“යො පන භික්ඛු නානාප්පකාරං රූපියසංවොහාර සමාපජ්ජෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[1]
යම් මහණෙක් රන් රිදී මසු කහවණු හුවමාරු කෙරේ නම් නිසගි පචිති වේ.
ඉහත දැක්වූ රූපිය ශික්ෂාපදයෙන් රන් රිදී මසු කහවණු පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී. මේ සිකපදයෙන් ඒවා හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබේ. මේ සිකපදයේ රූපිය යන වචනයෙන් දැක්වෙන්නේ රූපියශික්ෂාපදයේ “ජාතරූපරජත” යනුවෙන් කියන ලද වස්තූන් ය. නිස්සග්ගියවත්ථු දුක්කටවත්ථු විභාගය රූපිය ශික්ෂාපද විස්තරයේ දක්වා ඇත. නිස්සග්ගිය වත්ථුවකට නිස්සග්ගිය වත්ථුවක් හෝ දුක්කටවත්ථුවක් හෝ කප්පිය වත්ථුවක් හෝ මාරුකර ගැනීමෙන් නිසගි පචිති වේ. දුක්කටවත්ථු කප්පියවත්ථුවකට නිස්සග්ගියවත්ථුවක් මාරු කර ගැනීමේන ද නිසගි පචිති වේ. දුක්කටවත්ථුවකට දුක්කටවත්ථුවක් හෝ කප්පියවත්ථුවක් මාරු කර ගැනීමෙන් ද කප්පියවත්ථුවකට දුක්කටවත්ථුවක් මාරු කර ගැනීමෙන් ද දුකුළා ඇවැත් වේ. මාරුකර ගන්නා ලද නිස්සග්ගියවත්ථුව ගැන රූපිය ශික්ෂාපදයෙහි කී පරිදි පිළිපැදිය යුතු ය. මාරු කර ගන්නා ලද නිස්සග්ගියවත්ථුව සංඝයා වෙත එළඹ -
“අහං භන්තෙ නානාප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජිං. ඉදං මෙ නිස්සග්ගියං ඉමාහං සංඝස්ස නිස්සජාමි.”[2]
මෙසේ කියා නිස්සජනය කළ යුතු ය. දුක්කටවත්ථුවක් ගත ඇවත දෙසා ගත යුතු ය.
මේ සිකපදයේ ගරුභාවය දැක්වීම සඳහා අටුවාවෙහි පාත්‍ර සතරක් දක්වා ඇත. ඒ මෙසේ ය:-
යමෙක් මුදල් පිළිගෙන ඒ මුදලින් යකඩ ගෙන ඒවායින් පාත්‍රයක් සාදවන ලද්දේ නම් එය මහා අකප්පිය පාත්‍රයක් වේ. එය නිස්සජනාදි කිසි ම විධියකින් නැවත කැප කළ නො හැකි ය. පාත්‍රය මකා තැටියක් කළ ද එය අකැප තැටියකි. පිහියක් කළ ද එය අකැප පිහියකි. එයින් කපාගත් දෙය ද අකැප ය. එයින් කළ කැත්තක් උදැල්ලක් ගිනියම් කර බෙහෙක් හෝ වතුර හෝ රත්කර ගත හොත් එය ද අකැප ය.
යමකු මුදල් පිළිගෙන ඒ මිලයෙන් පාත්‍රයක් ගත හොත් ඒ පාත්‍රය ද භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන සැමට ම අකැප ය. ඒ පාත්‍රයට දුන් මුදල, මුදල් හිමියාටත් පාත්‍රය, පාත්‍ර හිමියාටත් දුන හොත් ඉන්පසු භික්ෂුවක් කප්පිය භාණ්ඩයක් දී ඒ පාත්‍රය ගත හොත් කැපය යි කියා ඇත.
යමකු මුදල් පිළිගෙන කප්පියකාරකයකු හා කම්හලකට ගොස් මේ පාත්‍රය මට හොඳය යි කී කල්හි කැපකරුවා මුදල දී පාත්‍රය ලබා දුන හොත් එය කප්පිය ව්‍යවහාරයෙන් ලද දෙයක් වුව ද කලින් පිළිගත් මුදලට ලද වස්තුවක් වන බැවින් අකප්පිය වේ. ඒ පාත්‍රය මුදල් පිළිගත් භික්ෂුවට හැර අන්‍යයන්ට අකැප වන්නේ විනයානුකූලව නිස්සජනය නො කළ මුදලින් ගන්නා ලද බැවිනි. පිළිගත් මුදල නිස්සජනය කිරීමෙන් පසු කැප කරුවකු එයින් පාත්‍රයක් ගෙන ආයේ නම් එය මුදල් පිළිගත් භික්ෂුවට හැර සෙස්සන්ට කැප ය.
මේ මුදලින් පාත්‍රයක් මේ භික්ෂුවට ගෙන දෙන්න යයි කියා දායකයකු විසින් යවන ලද කප්පියකාරකයා හා භික්ෂුව වෙළෙඳසැලට ගොස් පාත්‍රයක් දැක මේ මුදල් ගෙන මේ පාත්‍රය දෙන්නය කියා පාත්‍රයක් ගත හොත් ඒ පාත්‍රය ඒ භික්ෂුවට අකැපය. අකැපවන්නේ මුදල් පිළිබඳ කථාවක් කළ බැවිනි. පිළිගත් මුදලකින් නො ගන්නා ලද්දක් නිසා එය අන්‍ය භික්ෂූන්ට කැපය. මේ අකප්පිය පාත්‍ර සතර ය.
දායකයකු විසින් මේ තෙරුන් වහන්සේට පාත්‍රයක් ගෙන දෙන්නය යි මුදල් දී යවන ලද කැපකරුවා හා භික්ෂුව වෙළඳසැලට ගොස් තමාට රුචි පාත්‍රය දැක්වූ කල්හි කප්පියකාරකයා මිල දී ඒ පාත්‍රය ගෙන දුන්නේ නම් එය සැමට ම කැප පාත්‍රයක් වේ.