මේ නෛර්‍ය්‍යාණික සර්වඥශාසනයේ ඇති උපසම්පදා ශීලය වනාහි එහි පිහිටන කුලපුත්‍රයන්ට ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම සාදා දීමට සමත්, වටිනාකම පමණ කළ නො හෙන, අත්‍යුත්තම අතිදුර්ලභ වස්තුවෙකි. එබැවින් දිව්‍යසම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරු ද, රජකම්වලට හිමිකම් ඇති රජපුත්හු ද, අපරිමිත ධනසම්පත් ඇති මහසිටුහු ද, සිටුපුත්හු ද රජසම්පත් සිටුසම්පත් හැර පැවිදි වූහ. ඒ උපසම්පදා ශීලය, ශීලයන් අතුරෙන් අග්‍රශීලය ය. එබැවින් එයට ‘අධිශීලය’ යි ද කියනු ලැබේ. එය රක්ෂා කරන තැනැත්තා ආපායිකාදි දුක්ඛයන්ගෙන් හා අත්තානුවාදාදි භයින් ද මුදවන බැවින් ‘ප්‍රාතිමෝක්ෂ සංවරශීලය’ යි ද කියනු ලැබේ. අනේකසහශ්‍ර ශික්ෂා ඇති ඒ ශීලය අතිවිශාලය. එය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ද ඒ නිසාය. එහි අනුසස් නො අඩුව ලැබීමට එය නො නැසෙන පරිදි සිදුරු නො වන පරිදි පලුදු නො වන පරිදි රැකිය යුතුය. එය මැනවින් රැකිය හැකි වීමට එයට අයත් ශීලාංගයන් උගත යුතු ය. දත යුතුය.
“යො ගවං න විජානාති
න සො රක්ඛති ගොහණං,
එවං සීලං අජානන්තො
කිං සො රක්ඛෙය්‍ය සංවරං.”
(මහාවග්ගපාළි)
යම් ගොපල්ලෙක් තමා රකින ගවරැලේ ගවයන් නො හඳුනා නම් ඔහු ගවරැල රැකීමට සමත් නො වන්නේය. ඔහුගේ ගවරැල ක්‍රමයෙන් පිරිහී යන්නේය. එමෙන් ශීලය නො දන්නා වූ පැවිද්දා ද ඔහු විසින් රැකිය යුතු උපසම්පදාශීලය රැකීමට සමත් නොවන්නේය. ඔහුගේ ශීලය ක්‍රමයෙන් පිරිහෙන්නේ ය. සමහරවිට පාරාජිකාපත්තියට පැමිණීමෙන් ඔහු සම්පූර්ණයෙන් ම උපසම්පදාශීලයෙන් පිරිහෙන්නේ ය.
උපසම්පදාවේ ජීවය පාරාජිකාපත්තිවලින් වැළකී විසීමය. පාරාජිකාපත්තියට පැමිණීම ද මහ කලබලයක් ඇතිවන පොලීසියට උසාවියට යන්නට සිදුවන මහ කරුණකින් ම සිදුවන්නක් නො වේ. ඉතා සුළු ඉතා සියුම් දෙයින් ද සමහරවිට පාරාජිකාපත්තියට පැමිණේ. විනය ඉතා සියුම්ය. එබැවින් විනය නො දත් භික්ෂුව ඔහුටත් නොදැනීම පාරාජිකපත්තියට පැමිණිය හැකිය. විනය ද නො දත් සිකපද ගැන සැලකිල්ල ද නැතිව නොයෙක් බාහිර වැඩවල යෙදෙමින් බොහෝ ගනුදෙනුවල යෙදෙමින් වෙසෙන භික්ෂූන්ට එසේ වීමට බොහෝ අවකාශ ඇත්තේ ය. විනය නො දැනීම නිසා පාරාජිකාපත්තියට පැමිණ ඒ බව නො දැන සංඝකර්මවලට සහභාගිවෙමින් උපසම්පන්නයකු ලෙස පෙනී සිටීම, දැන පාරාජිකා වීමට වඩා නපුරුය. උපසම්පන්නයකු විසින් නො දැන වුව ද පාරාජිකා වීමට හේතු වන වරදක් කරන ලද්දේ නම් එකෙණෙහි ම ඔහු පාරාජිකාපත්තියට පැමිණේ. නො දැනීම නිදහසට කරුණක් නො වේ. පාරාජිකාපත්තියට පැමිණීමෙන් උපසම්පදාව අහෝසි වේ. එයට ප්‍රතිකාරයක් ද නැත. එබැවින් ඔහු ඒ ජීවිතයේ දී නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක් වේ. නැවත උපසම්පදා කළ ද ඔහුට උපසම්පදාව නො පිහිටයි. ඔහුට ඉතිරි වන්නේ ශ්‍රමණ ලිංගය පමණෙකි. ඔහුට සිවුරු ඉවත් නො කර එසේ ම සිට සාමණේර ශීලය සමාදන් වී සාමණේරයකු වශයෙන් බුදුසසුනෙහි රැඳීසිටීමට අවකාශ ඇත්තේය. එසේ නො කරත හොත් ඔහුට ඇත්තේ සිවුරු හැර යාම ය.
