“න භික්ඛවෙ ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ තිකොටිපරිසුද්ධං මච්ඡමංසං අදිට්ඨං අසුතං අපරිසංකිතං”[1]
“මහණෙනි, දැන උදෙසා කළ මාංසය නො වැළඳිය යුතුය. යමෙක් වැළඳූයේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, භික්ෂූන් උදෙසා මරනු නො දුටු භික්ෂූන් උදෙසා මරන ලදැයි නො ඇසූ භික්ෂූන් උදෙසා මැරුයේදෝයි සැකයක් නැත්තා වූ ත්‍රිකෝටි පරිශුද්ධ මාංසය අනුදනිමි.”
ත්‍රිකෝටි පරිශුද්ධ මාංසයයි කියනුයේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංස ය. එය භාග්‍යවතුන් වහ්නසේ භික්ෂූන්ට වළඳන්නට අනුදැන ඇත්තේ ය. කරුණු තුන නම් “නො දැකීම, නො ඇසීම, සැක පහළ නො වීම, යන මේවාය. එහි නො දැකීම යනු මිනිසුන් විසින් භික්ෂූන්ට දීම සඳහා ගොඩදිය සතුන් මරනු නො දැකීමය. “නො ඇසීම” යනු භික්ෂූන් උදෙසා සතුන් මරන ලදැයි කියනු නො ඇසීම ය. සැක පහළවීම වනාහි දැකීමෙන් ද ඇසීමෙන් ද එදෙකින් තොරව ද සිදුවේ. පෙරදිනයේ මිනිසුන් මසුන් හෝ ගොඩසතුන් හෝ මැරීම සඳහා උපකරණ ගෙන යනු දුටුයේ නම්, ගමට භික්ෂූන් ගිය කල්හි ඔවුන් මත්ස්‍ය මාංස සහිත භෝජනය දුන්නේ නම් ඊයේ මිනිසුන් ගියේ භික්ෂූන් උදෙසා සතුන් මරන්නටදෝ යන සැකය ඇති වේ. ඒ ගැන සැකයක් ඇති වී නම් ඒවා නො පිළිගත යුතු ය. ඉදින් ඒ මිනිසුන් භික්ෂූන්ගෙන් ඒ මත්ස්‍යමාංස නො පිළිගැනීමේ හේතුව විචාරන්නේ නම් කාරණය කිය යුතුය. ඉදින් ඔවුහු “ස්වාමීනි, අපි සතුන් මැරුයේ අපගේ ම ප්‍රයෝජනය පිණිස ය. නැතහොත් රාජපුරුෂාදීන් පිණිසය” යි කීවාහු නම් ඒ මත්ස්‍යමාංස කැපය. පෙර දිනයෙහි මිනිසුන් සතුන් මරන ලදැයි අසන්නට ලැබූ ගමකට පසුදින භික්ෂූන් ගිය කල්හි එහි මනුෂ්‍යයෝ භික්ෂූන්ට මත්ස්‍යමාංස සහිත පිණ්ඩපාතයක් දුන්නාහු නම් මේවා අප උදෙසා මැරූ සතුන්ගේ මස්දෝ යි සැක පහළ වේ. එසේ සැක පහළ වුව හොත් ඒ මත්ස්‍යමාංස නො පිළිගත යුතුය. ඉදින් මනුෂ්‍යයෝ නො පිළිගැනීමේ හේතුව අසා භික්ෂූන් විසින් කාරණය කී කල්හි ඒවා භික්ෂූන් උදෙසා මැරූ සතුන්ගේ මස් නො වේ යයි කීවාහු නම් ඒ මස්කැපය. සතුන් මරන මරවන මිනිසකු භික්ෂූන්ට මස් මාලු සහිත දානයක් දුන් කල්හි භික්ෂූන්ට සැක ඇති විය හැකිය. සැකයෙන් ඒවා නො පිළිගත යුතුය. පිළිගත ද නො වැළඳිය යුතුය. දායකයා ඒ මස් මාලු භික්ෂූන් උදෙසා මැරූ සතුන් ගේ නො වේ යයි කියත හොත් වැළඳීමෙන් ඇවැත් නැත.
“පඤ්චසු හි සහධම්මිකෙසු යස්ස වා තස්ස වා අත්ථාය උද්දිස්ස කතං, සබ්බෙසං න කප්පති.”[2]
භික්ෂු භික්ෂූණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන පස් සහදැමියන් අතුරෙන් කවරකු හෝ උදෙසා කළ මත්ස්‍යමාංස සැමට ම නො වටී. විනයයෙහි මෙසේ දක්වා ඇති බැවින් එක් විහාරයක භික්ෂූන් උදෙසා මැරූ සතුන්ගේ මස අන් විහාරයකට දුන ද ඒ විහාරයේ භික්ෂූන්ට ද ඒවා කැප නැත. ඇවත පනවා ඇත්තේ දැන වැළඳීම ගැනය. ඒ විහාරයේ භික්ෂූන් ඒවා අනිත් විහාරයක භික්ෂූන් උදෙසා සම්පාදනය කළ මස් බව නො දැන වැළඳුව ඇවැත් නැත.