ආදායම් මාර්ග වන කෙත්වතු ආදියත් මුදල්වලට සමාන ය. එබැවින් කෙත්වතු ආදිය පිළිගැනීම ද රන් රිදී මසු කහවණු පිළිගැනීමට මඳක් සමාන ය. එහෙත් ඒවා පිළිගත හොත් මෙනම් ඇවතක් ය යි කෙළින් ම පනවන ලද සිකපද විනයපාළියෙහි නො දක්නා ලැබේ. “ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති”[1] යන සූත්‍ර දේශනාව අනුව භික්ෂූන් ඒවා නො පිළිගත යුතුය යනු භාග්‍යවතුන් වහන්සේගේ අදහස බව පෙනේ. භාග්‍යවතුන් වහන්සේගේ අදහස තේරුම් ගැනීමට සමත් අර්ථකථාචාර්ය්යයන් වහන්සේලා විසින් පනවා ඇති සිකපද හා “ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති” යන සූත්‍ර දේශනාව ද අනුව කෙත්වතු ආදිය ද පිළිගැනීම පිළිබඳ ආපත්තානාපත්ති විභාග දක්වා ඇත්තේ ය. පුරාණ ලෝකයේ කැරුණු වැඩ අනුව දක්වා ඇති ඒ කරුණු තේරුම් ගැනීමට ද අපහසු ය. ඒ විනිශ්චය අනුව මෙකල පවත්නා වැඩ අනුව කෙත්වතු පිළිගැනීම සම්බන්ධයෙන් කිය යුතු කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ.
සංඝයාහට විසීම සඳහා විහාරභූමි වශයෙන් පූජා කරන ඉඩම් සංඝයාට කැප ය. පිළිගැනීමෙන් ඇවැත් නො වේ. ආදායම් මාර්ගයක් වශයෙන් පැවැත්විය හැකි කුඹුරක් හෝ ඉඩමක් හෝ වත්තක් හෝ සැදැහැවතකු මේ කුඹුර මේ ඉඩම සංඝයාට දෙමියි කියා නම් එය නොපිළිගත යුතු ය. පිළිගතහොත් පිළිගැනීමේදී ද එයින් ලැබෙන දෙය පරිභෝග කිරීමේදී ද දුකුළා ඇවැත් වේ.
මහාසංඝයා වහන්සේට සිවුපසය පිණිස මේ කුඹර මේ වත්ත මේ ඉඩම දෙමිය කියා හෝ මහාසංඝයා වහන්සේට සිව්පස පරිභෝගය පිණිස මේ කුඹුර වත්ත ඉඩම දෙමිය කියා හෝ මහාසංඝයා වහන්සේ මේ කුඹුරෙන් මේ වත්තෙන් මේ ඉඩමෙන් උපදනා සිවුපසය පරිභෝග කෙරෙත්වා කියා හෝ දුන හොත් පිළිගැනීම කැපය. එසේ දුන හොත් සංඝයා පිළිගන්නේ අකප්පිය වස්තුව වූ ඉඩම නොව සිවුපසය ය. එබැවින් ඇවැත් නො වේ. සිවුපසය පිළිගැනීමෙන් ඉඩම ද සංඝයාට හිමි වේ. එය ගිහියකුට ගත නො හැකිය. ඉඩම් පූජා කරනු රිසි සැදැහැවත්හු නිරවද්‍ය ලෙස එය කරන්නට විනයධරයන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය. විනයධරයන් විසින් සැදැහැවතුන්ට උපදෙස් දිය යුතුය.
-
දීඝනිකාය මුල් සූත්‍ර. ↑