යනාදීන් බහුවචනවලින් කිය යුතුය. යම්කිසි ගිලන්භික්ෂුවකට විප්පවාසය නො වන පරිදි තුන් සිවුරු පරිහරණය කිරීම අපහසු වී ඇති නම් ඒ භික්ෂුව විසින් ඒවා පරික්ඛාරචෝළ වශයෙන් ඉටා පරිහරණය කළ යුතුය. නැතහොත් වෙන්ව විසීමට භික්ෂු සම්මුතියක් ලබා ගත යුතුය. එය ලබා ගන්නා ආකාරය විනයකර්මපොතෙහි[2] දක්වා ඇත. සම්මුතිය ලත් භික්ෂුවට තිචීවරයෙන් වෙන්ව විසිය හැක්කේ රෝගය පවත්නා කාලයේ පමණෙකි.
අධිෂ්ඨාන කළ සිවුරු වීමය, කඨිනානිසංසය නැති බවය, භික්ෂුසම්මුතිය ලබා නැති බවය, අරුණෝදය තෙක් වෙන්ව විසීමය කියා මේ සිකපදයට අංග සතරක් ඇත්තේය.