“යො පන භික්ඛු ජාතරූපරජතං උග්ගණ්හෙය්‍ය වා උග්ගණ්හාපෙය්‍ය වා උපනික්ඛිත්තං වා සාදියෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[1]
යම් මහණෙක් රන් රිදී මසු කහවණු තමා පිණිස පිළිගනී නම් හෝ තමා පිණිස අනුන් ලවා ගන්වා ගනී නම් හෝ මෙය ඔබ වහන්සේට පුදමියි ඉදිරියේ තබන ලද්ද ඉවසා නම් හෝ වස්තුව නිස්සජ්ජනය කළ යුතු වේ. පචිති ඇවැත් වේ.
ජාතරූප යනු රත්රන් ය. රජත යන වචනයෙන් අන් තැන්වල රිදී කියැවේ. මෙහි රජත යන වචනයෙන් කියනුයේ රිදී හා ගනුදෙනුවට යෙදෙන සියලු ම මුදල් ජාතිය ය. යම් භික්ෂුවක් රත්රන් හෝ රිදී හෝ රන් රිදීවලින් හෝ අන් ලෝහ වර්ගයකින් හෝ කරදාසි ආදියෙන් හෝ කරන ලද ගනුදෙනුවට යෙදිය හැකි මුදලක් හෝ අනිකකු විසින් දෙනු ලබන කල්හි හෝ අස්වාමිකව තිබෙනු දැක හෝ තමාගේ ප්‍රයෝජනය පිණිස ගන්නේ හෝ ගන්වන්නේ හෝ වෙන් නම් නිසගි පචිති වේ. මෙය ඔබ වහන්සේට දෙමි යි සමීපයෙහි තැබූ කල්හි ද කයින් හෝ වචනයෙන් හෝ මේවා අපට අකපැය යි සිතින් හෝ ප්‍රතික්ෂේප නො කොට ඉවසූයේ නම් නිසගි පචිති වේ.
රන් රිදී හා මුදල් නිස්සග්ගියවත්ථු ය. මුතු, මැණික්, හුණ පැහැ ඇති මැණික්, සක් පැහැපත් මටසිලුටු ගල්, පබුළු, රතු මැණික්, කබර මැණික්, ධාන්‍ය, දාසිදාස, වතු, කුඹුරු, මල්වතු, ඵලවතු යනාදිය දුක්කටවත්ථුය.
නිස්සග්ගියවත්ථූන් තමාගේ ප්‍රයෝජනය පිණිස පිළිගැනීමෙන් නිසගි පචිති වේ. අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස පිළිගැනීමෙන් දුකුළා ඇවැත් වේ. දුක්කටවත්ථූන් තමා පිණිස වුව ද අන්‍යයන් පිණිස වුව ද පිළිගැනීමෙන් දුකුළා වේ. කවරක් වුව ද පරෙස්සම් කිරීම සඳහා පිළිගැනීමෙන් රත්නශික්ෂාපදයෙන් පචිති වේ. ජාතරූපාදිය පිළිගැනීමේ දී වස්තු ගණනට ඇවැත් වේ.