පාරාජිකා වීම මහාපාපයක් ම නො වේ. සමහරවිට අකුශලකර්මපථයන්ට අයත් නො වන සුළු පාපයකින් ද පාරාජිකා විය හැකි ය. මහාපාපයක් වන්නේ පාරාජිකා වී ඒ බව සඟවා ගෙන උපසම්පන්නයකු ලෙස සංඝයා අතර පෙනී සිටීමය. පාරාජිකාපත්තියට පැමිණියහුට එකෙණෙහි ම ඔහුට කලින් තුබූ සඟසතු සෙනසුන් පරිභෝග කිරීමේ අයිතිය ද, සඟසතු භාණ්ඩ පරිභෝග කිරීමේ අයිතිය ද, සංඝලාභයෙන් කොටසක් ලැබීමේ අයිතිය ද යන මේ සියල්ල අහෝසි වේ. නො දැන වුව ද පාරාජිකා වූ මහණ එසේ ම සිටිනවා නම් ඔහු පරිභෝග කරන්නේ තමාට පරිභෝග කිරීමට හිමිකමක් නැති සඟසතු සෙනසුන්ය. ඔහු පාවිච්චි කරන්නේ තමාට අයිති නැති සඟසතු භාණ්ඩයන්ය. වළඳන්නේ ද තමාට අයිති නැති භෝජනය ය. විනය නො දැනීම නිසා සමහරවිට තරුණ කාලයේ දී පාරාජිකා වූ තැනැත්තාට මහලු වියට පැමිණිමෙන් පසු යම්කිසි විනය සාකච්ඡාවක් ඇසීමෙන් හෝ විනය පොත් කියවන විටෙක හෝ තමා පරිජි ඇවතට පැමිණ ඇතිබව දැනෙන්නට පිළිවන. එසේ වුවහොත් ඒ අවස්ථාවෙහි ඔහුට ඇති වන්නේ; එතෙක් කල් තමාට උපසම්පදාවක් නැතිව උපසම්පන්නයකු වශයෙන් පෙනී සිට තමාට අයිති නැති සිවුපසය පරිභෝග කිරීම ගැනත්, වැඳුම් පිළිගැනීම ගැනත්, සංඝකර්මවලට සහභාගී වීම ගැනත් ඉමහත් දොම්නසකි. මහලු වයසට පැමිණ සිටින ඔහුට දැන් ගිහිව ජීවත්වීමට හැකියාවක් ද, මහතෙරකෙනකු වශයෙන් කලක් සංඝයා අතර පෙනී සිටි බැවින් සාමණේරව සිටීමට හැකියාවක් ද නැත. මේ කරුණු නිසා ඔහුගේ සිතට කිසි සැනසිල්ලක් නො ලැබේ. එසේ පසුතැවිල්ලෙන් ජීවත්වන ඔහුට මරණ මොහොතේ ඉදිරිපත් වන්නේ ද ඒ කාරණය ම ය.
කසුප් බුදුන්ගේ සසුනෙහි අරණ්‍යයෙහි වෙසෙමින් ඉතා හොඳින් විසිදහසක් අවුරුදු මහණදම් පිරූ භික්ෂුවක් ඔරුවකින් යාමේදී ඇල්ලූ ගසක කොළයක් කැඩීමෙන් සිදු වූ ඇවත ගැන තුබූ කුකුස මරණාසන්නයේ ඉදිරිපත් වී නාගයකු වී උපන් බව ධම්මපදට්ඨකථාවේ සඳහන් වේ. විසිදහසක් අවුරුදු මහණදම් පිරූ භික්ෂුව ඒ සුළුදෙය පිළිබඳව ඇති වූ කුකුස නිසා එසේ වී නම් පාරාජිකාවට පැමිණ සිටීම නමැති ඒ මහා වරද මරණාසන්නයෙහි ඉදිරිපත් වූ මහණහුට කෙසේ සුගතියකට පැමිණිය හැකි වේ ද? ඔහු පත්වනු ඇත්තේ ඉමහත් දුකකට ය. මේ විනය නො දැනීමෙන් විය හැකි මහත් වූ නපුරය.
