වෙදකම යහපත් ක්‍රියාවෙකි. එහෙත් සැමට ම වෙදකම් කිරීම භික්ෂූන්ට නුසුදුසු ය. භික්ෂූන් සාමාන්‍ය ජනයාට වෙදකම් කිරීම කුලදූෂණයට අයත්ය. කුලදූෂණය යනු මිනිසුන්ගේ ශ්‍රද්ධාව නැති කොට ඔවුන් කිලිටි කිරීමය. නරක් කිරීමය. ගිහියන් විසින් භික්ෂූන්ට ගරු බුහුමන් කළ යුත්තේ පූජාසත්කාර කළ යුත්තේ පැවිද්දන්ගේ ශීලසමාධ්‍යාදි ගුණ සලකාගෙනය. එසේ පැවිද්දන්ට ගරු බුහුමන් කිරීම පූජාසත්කාර කිරීම මහත් වූ කුශලයෙකි. භික්ෂුවගේ ශීලාදි ගුණ සිහි කොට සිත පහදා ගැනීම් මාත්‍රය ද ප්‍රිය චක්ෂුසින් භික්ෂුවක් දෙස බැලීම ද සසර බොහෝ සැපසම්පත් ලැබීමට හේතු වන පිනක් බව දක්වා ඇත්තේය.
“සීලාදිගුණයුත්තස්ස හි කටච්ඡුහික්ඛා’පි පඤ්චරතනමත්තාය භූමියා පණ්ණසාලාපි කත්වා දින්නා අනේකානි කප්පසහස්සානි දුගති විනිපාතො රක්ඛති, පරියොසානෙ ච අමතාය ධාතුයා පරිනිබ්බාණස්ස ච පච්චයො හොති.”[1]
යනුවෙන් ශීලාදිගුණයෙන් යුක්ත භික්ෂුවකට බත් සැන්දක් හෝ පස්රියන් බිමක අතුපැලක් සාදා හෝ දුන්නේ නම් එය කල්ප දහස් ගණනක් දුර්ගතියට වැටෙන්නට නො දී ආරක්ෂා කොට කෙළවර නිර්වාණ ප්‍රතිලාභයටත් හේතු වන පිනක් වන බව දක්වා ඇත්තේ ය.
භික්ෂූන් ගිහියන්ට වෙදකම් කරත හොත් ඔවුන් භික්ෂූන්ට සලකන්නට වන්නේ ශීලාදිගුණ සලකාගෙන නොව වෙදකම සලකාගෙනය. එයින් ගිහියන්ට ලැබිය හැකිව තුබූ කුශලය නැති වන්නේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට වෙදකම් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ ය. වෙදකම් කිරීමෙන් භික්ෂුවකට යමක් ලැබෙනවා නම් එය කුලදූෂණයෙන් ලැබෙන දෙයකි. එය ඒ භික්ෂුවට පමණක් නො ව සියලු ම භික්ෂූන්ට අකැප ය.
“අසන්තසම්භාවනාය වා කුලදූසකකම්මෙන වා කුහනාදීහි වා උප්පන්නපච්චයා නෙව තස්ස න අඤ්ඤස්ස වට්ටන්ති.”[2]
නැති ගුණ පැවසීමය, කුලදූෂණ කර්මය ය, කුහනාදිය ය යන මේවායින් උපන් ප්‍රත්‍යය ඔහුටත් අන්‍යයන්ටත් අකැපය යනු එහි තේරුමය.
වෙදකම් කිරීමය යි කියනුයේ වෙදකු වශයෙන් ප්‍රසිද්ධියේ විශාල ලෙස වෙදකම් කිරීම ම නො වේ. හිසරදය ඇතය කියා ආවකුට හිස ගල්වා ගැනීමට තමාට ලැබී ඇති තෙල් ටිකක් දීම වුව ද, සෙම්ප්‍රතිශ්‍යාව සැදී ඇති කෙනකුට කොත්තමල්ලි ටිකක් තම්බා බොන්නය යි කීම වුව ද වෙදකම් කිරීමය. එපමණකින් ද භික්ෂුවට දුකුළා ඇවැත් වේ. භික්ෂූන් විසින් වෙදකම් කළ යුත්තෝ ද ඇත.