නිස්සග්ගියවත්ථුවක් නෑයකු හෝ දායකයකු ගෙනැවිත් මේවා ඔබ වහන්සේට පරිත්‍යාගකරමියයි සමීපයේ තැබුව හොත් ගනු කැමැත්ත ඇත ද කයින් හෝ වචනයෙන් හෝ ප්‍රතික්ෂේප කළ යුතුය. ඔහු දුන් දෙය නැවත නො ගනිමිය මේවා ඔබ වහන්සේට වේවා යි තබා ගිය හොත් ඒවා එසේ ම තිබෙන්නට හැරිය යුතු ය. ඉන්පසු අන් ගිහියකු පැමිණ “ස්වාමීනි, මේ කිමෙක් දැ”යි විචාළ හොත් කාරණය ඔහුට කිය යුතු ය. “ස්වාමීනි, මෙය පරෙස්සම් කළ යුතු ය. මෙය තැබීමට සුදුසු තැනක් දැක්වුව මැනව” යි ඔහු කියුව හොත් “මේ පරෙස්සම් වන තැනකැ” යි කාමරයක් හෝ අල්මාරියක් හෝ පෙට්ටියක් හෝ ඔහුට දැක්විය යුතු ය. “මෙහි තබන්න” ය යි නො කිය යුතු ය. දැක් වූ තැන ඔහු තැබූ කල්හි දොර වසා පරෙස්සම් කළ යුතු ය. එසේ කිරීමෙන් ඇවැත් නො වේ. ඒවා තමා විසින් නො ගත යුතු ය. අනිකකු ලවා නො ගැන්විය යුතු ය. අකප්පිය වස්තුවක් ඇති බව කැපකරුවකුට කීම සුදුසු ය. ඉදින් යම්කිසි කප්පිය භාණ්ඩයක් ගෙන වෙළෙන්දකු පැමිණ “ස්වාමීනි, මෙය ගන්නය”යි කියුවහොත් “උපාසකය, අපට මෙය වුවමනාය, මෙහි මුදලක් ද ඇත, එහෙත් අපට කප්පියකාරකයෙක් නැතය”යි කිය යුතු ය. ඉදින් වෙළෙන්දා “මම ම කැපකරුවා වෙමිය, ඇති තැන දැක්වුව මැනව”යි කියා නම් ඔහුට ඒවා දැක්විය යුතු ය. “ගනුවයි” නො කිය යුතු ය. ඔහු බඩුවට සෑහෙන මුදලක් ගෙන බඩුව භික්ෂුවට දෙන්නේ නම් එය පිළිගත යුතු ය. ඉදින් ඔහු බඩුවේ වටිනාකමට වැඩි මුදලක් ගන්නට තැත් කරන්නේ නම් මුදල් අඩු කරන්නට කථා නො කළ යුතු ය. “ඔබගේ භාණ්ඩය අපි නො ගනිමුය. ඔබ යන්නය”යි කිය යුතු ය. සැදැහැවතකු මුදලක් ගෙනවුත් මෙය චෛත්‍යයේ හෝ විහාරයේ වැඩට දෙමිය, ආරාමයේ ප්‍රතිසංස්කරණ වැඩට දෙමිය, නවකර්මාන්තයකට හෝ දෙමිය” කියා නම් එය ප්‍රතික්ෂේප නො කළ යුතු ය. “මොහු මෙසේ කියන්නේය”යි කැපකරුවන්ට කිය යුතු ය. නැතහොත් තමා නොපිලිගෙන ඒ කටයුත්ත සඳහා මුදල් භාරගන්නා තැනැත්තා ඔහුට කිය යුතු ය.