පාරාජිකාපත්තියට පැමිණීම හා ඉන් මිදීම යන දෙකරුණ ම සමහර අවස්ථාවලදී ඉතා සියුම් ලෙස සිදුවෙයි. පාරාජිකාවට ළං වන ඇතැම් කරුණුවලින් පාරාජිකා නො වී දුකුළා ඇවතකට හෝ ථුලැසි ඇවතකට හෝ පැමිණ නවතින අවස්ථා ද ඇත්තේ ය. එබඳු කරුණු වලදී සමහරවිට විනය නො දත් භික්ෂුවට පාරාජිකා නොවී ම පාරාජිකා වූයෙමිය යන හැඟීම් නිසා ද ඇතැම්හු මට දැන් පැවිද්දේ රැඳී සිටීමෙන් නපුරක් මිස යහපතක් නැතැයි සිවුරු හැර යති. ඇතැම්හු පාරාජිකා වූ මට දැන් කුමක් කළත් කම් නැතැයි සිතා නොයෙක් නො මනා කම්හි යෙදෙමින් සිට දිවි කෙළවර අපාගත වෙති.
සංඝාදිසේසාපත්තිවලට පැමිණීම හා නො පැමිණීම ද සමහරවිට ඉතා සියුම් ලෙසින් වේ. විනය නො දත් ඇතැම්හු සංඝාදිසේසාපත්තියට පැමිණ, ඒ බව තමා නො දන්නා බැවින් ප්‍රතිකාර නො කොට කල් යවා ඇවතට ප්‍රතිකාර කිරීමට දුෂ්කර වන තත්ත්වයට පමුණුවා ගනිති. ඇතැම්හු ඇවතට නො පැමිණ ම පැමිණියෙමිය යන හැඟීම ඇති කරගෙන දුක්වෙති. ශික්ෂාකාමී වුව ද ඇතැම් පැවිද්දෝ නො දැනීම නිසා දිනපතා බොහෝ සුළු ඇවැත්වලට පැමිණෙති. විනය නො දත් භික්ෂුවට රැකීමට ඇත්තේ සිකපද සුළු ගණනෙකි. එබැවින් ඔහුගේ ශීලය සුළු ය. විනය නො දත් භික්ෂුවක් පාසිවුරු පමණක් ඇතිව අරණ්‍යයකට වී සිටිය ද ඔහුගේ ශීලය සුළුබව කිව යුතු ය. විනය දත් භික්ෂුවට රැකීමට බොහෝ සිකපද ඇත්තේ ය. එබැවින් ඔහුගේ ශීලය විශාල ය.
භික්ෂුව විසින් අවශ්‍යයෙන් ම විනය දැන සිටිය යුතු බැවින් පෙර විසූ ශික්ෂාකාමී භික්ෂූහු අන් සෑම උගෙනීමකට ම වඩා විනය උගෙනීම ගැන සැලකිල්ලක් දැක්වූහ. ඔවුහු විනය පිටකය වරක් දෙකක් උගෙනීමෙන් නො නැවතුණෝ ය. එක් එක් භික්ෂුව වාර බොහෝ ගණන් ගුරුන්ගෙන් විනය උගත්තෝ ය. උගත් විනය පිටකය අමතක නො වනු පිණිස දිවි හිමියෙන් සජ්ඣායනා කළෝ ය. පෙර විසූ ශික්ෂාකාමීන් විනය උගත් ආකාරය දැක්වීම සඳහා සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි දක්වා ඇති කථාවක් මෙසේ ය.
පෙර ලක්දිව ඇති වූ බැමිණිතියාසාය නමින් හඳුන්වන මහා දුර්භික්ෂ කාලයේදී බොහෝ භික්ෂූහු දිවිරැක ගැනීම පිණිස මුහුදින් එතෙරට ගියෝ ය. මෙහි ඉතිරි වූ බොහෝ භික්ෂූහු ආහාර නො ලැබීමෙන් හා වෙනත් උවදුරුවලින් අපවත් වූහ. ගම්භීරකන්දර නමැති වනයෙහි ගස්යට හිඳ, හිඳිනා ඉරියව්වෙන් ම රහතන් වහන්සේ සූවිසි දහසක් ආහාර නො ලැබීමෙන් පිරිනිවි බව කියා තිබේ. ඒ නපුරු කාලයේදී උපතිස්ස තෙරුන් වහන්සේය ඵුස්සදේව තෙරුන් වහන්සේ ය යන දෙනම එක්ව මහෝත්සාහයෙන් විනය පිටකය රැකගැනීමෙහි යෙදුණෝ ය. ඒ කාලයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර නො තිබුණේ ය. විනය රැකීමය කියා උන් වහන්සේලා දෙනම කළේ තමන් විසින් ධාරණය කර ගෙන ඇති අටුවා සහිත විනය පිටකය අමතක නො වන සේ පැවැත්වීම ය. සිතින් දරාගෙන ඇති දෙයක් කලක් මෙනෙහි නො කර විසුවහොත් ඒ දෙය නැවත සිහිකළ නො හෙන තත්ත්වයට පැමිණේ. ඒ නිසා අමතක නො වනු පිණිස පාඩම් ඇති දෙය නැවත නැවත සජ්ඣායනා කළ යුතු ය. අටුවා සහිත විනය පිටකය වරක් සජ්ඣායනා කිරීමට දින ගණනක් වුවමනා ය. එබඳු විශාල දෙයක් දුර්භික්ෂ සමයකදී ආහාර ද නැතිව නැවත නැවත සජ්ඣායනා කිරීම අති දුෂ්කර ය. එහෙත් ඒ මහතෙර දෙනම නැවත නැවත සජ්ඣායනා කරමින් අටුවා