නිසෙන් මිදී රිසි සේ වාසය කිරීමට සුදුසු භික්ෂුවක් වීමේ අංග මෙසේය:- උපසම්පදාවෙන් පස්වසක් වීම, ප්‍රාතිමෝක්ෂ දෙක පාඩම් තිබීම, පොහෝදිනයන්හි දහම් දෙසීම සඳහා සූත්‍ර පිටකයෙන් බණවර සතරක් පුහුණු කරගෙන තිබීම, පැමිණියවුන්ට කීම පිණිස අන්ධකවින්ද අම්බට්ඨරාහුලෝවාද කථා වැනි එක් කථාවක් දැන ගැනීම, සාංඝිකදාන මංගලාවමංගලයන්හි අනුමෝදනා පිණිස අනුමෝදනා තුනක් දැනීම, උපෝසථපවාරණාදිය කළ හැකි වනු පිණිස කර්මාකර්මවිනිශ්චය දැන ගැනීම, ශ්‍රමණධර්මය පිරීම පිණිස අර්හත්වයෙන් කෙළවර වන භාවනාමාර්ගයක් දැන ගැනීම යන මේවා නිශ්‍රයමුඤ්චනකාංගයෝ ය. මේ අංගයන්ගෙන් යුක්ත භික්ෂුව “නිශ්‍රයමුක්ත බහුශ්‍රැත” නම් වේ. ඔහුට ගුරුවරයකු ඇසුරු නො කරමින් රිසි සේ රිසි තැනක විසීමෙන් ඇවැත් නො වේ.
සූත්‍රපිටකයෙන් උගත යුතු බණවර සතර නොයෙක් පොත්වලින් හෝ එක පොතකින් ම හෝ උගෙනීම සුදුසු ය. සෑම කරුණකට ම සෑහෙන ධර්ම එක පොතක එක තැනක නැති බැවින් වුවමනා ධර්ම නොයෙක් පොත්වලින් ගෙන බණවර සතරක් උගෙනීම වඩා යහපත් ය. දැනට මහපිරිත්පොතය යි ව්‍යවහාර කරන පොතේ නියම නාමය චතුභාණවාරපාළිය යනුයි. එය සූත්‍රපිටකයේ පොත්වලින් ගෙන එක්තැන් කළ බණවර සතරෙකි. එය නිශ්‍රයමුක්තක බහුශ්‍රැතයකු වීමට උගත යුතු පාඩම් කරගත යුතු ධර්මවලින් බණවර සතරක් එකතු කොට කරන ලද ග්‍රන්ථයකි. එහි ගිහි පැවිදි කාහටත් ප්‍රයෝජනවත් ධර්ම අන්තර්ගත කොට ඇත්තේ ය. සූත්‍රසංග්‍රහය නමැති ග්‍රන්ථයත් බණවර සතරක සංග්‍රහයකි. එය කර ඇත්තේ ද නිසෙන් මිදීම සඳහා උගෙනීමට ය. බණවර මෙසේ දත යුතුය.
“අට්ඨක්ඛරා එකපදං - එකා ගාථා චතුප්පදං,
ගාථා චෙකා මතො ගන්ථො - ගන්ථො බත්තිංසක්ඛරො.
-
ඛත්තිංසක්ඛරගන්ථානං - පඤ්ඤාසං ද්විසතං පන,
භාණවාරො මතො එකො - අට්ඨක්ඛර සහස්සකො.”[1]
අකුරු අටක් එක් පාදයෙකි. පාද සතරක් එක් ගාථාවෙකි. එය ග්‍රන්ථ නම් ද වේ. ග්‍රන්ථය අකුරු දෙතිසක් වන්නේ ය. අකුරු දෙතිසක් ඇති ග්‍රන්ථ දෙසිය පණසක් එක් බණවරෙකැයි දන්නා ලදී. එය අකුරු අටදහසක් වන්නේ ය යනු ඉහත දැක්වුණු ගාථාවල තේරුම ය.
