“යො පන භික්ඛු අඤ්ඤාතකං ගහපති වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙය්‍ය අඤ්ඤත්‍රසමයා නිස්සග්ගියං පාචිත්තියං. තත්ථායං සමයො, අච්ඡින්නචීවරො වා හොති භික්ඛු නට්ඨචීවරො වා. අයං තත්ථ සමයො.”[1]
යම් මහණෙක් නො නෑ වූ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සුදුසු කාලය හැර අන් කලෙක සිවුරක් ඉල්ලා නම් ඒ මහණහුට නිසගි පචිති වේ. සුදුසු කාලය නම් සිවුරු පැහැර ගන්නා ලද කාලය හා ගින්නට හසුවීම් ආදියෙන් සිවුරු විනාශ වූ කාලයය.
මවුපසින් හා පියපසින් ඉහළටත් පහළටත් සත්වන පරම්පරාව දක්වා සබඳකම් ඇත්තෝ නෑයෝ ය. සෙස්සෝ නො නෑයෝ ය. භික්ෂුවකට කිනම් අවස්ථාවක වුව ද නෑයන්ගෙන් හා “සිවුරු වුවමනා විටෙක අපට දන්වන්නය, අපෙන් ඉල්ලන්නය” යි පැවරූ දායක දායිකාවන්ගෙන් ද සිවුරු ඉල්ලීම සුදුසු ය. පැවරූ අයත් දෙකොටසකි. ඇතැම්හු භික්ෂුවකට පැහැදුණු විට නුඹ වහන්සේ වුවමනා උපකාරයක් අපෙන් ඉල්ලන්නය, වුවමනා දෙයක් අපට කියන්නයයි ප්‍රසාදය පළකිරීම් වශයෙන් පවරති. එයට “ධර්මනිමන්ත්‍රණය” යි කියනු ලැබේ. දීමේ අදහසින් තොරව එසේ පැවරූ අයගෙන් ඉල්ලීම නුසුදුසු ය. මේ සිකපදය පැනවීමට නිදානය වූයේ ද උපනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රසාදය දැක්වීම් වශයෙන් කළ ධර්මනිමන්ත්‍රණය නිසා සිටුපුත්‍රයකුගෙන් ඔහු පොරවා සිටි සළුව වද කොට ඉල්ලා ගැනීම ය. ඉල්ලීම සුදුසු වන්නේ දීමේ අදහසින් ම පැවරූ දායක දායිකාවන්ගෙන් ය. නො නෑ නො පැවරූ අයගෙන් සිවුරු ඉල්ලා ගැනීම සුදුසු වන්නේ සොරුන් විසින් සතුරන් විසින් පැහැර ගැනීමෙන් හෝ ගින්නෙන් දියෙන් සුළඟින් හෝ සතුන් කෑමෙන් හෝ දිරා ඉරීයාමෙන් හෝ භික්ෂුවට සිවුරු නැත්තට ම නැති වූ අවස්ථාවක පමණෙකි. ඒ අවස්ථාව නො නෑ නො පැවරූ අයගෙන් ඉල්ලීමට සුදුසු කාලයය. නො නෑ නො පැවරූ ගිහියකුගෙන් යටත් පිරිසෙයින් දිගින් රියනක් හා පළලින් වියතක් ඇති රෙදිකඩක් වුව ද අසමයෙහි ඉල්ලා ගත නිසගි පචිති වේ. එසේ ලබාගත් චීවරය:-
“ඉදං මෙ ආවුසො චීවරං අඤ්ඤාතකං ගහපතිකං අඤ්ඤත්‍ර සමයා විඤ්ඤාපිතං නිස්සග්ගියං, ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි කියා නිස්සජනය කොට ඇවත දෙසිය යුතු ය.
විකප්පනයට ප්‍රමාණ වන වස්ත්‍රයක් වීමය, අසමය වීමය, නො නෑයකුගෙන් ඉල්ලීමය, ඒ ඉල්ලීමෙන් ලැබීම ය යි මේ සිකපදයේ අංග සතරෙකි.
-
පාරා - 252 පි. ↑