සහිත විනය පිටකය නැසෙන්නට නො දී පවත්වා ගත්හ. ඒ දෙනමගෙන් උපතිස්ස තෙරුන් වහන්සේ වඩා ව්‍යක්තයෝ ය. මහාපදුමය, මහාසුම්මය යි උන් වහන්සේට අතවැසි දෙනමක් වූහ. ඔවුන්ගෙන් මහාසුම්ම තෙරුන් වහන්සේ ස්වකීය ආචාර්‍ය්‍යයන් වහන්සේගෙන් නවවාරයක් විනය පිටකය අසා ගත්හ. මහාපදුම තෙරුන් වහන්සේ මහාසුම්ම තෙරුන් වහන්සේ හා එක්ව නවවාරයක් ද මහාසුම්ම තෙරුන් වහන්සේ ගිය පසු නව වාරයක්ද මෙසේ අටළොස් වාරයක් විනය පිටකය උගත්තේ ය. ඒ දෙනමගෙන් මහාසුම්ම තෙරුණුවෝ ගුරුවරයාගේන නවවාරයක් විනය පිටකය අසා ගැනීමෙන් පුස අන් පෙදෙසක වාසය පිණිස ගියහ. දිනක් මහාපසුම තෙරුන් වහන්සේ “අටුවා සහිත විනයපිටකය නොයෙක් වර අසාගෙන ඇත ද ආචාර්‍ය්‍යවරයා ජීවත් වන්නේ නම් නැවත නැවත එය ඇසිය යුතුය, වර්ෂයක් පාසා විනයපිටකය සජ්ඣායනා කළ යුතුය, එසේ තිබිය දී ජීවත්වන ආචාර්‍ය්‍යවරයා හැර බැහැර ගොස් සිටින මහාසුම්ම ස්ථවිරතුමා සූරයෙකැ” යි මහාසුම්ම තෙරුන් වහන්සේට පරිහාස වශයෙන් කීහ. පෙර විසූ ශික්ෂාකාමී තෙරුන් වහන්සේලා විනයට ගරු කළ තරම මේ කථාවෙන් පෙනේ.
අටුවා ටීකා සන්න ගැටපදවිවරණ හා සංග්‍රහග්‍රන්ථ රාශියක් ද ඇති විනය සාහිත්‍යය අති විශාල ය. පාරාජිකාපාළිය පාචිත්තියපාළිය මහාවග්ගපාළිය චූළවග්ගපාළිය පරිවාරපාළිය කියා මූලික ග්‍රන්ථ පසක් ඇත්තේය. විනය පිටකය යි කියනුයේ ඒ ග්‍රන්ථ පසට ය. සංක්ෂේපයෙන් විනය පිටකයෙහි දැක්වෙන බොහෝ කරුණු ඒ ග්‍රන්ථවලින් ම තේරුම් ගත නො හෙන බැවින් බුද්ධමතය තේරුම් ගැනීමට සමත් මහාකාශ්‍යපාදි මහරහත්හු එයට අර්ථවර්ණනාවක් ද තැබූහ. අටුවාවය යි කියනුයේ ඒ අර්ථවර්ණනාවට ය. එය බුදුරජාණන් වහන්සේගේ ‘ප්‍රකීර්ණක දේශනාවය’ යි ද කියා ඇත. එබැවින් ඒ අර්ථකථාවත් විනයපාළිය සේ ම ගරු කළ යුතුය. මහාකාශ්‍යපාදි රහතන් වහන්සේලා පිළියෙල කළ ඒ මූල අටුවාවට ‘මහාඅටුවාවය’ යි කියනු ලැබේ. එය මිහිඳු මා හිමියන් විසින් ලක්දිවට ගෙනෙන ලද්දේ ය. පසු කාලයේ දී එය සිංහල තෙරුන් වහන්සේලා විසින් හෙළබසට නඟා ගත්හ. මාගධභාෂාවෙන් ඇති ත්‍රිපිටක පොත් හා අටුවා පොත් අන්බසකට පෙරලූ කල්හි එහි රසය බොහෝ දුරට හීන වේ. දැනට සිංහලට පෙරලා ඇති ත්‍රිපිටක පොත් කියවීමට ප්‍රිය නැත්තේ ඒවායේ රසය හීන නිසා ය. නියම රසය ඇතිවන ලෙස ත්‍රිපිටක පොත් අන් බසකට පෙරළිය නොහැකි ය. දඹදිවින් මෙහි ගෙන ආ පාළි විනය අටුවාව හෙළබසට නැඟීමෙන් අවුල් වන්නට ඇතැයි සිතිය හැකිය. එය එසේ නො විණි නම් තවත් අටුවා ලියන්නට කරුණක් නැත. මහා අටුවාව හැර කුරුන්දි අටුවාව ය. මහාපච්චරියඅටුවාව ය, අන්ධක අටුවාව ය, සංකේෂේප අර්ථකථාවය යි තවත් අටුවා සතරක් අතීතයේ තුබූ බව දැනට ඇති විනය අටුවාව වන සමන්තපාසාදිකාවෙන් පෙනේ. ඒ අටුවාවලින් එකකුදු දැනට දක්නට නැත. දැනට දක්නට ඇත්තේ බුදුගොස් හිමියන් විසින් මාගධභාෂාවෙන් සැපයූ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාව පමණෙකි. විමතිවිනෝදනීටීකාව ය. සාරත්ථදීපනීටීකාව ය. වජිරබුද්ධිටීකාව ය කියා සමන්තපාසාදිකාවේ දුර්බෝධ තැන් විස්තර කරන ටීකාග්‍රන්ථ තුනක් ඇත්තේ ය. සිංහල තෙරවරුන් විසින් ඒ පොත් සිංහලයෙන් නො කර පාළිභාෂාවෙන් ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව පාළිභාෂාව වන නිසාය.