පාදයකට අකුරු අට බැගින් ඇති ගාථා දෙසිය පණසක් එක් බණවරයෙකි. එපමණ වචන හා අකුරු ඇති ගාථා නො වන දහම් කොටස ද එක් බණවරයෙකි. චතුභාණවාරපාළි, සූත්‍රසංග්‍රහ යන පෝතවල ගද්‍ය පද්‍ය මිශ්‍ර වශයෙන් බණවර සතර බැගින් සංග්‍රහ කොට ඇත්තේය.
අන්ධකවින්ද යන නම ඇති සූත්‍රයක් බ්‍රහ්ම සංයුත්තයේ ඇත්තේ ය. අංගුත්තරනිකාය පඤ්චක නිපාත තතියපණ්ණාසකයේ අන්ධකවින්දවග්ගයේ ද ඒ නමින් සූත්‍රයක් ඇත්තේ ය. ඒවායේ දක්වා ඇත්තේ ශ්‍රමණ ප්‍රතිපත්ති ය. අම්බට්ඨ නමින් සූත්‍රයක් දීඝ නිකායේ ඇත. එහි සඳහන් වන්නේ අම්බට්ඨ නමැති තරුණ බමුණකු බුදුරදුන් හා කළ වාදයකි. රාහුලෝවාද නාමයෙන් මජ්ඣිමනිකායේ සූත්‍ර තුනක් ඇත්තේ ය. එක් කථාමාර්ගයක් දැන සිටීම නිස මිදීමට ප්‍රමාණ වුව ද සැමදා ම එක ම කථාව කීම නුසුදුසු බැවින් භික්ෂුවකට කථා ගණනක් දැන සිටීම සුදුසු ය.
අනුමෝදනාව යනු පින්කමක් කළ ගිහියන්ට සතුටු වීම පිණිස කරන ධර්මකථාව ය. සාංඝික දානාදියෙහි අනුමෝදනා පිණිස දානාදීන්ගේ අනුසස් දැක්වෙන නිධිකණ්ඩ දක්ෂිණාවිභංගාදි සූත්‍ර ධර්ම උගත යුතු ය. විහාරමංගල ගෙහප්පවේසමංගලාදියෙහි අනුමෝදනාවට මංගලසූත්‍රාදිය දැන ගැනීම සුදුසු ය. මතකභත්තාදියෙහි අනුමෝදනාවට තිරෝකඩ්ඩසූත්‍රාදිය උගත යුතු ය.
කර්මාකර්ම විනිශ්චය දැන ගැනීමට පරිවාරපාළියේ කර්මවර්ගය උගත යුතු ය. අභිධර්මය ගැන මෙහි කිසිවක් සඳහන් නැත. එහෙත් අර්හත්වයෙන් කෙළවර වන භාවනාවක් උගෙනීමේදී ස්කන්ධාදි ධර්ම විභාග දත යුතු බැවින් අභිධර්මයෙන් ද තරමක් උගත යුතු ය. නිස්සය මුඤ්චනකාංග විනය විනිශ්චයේ මෙසේ දැක්වේ.
“වාචුග්ගතාව කාතබ්බා - පගුණා ද්වෙපි මාතිකා,
සුත්තන්තතො ච චත්තාරො - භාණවාරා පකාසිතා.
-
එකො පරිකථත්ථාය - කථාමග්ගො පකාසිතො,
මංගලාමංගලත්ථාය - තිස්සොයෙවානුමොදනා.
-
උපොසථාදි අත්ථාය - කම්මාකම්ම විනිච්ඡයො,
කම්මට්ඨානං තථා එකං - උත්තමස්ථස්ස පාපකං.
-
එත්තකං උග්ගහෙත්වාන - පඤ්චවස්සො බහුස්සුතො,
මුඤ්චිත්වා නිස්සයං කාමං - වසිතුං ලභතිස්සරො.”[2]
උපාධ්‍යායාචාර්‍ය්‍යයාගෙන් වෙන් වූ අව්‍යක්ත භික්ෂුව විසින් ආචාර්‍ය්‍යත්වයෙන් ඇසුරු කිරීමට සුදුසු අන් මහතෙරනමක් ආචාර්යවරයා වශයෙන් ගත යුතු ය. එසේ කිරීමට නිස ගැනීමය යි කියනු ලැබේ.
