නවක පැවිද්දන්ට මේ වරදය, මේ නිවරදය, මේ කුඩා වරදය, මේ මහා වරදය, මේ කළ යුත්තය, මේ නො කළ යුත්තය යි නො දැනේ. එබැවින් ඔවුන් අතින් බොහෝ වරද සිදුවිය හැකිය. ඔවුන් ශාසනයෙන් පිරිහී යා හැකි ය. නවක පැවිද්දන්ට මේ ශාසනයෙහි දියුණු විය හැකි වීමට නවකයා ගැන නිතර සොයන බලන, වරද කියා දෙන, වරදට නො පැමිණෙන පරිදි නවකයා ආරක්ෂා කරන, එසේ ම නවකයාගේ අඩුපාඩු සොයා බලා ඒවා සපයා දෙන, සපයාදීමට උත්සාහ කරන, නවකයා දියුණු කිරීමට උත්සාහ කරන, දරුවකුට පියකු මෙන් නවකයාට හිතවත් ආචාර්‍ය්‍යයකු සිටිය යුතුය. එබඳු ආචාර්‍ය්‍යවරයකු පැවිද්දා විසින් සොයා ගත යුතු ය. ශාසනයෙහි උපාධ්යායාචාර්ය්යය යි කියනුයේ ඒ ආචාර්‍ය්‍යවරයාට ය. සියලු ම නවක පැවිද්දන් විසින් යම්කිසි සුදුසු ස්ථවිර නමක් උපාධ්‍යාය කරගෙන විසිය යුතුය. එය විනය නීතියකි. උපාධ්යායයකු නැතියකු උපසම්පදා කිරීම ද ප්රතික්ෂිප්තය.
“අනුජානාමි භික්ඛවෙ, උපජ්ඣායං, උපජ්ඣායො භික්ඛවෙ, සද්ධිවිහාරිකම්හි පුත්තචිත්තං උපට්ඨපෙස්සති, සද්ධිවිහාරිකො උපජ්ජායම්හි පිතුචිත්තං උපට්ඨපෙස්සති, එවං තෙ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිනො විහරන්තා ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධි විරූල්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්ති.”[1]
එහි තේරුම මෙසේය:- “මහණෙනි, උපාධ්යායයකු, ගැනීමට අනුදනිමි. මහණෙනි, උපාධ්‍යායයා සද්ධිවිහාරිකයා කෙරෙහි (ශිෂ්‍යයා කෙරෙහි) මොහු මාගේ පුතෙක යන සිත පිහිටුවා ගන්නේ ය. සද්ධිවිහාරිකයා ද උපාධ්යායාචාර්ය්යයා කෙරෙහි මුන් වහන්සේ මාගේ පියෙක යන සිත පිහිටුවා ගන්නේ ය. මෙසේ ඔවුහු ඔවුනොවුන් කෙරෙහි ගෞරව ඇත්තාහු අවවාදයට ඇහුම්කන් දෙන්නාහු සමාන පැවතුම් ඇත්තාහු මේ ධර්මවිනයෙහි දියුණුවට පැමිණෙන්නාහු ය.”
උපාධ්‍යායයා ගත යුත්තේ මෙසේය:- උත්තරාසංගය ඒකාංස කොට පෙරවා උපාධ්‍යාය කර ගන්නා ස්ථවිරයන් වහන්සේගේ පා වැඳ උක්කුටිකව හිඳ “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” යි කිය යුතු ය. ඒ ඉල්ලීම ස්ථවිර භික්ෂුව පිළිගන්නේ නම් “සාහු” කියා හෝ “ලහු” කියා හෝ “ඔපායිකං” කියා හෝ “පතිරූපං” කියා හෝ “පාසාදිකෙන සම්පාදෙහි කියා හෝ කියනු ඇත. කයින් හෝ ඒ අදහස අඟවනු ඇත. ස්ථවිරයන් වහන්සේ එසේ කෙළේ නම් නවකයා උපාධ්‍යායයා ගන්නේ ලද්දේ වේ. ස්ථවිර භික්ෂුව එසේ නො කරන ලද්දේ නම් උපාධ්‍යායයා නො ගන්නා ලද්දේ වේ. උපාධ්‍යාය ගත් නවකයා සද්ධිවිහාරික නම් වේ. උපාධ්‍යාය ගැනීමෙන් පසු සද්ධිවිහාරිකයා විසින් “මේ තෙරුන් වහ්නසේ මට භාරය, මම ද මේ තෙරුන් වහන්සේට භාරය” යි සැලකිය යුතු ය.
“න භික්ඛවෙ, සද්ධිවිහාරිකෙන උපජ්ඣායම්හි න සම්මා වත්තිතබ්බං, යො න සම්මා වත්තෙය්ය ආපත්ති දුක්කටස්ස.”[2]
මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාධ්‍යායා කෙරෙහි නො මනා පරිදි නො පැවතිය යුතු ය. යමෙක් නො මනා පරිදි පවතින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
සද්ධිවිහාරිකයා විසින් තමාගේ උපාධ්‍යායයන් වහන්සේට කළ යුතු වත් ඇත්තේ ය. ඒවා නො පිරිහෙළා කිරීම උපාධ්‍යායයන් වහන්සේ කෙරෙහි මැනවින් පැවතීම ය. ඒවා නො කර හැරීම නො මනා කොට පැවතීම ය. උපාධ්‍යාය වත ශාසනාවතරණයෙහි[3] සැකෙවින් දක්වා ඇත. මහාවග්ග පාළියේ මහාඛන්ධකයෙන් හා චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයෙන් ද එය විස්තර වශයෙන් දත හැකිය. එක් උපාධ්‍යාය කෙනකුට බොහෝ සද්ධිවිහාරිකයන් විය හැකි ය. උපාධ්‍යාචාර්‍ය්‍යවරයා වත් බලාපොරොත්තු වේ නම් නො කරන සැමට ම ඇවැත් වේ. ඉදින් උපාධ්‍යායයා “මාහට වත් කරන්නෝ ඇත, ආයුෂ්මත්හු තමන්ගේ කටයුතු බලාගනිත්වා” යි කියා නම් වත් නො කිරීමෙන් ඇවැත් නො වේ. නුවණැති උපාධ්‍යායයෝ එසේ සද්ධිවිහාරිකයන්ට නිදහස දී ඔවුන් ඇවතින් මුදවති. එක් සද්ධිවිහාරිකයෙක් උපාධ්‍යාය වත සම්පූර්ණයෙන් බාරගෙන මම උපාධ්‍යායයන් වහන්සේගේ වත් කරමිය ආයුෂ්මත්හු තම තමන්ගේ කටයුතු කර ගනිත්වා යි කියන්නේ නම් එසේ වත් බාර ගැනීමෙන් පසු නො කිරීමෙන් සෙස්සන්ට ඇවැත් නො වේ.