විනය නම් බුදුරදුන්ගේ නීතිය ය. එය ඉතා ගැඹුරු ය. ඉතා සියුම් ය. විනිශ්චය කිරීමට ඉතා දුෂ්කර තැන් එහි ඇත්තේ ය. ඇතැම් විනය කරුණු විනිශ්චය කිරීමට අටුවා ටීකා කළ මහා විනයඥයන් පවා සමත් වී නැත. ඒ තැන්වලදී විනිශ්චයක් නො කොට අටුවාටීකාවල නොයෙක් ආචාර්‍ය්‍යවාද දක්වා ඇත්තේ ය. ග්‍රන්ථප්‍රමාණයෙන් විශාල වූ ද ගැඹුරු වූ ද මේ විනය, දැන ගැනීම පිණිස අටුවාටීකා සහිත විනය පිටකය විනය විශාරද ආචාර්‍ය්‍යවරයන් ඇසුරු කරමින් පරිශීලනය කළ යුතුය. අතීතයේ විසූ භික්ෂූහු ධර්මවිනය පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගත යුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන්වල විද්‍යාලවල උගන්නා භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නො ලැබේ. එහෙයින් ම වර්තමාන භික්ෂුවගේ විනය දැනීම ඉතා අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්‍රාතිමෝක්ෂය උගෙනීම ම ද ප්‍රමාණවත් නො වේ. උපසම්පදා ශීලයට අයත් ප්‍රාතිමෝක්ෂයට ඇතුළත් වී නැති බොහෝ සිකපද ඛන්ධකවල එන්නේ ය. ඒවා ද භික්ෂූන් විසින් අවශ්‍යයෙන් දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු අරණවල ද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රම ද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන් ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනිමට ක්‍රමයක් පිළියෙල කිරීම් වශයෙන් උපසම්පදා ශීලය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.
මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ මෙකල වෙසෙන භික්ෂූන්ට කරන්නට ඇති වැඩවලට සම්බන්ධ සිකපද විනයපිටකයේ සියලු ග්‍රන්ථවලින් එකතු කර ගැනීමෙනි. එබැවින් මෙය විනයසංග්‍රහයෙකි. මෙකල භික්ෂූන් අතින් කවරාකාරයකින්වත් කඩ නො වන, මෙකල භික්ෂූන්ට කඩ කරන්නට වුවමනාවක් නො වන බොහෝ සිකපද විනයෙහි ඇත්තේ ය. ප්‍රාතිමෝක්ෂයෙහි භික්ෂුණීන් පිළිබඳ සිකපද ගණනක් ඇත්තේ ය. මෙකල භික්ෂුණීන් නැති බැවින් වර්තමාන භික්ෂුවට වුවමනාවෙන්වත් ඒ සිකපද කඩ කළ නො හැකිය. මෙකල භික්ෂූන් එළුලොම්වලින් කිසිවක් නො කරති. එබැවින් එළුලොම් සම්බන්ධයෙන් පනවා ඇති සිකපද වර්තමාන භික්ෂුව අතින් කඩ නො වේ. එවැනි මෙකලට වුවමනා නැති කරුණු සම්බන්ධ සිකපද, ප්‍රාතිමේක්ෂයෙහි ඇත ද මේ ග්‍රන්ථයට ඒවා ඇතුළු නො කරන ලදී. තවද මේ ග්‍රන්ථයට ඇතුළත් කළ යුතු කරුණු රාශියක් අප විසින් සම්පාදිත ශාසනාවතරණය, විනයකර්මපොත යන ග්‍රන්ථ දෙක්හි ඇත. ඒවා ඒ පොත්වල ඇති බැවින් මෙයට ඇතුළු නො කරන ලදි. ඇවැත් දෙසීම පොහෝ පවුරුණු කිරීම, කඨින ඇතිරීම, ගරුකාපත්තිවලට ප්‍රතිකාර කිරීම යනාදි කරුණු හා වත් ආදිය ශාසනාවතරණයෙන් දත හැකිය.