නිස ගන්නා භික්ෂුව ව්‍යක්ත බහුශ්‍රැත ස්ථවිරනමක් වෙත එළඹ උත්තරාසංගය ඒකාංස කොට පෙරවා පාවැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ “ආචරියො මෙ භන්තෙ භොහි, ආයස්මතො නිස්සාය වච්ඡාමි” යි මෙසේ තුන් වරක් කිය යුතු ය. එය ආචාර්‍ය්‍යයා වන ලෙස ඉල්ලීම ය. ඉදින් ස්ථවිර භික්ෂුව ඒ ඉල්ලීම පිළිගන්නේ නම් “සාහු, ලහු, ඔපායිකං, පතිරූපං” යන වචනවලින් යම්කිසිවක් හෝ “පාසාදිකෙන සම්පාදෙහි” යි හෝ කිය යුතුය. කයින් හෝ පිළිගත් බව ඇඟවීමක් කළ යුතු ය. එසේ කළ කල්හි නවකයා විසින් නිස ගන්නා ලද්දේ වේ. ස්ථවිර භික්ෂුව විසින් නිස දුන්නේ වෙයි. නිසදුන් ස්ථවිර තෙමේ නිස්සයාචරිය නම් වේ. නිස ගත් නවකයා අන්තේවාසික නම් වේ.
“න භික්ඛවෙ, බාලෙන අබ්‍යත්තෙන නිස්සයො දාතබ්බො, යො දදෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා නිස්සයො දාතුං”[3]
යි වදාරා ඇති බැවින් පරිසූපස්ථායක බහුශ්‍රැතත්වයට නො පැමිණි භික්ෂුව විසින් නිස නො දිය යුතු ය. දුන හොත් දුකුළා ඇවැත් වේ. නිස ගත් නවක භික්ෂුව විසින් එතැන් පටන් ඒ ආචාර්‍ය්‍යයාට උපාධ්‍යායචාර්‍ය්‍යයාට කරන වත් සියල්ල කළ යුතු ය.
“න භික්ඛවෙ, අන්තෙවාසිකෙන ආචරියම්හි න සම්මා වත්තිතබ්බං, යො න සම්මාවත්තෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[4]
මෙසේ වදාරා ඇති බැවින් අන්තේවාසිකයා විසින් ආචාර්‍ය්‍යවරයා කෙරෙහි මැනවින් පැවතිය යුතු ය. මැනවින් පැවතීමය යනු උපාධ්‍යායාචාර්‍ය්‍යයන්ට කිරීමට නියමිත වත් සියල්ල ඒ නිශ්‍රායාචාර්‍ය්‍යයාට කිරීම ය. මැනවින් නො පිළිපදන නොහික්මෙන අන්තේවාසිකයා බැහැර කිරීමට ද අනුදැන ඇත්තේ ය.
“න භික්ඛවෙ අලජ්ජීනං නිස්සයො දාතබ්බො, යො දදෙය ආපත්ති දුක්කටස්ස.”[5]
යනු වදාරා ඇති බැවින් අලජ්ජි භික්ෂුවට නිස නො දිය යුතුය. නො හඳුනන භික්ෂුවක් නිස ගැනීමට පැමිණිය හොත් නිස නො දී සතරපස් දිනක් සමීපයෙහි තබා ගෙන ලජ්ජියෙක් ද? නැත ද? කියා විමසා සුදුසු බව හැඟේ නම් නිස දිය යුතු ය. අලජ්ජියකු බව දැන ද අන් ප්‍රයෝජනය සලකා නිස දුන හොත් ආචාර්‍ය්‍යයාට දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ, අලජ්ජීනං නිස්සාය වත්ථබ්බං, යො වසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[6]
මෙසේ වදාරා ඇති බැවින් අලජ්ජි භික්ෂුවගෙන් නිස නො ගත යුතු ය. නිස ගැනීම සඳහා නො හඳුනන තෙර කෙනකු වෙත ගිය භික්ෂුව එහි සතරපස් දිනක් නැවතී විමසා ලජ්ජියෙකැයි හැඟේ නම් නිස ගෙන එහි විසිය යුතු ය. නිස ගන්නට සිටින ස්ථවිර අලජ්ජි පුද්ගලයෙකැයි හැඟේ නම් අනිකකු සොයා යා යුතු ය. අලජ්ජි බව දැන අන් ප්‍රයෝජන සඳහා නිස ගන්නේ නම් දුකුළා ඇවැත් වේ.