භික්ෂුවක් විසින් පිළිගත් නිස්සග්ගියවත්ථුව ගැන පිළිපැදිය යුත්තේ මෙසේ ය:- මුදලක් පිළිගත්තා වූ භික්ෂුව විසින් එය ගෙන සංඝයා වෙත ගොස් උත්තරාසංගය ඒකාංස කොට මහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ මුදල සංඝයා ඉදිරියේ තබා,
“අහං භන්තෙ රූපියං පටිග්ගහෙසිං, ඉදං මෙ නිස්සග්ගියං ඉමාහං සංඝස්ස නිස්සජාමි.”[2]
යි කියා නිස්සජනය කොට ඇවත දෙසිය යුතුය. ව්‍යක්ත භික්ෂුවක් විසින් ආපත්තිය පිළිගත යුතු ය. එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණියේ නම් “ඇවැත්නි, මෙය දෙනුව”යි ඔහුට කිය යුතු ය. ඉදින් ඔහු “මෙයින් කුමක් ගෙනෙන්නදැ”යි විචාළේ නම් “මේ දෙය ගෙනෙන්නය”යි නො කිය යුතු ය. “භික්ෂූන්ට මේ මේ දෙය කැපය”යි කිය යුතු ය. ඉදින් ඔහු ඒ මුදලින් තෙල් ගිතෙල් ආදි කැප දෙයක් ගෙන ආයේ නම් එය රූපියප්‍රතිග්‍රාහකයා හැර අන්‍ය භික්ෂූන් විසින් පරිභෝග කළ යුතු ය. රූපියප්‍රතිග්‍රාහකයා විසින් කොටසක් නො ගත යුතු ය. අනිකකු ලැබූ කොටසකින් යමක් ලද ද රූපියප්‍රතිග්‍රාහකයා නො පිළිගත යුතු ය. ඒ මුදලින් ලද තෙලින් දැල්වූ පහනෙහි එළිය පවා රූපියප්‍රතිග්‍රාහකයාට අකැප ය. එයින් රූපියප්‍රතිග්‍රාහකයා පොත් කියැවීම් ආදි ප්‍රයෝජනයක් නො ගත යුතු ය. ඒ මුදල්වලින් ළිඳක් පොකුණක් කැණවුව හොත් ඒවායේ උනන දිය රූපියප්‍රතිග්‍රාහකයාට අකැප ය. ඒ මුදලින් ඇඳක් පුටුවක් ගත ද එය රූපියප්‍රතිග්‍රාහකයාට අකැප ය. මුදල් නිස්සජනය කළ තැනට පැමිණි ගිහියා එයින් සංඝයාට ප්‍රයෝජනයක් ලබාදීමට නුවණ නැතියෙක් වේ නම් මේ අකප්පිය වස්තුව ගෙන ගොස් ඉවත ලන්නය යි ඔහුට කිය යුතුය. ඉවත නො ලා මුදල ඔහු ගෙන යේ නම් නො වැළැක්විය යුතු ය. ඔහු ඒ දෙකින් එකකුදු නො කොට මට මෙයින් කම් නැතැයි බැහැර වී නම් මුදල ඉවත ලීමට භික්ෂුවක් සංඝයා විසින් සම්මත කළ යුතු ය. එය කරන්නේ මෙසේ ය : මේ මුදල ඉවත් කරන්නය යි කලින් ඒ භික්ෂුවගෙන් ඉල්ලුම් කළ යුතු ය. ඉක්බිති මේ කර්මවාක්‍යය කියා සම්මත කළ යුතු ය.
“සුණාතු මෙ භන්තෙ, සංඝො. යදි සංඝස්ස පත්තකල්ලං සංඝො (ඉත්ථං නාමං) භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නෙය්‍ය, එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ, සංඝො. (ඉත්ථං නාමං) භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නති. යස්සායස්මතො ඛමති. (ඉත්ථන්නාමස්ස) භික්ඛුනො රූපියඡඩ්ඩකස්ස සම්මුති, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.
“සම්මතො සංඝෙන (ඉත්ථන්නාමො) භික්ඛු රූපියඡඩ්ඩකො, ඛමති සංඝස්ස තස්මා තුණ්හි. එවමෙතං ධාරයාමි.”[3]
සම්මුතිය ලත් භික්ෂුව විසින් ඒ මුදල ගෙන නැවත සොයා ගත නො හෙන පරිදි ගැඹුරු දියකට හෝ ප්‍රපාතයකට හෝ කැළෑවකට හෝ ඇස් පියා වීසි කළ යුතු ය.
“අනාපත්ති අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපති. යස්ස භවිස්සති සො හරිස්සතීති.”[4]
ආරාමය තුළ හෝ ගෙය තුළ හෝ තුබූ වස්තුවක් තමා ම ගෙන හෝ අනුන් ලවා ගන්වා හෝ “මෙය යමෙකුගේ නම් ඔහු ගෙන යන්නේය”යි තැන්පත් කොට තැබීමෙන් ඇවැත් නො වේ.