ආදිබ්‍රහ්මචරිය නම් වූ ද, මහාසීල නම් වූ ද, මහ සිකපදනම් වූ ද පාරාජිකා සිකපද සතර භික්ෂුවගේ ජීවය ය. ඒ සිකපද සතර භික්ෂුව විසින් සතතයෙන් ම රැකිය යුතුය. එහි ස්ථිර ලෙස පිහිටා සිටිය යුතුය. එබැවින් ඒ මහ සිකපද සතර මෙහි පළමු කොට විස්තර කරන ලදී. සිකපදවලින් දෙවන තැනට පැමිණෙන්නේ සංඝාදිසේස සිකපදයන් ය. සංඝාදිසේස තෙලෙසකි. නිතර සිහියෙන් පරෙස්සමින් නො හැසුරුන හොත් ඇවතට පැමිණීමට අවකාශ ඇති මුල් සංඝාදිසේස සිකපද පස පාරාජිකාවන්ට අනතුරුව මෙහි විස්තර කර ඇත.
කුඩා කුඩා සිකපද බොහෝ ඇත්තේ භික්ෂුවකට කරන්නට ඇති නොයෙක් වැඩ සම්බන්ධයෙනි. පාත්‍රය සැපයීම, පිළිගැනීම, පිළිගත් පාත්‍රය පරිභෝග කිරීම, අතිරේක පාත්‍ර ලැබීම, සිවුරු සැපයීම, පිළිගැනීම, පරිභෝග කිරීම, පටි ආදි තවත් පිරිකර පරිභෝග කිරීම, ආහාර සැපයීම, පිළිගැනීම, වැළඳීම, පිළිගත් ආහාරය තබා ගැනීම, දීම, ගිලන්පස පිළිගැනීම, තබා ගැනීම, නෑම, කෙස්රැවුල් බෑම, හිඳීම, සිටීම, යාම, නිදීම, කථා කිරීම, දහම් දෙසීම ආදි භික්ෂුවකට කරන්නට ඇති වැඩ රාශියක් ඇත්තේය. විනයපිටකයෙහි සිකපද දක්වා ඇත්තේ වැඩ අනුව නො වන බැවින් එහි එක් වැඩක් පිළිබඳ වූ සිකපද ග්‍රන්ථ ගණනක, ස්ථාන ගණනක විසිර ඇත්තේය. සාමාන්‍ය භික්ෂූන්ට ඒවා සොයා වෙන්කොට ගොනුකර ගැනීම අපහසුය. ඒ නිසා ඇතැම්හු ඇතැම් වැඩ කිරීමේදී බොහෝ ඇවැත්වලට පැමිණෙති. දැන ගැනීම මතක තබාගැනීම යන දෙකරුණම පහසු වීම සඳහා මෙහි කරන්නට ඇති ඒ ඒ වැඩ පිළිබඳ සිකපද වැඩ අනුව ගොණුකොට දක්වා ඇත්තේය. මේ ග්‍රන්ථය භාවිතා කිරීමෙන් ඒ ඒ කටයුත්ත කිරීමෙහිදී පිළිපැදිය යුතු සිකපද සියල්ල දැන ඒවාට අනුව පිළිපදිමින් එම ඇවැත් නො වන පරිදි ඒ ඒ කටයුතු කළ හැකි වනු ඇත.
විනයෙහි බොහෝ සිකපද ඇත ද, භික්ෂුවට ඒ සියල්ල ම පිළිපැදීමේ බර නිතර ම නැත්තේ ය. ඒ ඒ කටයුත්ත කිරීම පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථාව ඒ කටයුත්ත කරන අවස්ථාවය. ආහාර ගැනීම පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථාව ආහාර වළඳන අවස්ථාවය. ආහාර වළඳන අවස්ථාව ගමනාදිය පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථා නො වේ. එබැවින් ගමනාදිය සම්බන්ධයෙන් ඇති සිකපද පිළිපැදීමේ බර ආහාර වැළදීමෙහිදී නැත. ගමනෙහිදී ද ආහාර වැළඳීම් ආදියෙහි ඇති සිකපද පිළිපැදීමේ බර නැත. එබැවින් බොහෝ සිකපද ඇතිබව භික්ෂුවට මහබරෙකැයි නො කිය හැකිය.