දැන දැන ඇවතට පැමිණීමය, ඇවැත් සැඟවීමය, අගතියට යාමය යන මේ කරුණු තුන අලජ්ජි ලක්ෂණයෝ ය. එයින් කවරක් හෝ ඇත්තේ අලජ්ජි නම් වේ. දැන දැන ඇවතට පැමිණීමය යනු යම් කිසිවක් කළ හොත් එයින් ඇවතක් වන බව දැනගෙන ම ප්‍රඥප්තිය ගැන නො සලකා ඒ වරද කිරීම ය. සිත රැක ගන්නට නො හැකිවී වරදක් කොට ඇවතක් වුව හොත් ඒ ඇවත එදින ම දෙසිය යුතු ය. ඇවත දෙසීමට සුදුසු භික්ෂූන් සිටියදී ඇවත දෙසිය හැකි බවත් තිබියදී එදින ම ඇවත නො දෙසීම ආපත්තිය සැඟවීම ය. එසේ ඇවැත් සඟවන භික්ෂුව ඇවත දෙසන තුරු සිටින්නේ අලජ්ජියකු වශයෙනි. පිරිකර බෙදීමේදී තමාගේ අයට හොඳ පිරිකර ලැබෙන සේ ද විරුද්ධ අයට බාල පිරිකර ලැබෙන සේ ද ක්‍රියා කිරීම, ධර්මකථා විනය කථා කිරීමේදී වරද වූ ද තමාගේ කීම ස්ථිර කරන්නටත් නිවරද වූ ද අනුන්නේ කීම යට කරන්නටත් කථා කිරීම යනාදිය අගතියට යාම ය
උපාධ්‍යායාචාර්‍ය්‍ය නිශ්‍රයාචාර්‍ය්‍ය දෙදෙනාගෙන් උපාධ්‍යායාචාර්‍ය්‍යයා ප්‍රධාන ය. උපාධ්‍යාචාර්‍ය්‍යවරයා විහාරයෙන් බැහැරව සිටින කාලයේදී අන් තෙරනමකගෙන් නිස ගෙන වාසය කරන භික්ෂුවගේ නිස උපාධ්‍යායාචාර්‍ය්‍යවරයා විහාරයට පැමිණීමෙන් සන්සිඳෙයි. ඉන් පසු ඒ භික්ෂුව උපාධ්‍යායයාගේ වත් කෙරෙමින් උපාධ්‍යාචාර්‍ය්‍යයා ඇසුරු කරමින් විසිය යුතු ය. නැවත උපාධ්‍යායයා විහාරයෙන් බැහැර වුවහොත් ඒ භික්ෂුව විසින් නැවත නිස ගත යුතු ය. යම්කිසි භික්ෂුවක් උපාධ්‍යායයා වෙසෙන විහාරයෙන් අන් විහාරයකට ගොස් අන් තෙරනමකගෙන් නිස ගෙන වෙසෙන කල්හි උපාධ්‍යායයා එහි පැමිණිය හොත් එයින් නිස සන්සිඳේ. උපාධ්‍යායයා ඒ විහාරයෙන් ගිය පසු නැවත නිස ගත යුතු ය. අන්තේවාසිකයා විහාරයේ සිටිය දී නිශ්‍රයාචාර්‍ය්‍යයා විහාරයෙන් බැහැර වී ගියේ නම් නිස සන්සිඳේ. ආචාර්‍ය්‍යවරයා නැවත විහාරයට පැමිණි කල්හි නැවත නිස ගත යුතු ය. ආචාර්‍ය්‍යවරයා විහාරයේ සිටියදී සද්ධිවිහාරිකයා විහාරයෙන් බැහැරව ගිය ද නිස සන්සිඳේ. ආපසු පැමිණි කල්හි නැවත නිස ගත යුතු ය. උපාධ්‍යායයාගෙන් වෙන්ව විසීම නිසා සන්සිඳී ගිය නිස උපාධ්‍යායයා හා එක්වීමෙන් නැවත ප්‍රකෘතිමත් වේ. නැවතත් උපාධ්‍යාය ගැනීමක් නුවුවමනා ය.