මේ උපසම්පදා ශීලය වනාහි ගිහියන් පොහෝ දිනයෙහි රකින අෂ්ටාංග ශීලය සේ සුළු සීලයක් නො වේ. එක්දිනක් රකින ශීලය තනිපයින් සිට රැකිය යුත්තක් වුව ද එය රැකීම එතරම් දුෂ්කර නො වේ. එක සිකපදයක් වුව ද වර්ෂගණනක් හෝ දිවිහිමියෙන් හෝ රැකීම අති දුෂ්කරය. භික්ෂූහු පාරාජිකා සිකපද සතර වූ මහාශීලය දිවිහිමියෙන් රකිති. එය සුළු කරුණක් නො ව මහ කරුණෙකි. බොහෝ ගණනක් ඇති සංඝාදිසේසාදී ඛුද්දානුඛුද්දක සිකපද වලින් එකකුදු නො කඩවන පරිදි උපසම්පදා ශීලය පෘථග්ජන භික්ෂුවකට තබා සියලු කෙලෙසුන් නැසූ රහත් කෙනකුට වුව ද රැකීම දුෂ්කරය. යමෙක් පාරාජිකා සිකපද සතර වුව ද දීර්ඝකාලයක් රකින්නේ නම් ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සෙකි. ලෝකවද්‍ය ශික්ෂාපද ය. ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපදය යි සිකපද දෙකොටසෙකි. රහතුන්ට අර්හත්වයේ බලයෙන් ලෝකවද්‍ය ශික්ෂාපද රැකේ. රහත්හු කිසිකලෙක ලෝකවද්‍ය ශික්ෂාපද කඩ නො කරති. අර්හත්වයේ බලයෙන් ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද, නො රැකේ. සමහරවිට රහතුන් අතින් ද ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කඩ වේ.
“එත්ථ පන ඛීනාසවො තාව ලොකවජ්ජං න පජ්ජති. පණ්ණත්ති වජ්ජමෙව ආපජ්ජති. ආපජ්ජන්තො ච කායෙන පි වාචාය පි චිත්තතෙන පි ආපජ්ජති. කායෙන ආපජ්ජන්තො කුටිකාරසහසෙය්‍යාදිනි ආපජ්ජති. වාචාය ආපජ්ජන්තො සඤ්චරිත්ත පදසොධම්මාදීනි, චිත්තෙන ආපජ්ජන්තො රූපියටිග්ගහණං ආපජ්ජති.”
(මනෝරථපූරණි 443)
මේ පාඨයෙන් රහතුන් ද කුටිකාරකසංඝාදිසේස සඤ්චරිත්තසංඝාදිසේස පදසෝධම්මපාචිත්තිය රූපියටිග්ගහණපාචිත්තිය යනාදියට පැමිණෙන බව මනේරථපූරණි අටුවාවෙහි දක්වා ඇත්තේ ය. රහතුන් අතින් ද සිකපද සමහරවිට කඩවිය හැකි කල්හි පෘථග්ජන භික්ෂූන් අතින් සිකපද කඩවීම ගැන කියනු කිම? මහා සිකපද සතරෙහි ස්ථිර ලෙස පිහිටා සිටින භික්ෂුවගෙන් සමහරවිට කුඩා සිකපද කඩවුව ද එයින් ඒ භික්ෂුව අභව්‍ය පුද්ගලයෙක් නො වේ.
“ඉධ පන භික්ඛවෙ භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං මත්තසොකරී පඤ්ඤාය මත්තසොකරී සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි, වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? නහි මෙත්ථ භික්ඛවෙ අභබ්බතා වුත්තා.”
(අංගුත්තර නිකාය - 141 පි.)
මේ පාඨයෙන් මහ සිකපද සතර වූ ආදිබ්‍රහ්මචර්‍ය්‍යශීලය සම්පූර්ණ කරන්නා වූ සමාධිප්‍රඥා දෙක ප්‍රමාණයෙන් ඇති කර ගන්නා වූ භික්ෂුව ඛුද්දානුඛුද්දක ආපත්තීන්ට පැමිණෙන්නේ ද ඇවැත් දෙසීම ආදියෙන් ඒවායින් නැඟීසිටින්නේ ද වේ නම් ඒ කුඩා කුඩා ඇවැත්වලට පැමිණීම, නැඟීසිටීම මඟඵල ලැබීමේ අභව්‍යතාවක් නො වන බව දැක්වේ. කරුණු මෙසේ හෙයින් කුඩා කුඩා ඇවැත්වලට පැමිණෙන භික්ෂුවගේ පැවිද්ද අසාර්ථක එකක් නො වන බව දත යුතු ය. කුඩා සිකපදය වුව ද රැකීමට සුදුසු පරිසරය ඇති කල්හි භික්ෂූන්ට සිකපද රැකීම පහසු ය. පරිසරය කලින් කල වෙනස් වේ. සිකපද රැකීමට අනුබල නො ලැබෙන, ඒවාට බාධා කරන පරිසරයෙහි සිකපද රැකීම දුෂ්කර වේ. යුද්ධභය දුර්භික්ෂය රෝගභය පැමිණ පරිසරය වෙනස් වූ අවස්ථාවල සිකපද රැකීම බොහෝ දුෂ්කර වේ. දැනට ඇත්තේ සිකපද රැකීමට තරමක් දුෂ්කර පරිසරයෙකි. දුෂ්කරකම් නිසා මුලින් සිකපද කඩා ජීවත් වන භික්ෂුවට ක්‍රමයෙන් එය කොතරම් දුරට යනවාද කියත හොත් කල්යාමෙන් ඒ කුඩා සිකපද ඇති බව පවා නොදන්නා භික්ෂූහු වෙති. දැනුදු බොහෝ කුඩා කුඩා සිකපද ඇති බව නො දන්නා බොහෝ භික්ෂූහු ඇත්තාහ. ඔවුන් අතර දන්නවා නම් ඒ කුඩා සිකපද රකිනු කැමති බොහෝ සැදැහැවත් භික්ෂූහු ද වෙති. ඔවුනට ඒවා දැන ගැනීමට මඟක් ඇති කිරීම මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් අප බලාපොරොත්තු වන එක කරුණෙකි.
දුෂ්කෘත - දුර්භාෂිත - පාචිත්තිය - ථුල්ලච්චය - සංඝාදිසේසාපත්තිවලට පැමිණ ඇත ද පාරාජිකාපත්තියට නො පැමිණි භික්ෂූන් ලොව ඇතිතාක් ප්‍රතිපත්ති ශාසනය නො නැසෙන බවත්, පාරාජිකාවනට නො පැමිණි අන්තිම භික්ෂුවගේ පාරාජිකාපත්තියට පැමිණීමෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය කෙළවර වන බැවින් “චත්තාරි පාරාජිකානි රක්ඛන්තානං සතෙපි සහස්සෙපි ධරමානෙ පටිපත්ති අනන්තරභිතා නාම හොති. පච්ඡිමකස්ස පන භික්ඛුනො සීලභෙදෙනෙ වා ජීවිතක්ඛයෙන වා අන්තරභිතා නාම හොති” යනුවෙන් මනෝරථපූරණි අට්ඨකථාවෙහි දක්වා ඇත්තේ ය. නොයෙක් උවදුරු ඇතිවීමෙන් කලින් කල සිල්වත් භික්ෂූන් තබා දුශ්ශීල භික්ෂූන් ද ඒ ඒ රටවල නැතිවීම ස්වභාවයකි. එබඳු කලකදී පාරාජිකා නො වූ භික්ෂූන් පස්නමක් ඉතිරි වුව හොත් ඒ අයට සැදැහැවතුන් පැවිදි උපසම්පදා කරවා නැවත ද ශාසනය නඟා සිටුවිය හැකි ය. ප්‍රත්‍යන්තයේ උපසම්පදා කිරීමට උපසම්පදා පස්නම ප්‍රමාණවත් ය.
බුදුසසුන රැකීමට කළ යුතු ප්‍රධාන දෙය විනය රැකීමය. සූත්‍රාභිධර්මපිටකද්වය නැති වී ගිය ද විනය ඇති කල්හි බුදුසස්න පවත්නේ ය.
“පමුට්ඨම්හි ච සුත්තන්තෙ - අභිධම්මෙ ච තාවදෙ
විනයෙ අවිනට්ඨම්හි - පුන තිට්ඨති සාසනං.”
(මහාවග්ගපාළි)
යනුවෙන් ඒ බව ප්‍රකාශිත ය. එබැවින් සර්වඥශාසනයේ චිරස්ථිතිය පිණිසත් තමන්ගේ පැවිද්ද සඵල කර ගැනීම පිණිසත් භික්ෂූහු ආදරයෙන් විනය පිටකය උගනිත්වා. ඒ විනය අනුව පිළිවෙත් පුරා දුක් කෙළවර කර ගනිත්වා.
මේ ග්‍රන්ථය මුද්‍රණයේදී අපගේ ශිෂ්‍යනමක් වන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බුද්ධර්මාංශයේ කථිකාචාර්‍ය්‍යවරයකුව සිටි ශාස්ත්‍රාචාර්‍ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිර සහ ශාස්ත්‍රාචාර්‍ය්‍ය චන්ද්‍රපාල තනිප්පුලිආරච්චි මහතා ද ශෝධ්‍යපත්‍රාවලෝකනාදිය කළ බව ස්තුති පූර්වකව සඳහන් කරමු.
මීට - ශාසනස්ථිතිකාමී, රේරුකානේ චන්දවිමල මහාස්ථවිර
2513 (1970) පෙබරවාරි 6 වෙනි දින.
පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.