“ආගතාගතස්ස පරජනස්ස භෙසජ්ජං න කාතබ්බං, කරොන්තො දුක්කටං ආපජ්ජති. පඤ්චන්නං පන සහධම්මිකානං කාතබ්බං, භික්ඛුස්ස භික්ඛුණියා සාමණෙරස්ස සාමණෙරියා සික්ඛමානායාති. සමසීලසද්ධාපඤ්ඤානං හි එතෙසං තීසු සික්ඛාසු යුත්තානං භෙසජ්ජං අකාතුං න ලබ්භති.”[3]
ආ ආ අන්යජනයාට වෙදකම් නො කළ යුතුය. කරන්නේ දුකුළා ඇවතට පැමිණේ. භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන පස් සහදැමියන්ට බෙහෙත් කළ යුතුය. සමාන ශීල ශ්‍රද්ධා ප්‍රඥා ඇති ත්රිශික්ෂාවෙහි යෙදුණා වූ ඔවුනට බෙහෙත් නො කර සිටීමට නො ලැබේ. කළ යුතුම ය.
ඔවුනට බෙහෙත් කිරීමේදී ඔවුන් වෙත ද්‍රව්‍ය ඇත්තේ නම් ඒවා ගෙන බෙහෙත් පිළියෙළ කොට දිය යුතුය. නැත්තේ නම් තමා අයත් දෙය ගෙන බෙහෙත් කළ යුතුය. ඉදින් තමා වෙත ද නැත්තේ නම් පැවරූ අයගෙන් හෝ නෑයන්ගෙන් හෝ සොයා බෙහෙත් කළ යුතුය. එසේ ද නො ලද හොත් නො පැවරූ අයගෙන් වුව ද ඉල්ලා බෙහෙත් කළ යුතුය.
“අපරෙසම්පි පඤ්චන්නං කාතුං වට්ටති, මාතා පිතු තදුපට්ඨාකානං අත්තනො වෙය්යාවච්චකරස්ස පණ්ඩුපලාසස්සාති.”[4]
අන්‍ය වූ ද පස් දෙනෙකුන්ට බෙහෙත් කිරීම වටනේය. මවටය, පියාටය, ඔවුනට උපස්ථාන කරන්නවුන්ටය, තමාගේ වැඩ කරන්නාටය, පන්ඩුපලාසයාටය යන මොවුන්ටය.
පණ්ඩුපලාස යනු පැවිදිවීමේ බලාපොරොත්තුවෙන් පාසිවුරු පිළියෙල කෙරෙන තුරු විහාරයේ වෙසෙන තැනැත්තාය. ඉදින් මාපියෝ පොහොසත්හු වෙත් නම් භික්ෂුවගෙන් කිසිවක් බලාපොරොත්තු නො වෙත් නම් ඔවුනට බෙහෙත් නො කිරීමෙන් වරද නැත. මාපියෝ රජව සිටිනාහු ද ඉදින් පුත්‍ර භික්ෂුවගෙන් බෙහෙත් බලාපොරොත්තු වෙත් නම් ඔවුනට බෙහෙත් කළ යුතුය. බෙහෙත් යොදා ගන්නට නො දනිත් නම්, පිළියෙළ කරදිය යුතුය. පිළියෙළ කරදීමට බෙහෙත් ද්‍රව්‍ය මාපියන්ට නැත්තේ නම් සහදැමියන්ට කී පරිද්දෙන් බෙහෙත් සොයා ඔවුනට උපස්ථාන කළ යුතුය. ඉදින් මව විහාරයේ ම තබාගෙන ප්‍රතිකාර කරන්නේ නම් ඇගේ ශරීරය ස්පර්ශ නො කෙරෙමින් උපස්ථාන කළ යුතුය. පියාට වනාහි සාමණේරයකුට උපස්ථාන කරන්නාක් මෙන් සියතින් ම නෑවීම් ඇඟ පිරිමැදීම් ආදිය කරමින් උපස්ථාන කළ යුතුය. තමාගේ මාපියන්ට උපස්ථාන කරන අයකු ගිලන් වූයේ නම් ඔහුට මාපියන්ට සේ ම උපස්ථාන කළ යුතුය. වැටුප් ගෙන භික්ෂුවකගේ වැඩ කරන සේවකයකු ගිලන් වුව හොත් ඔහුගේ නෑයන් හමුවන තුරු ඔහුට බෙහෙත් කළ යුතුය. වැටුප් නො ගෙන භික්ෂූන් ඇසුරෙහි ම වෙසෙමින් භික්ෂූන්ට උපස්ථාන කරන්නකු ගිලන් වුව හොත් ඔහුට රෝගය සුව වන තුරු බෙහෙත් කළ යුතුය. උපස්ථාන කළ යුතුය. පණ්ඩුපලාසයාට වනාහි සාමණේර නමකට මෙන් උපස්ථාන කළ යුතුය. බෙහෙත් කළ යුතුය.
“අපරෙසම්පි දසන්නං කාතුං වට්ටති, ජෙට්ඨභාතු කණිට්ඨභාතු ජෙට්ඨභගිනියා කණිට්ඨ භගිනියා චූළමාතුයා මහාමාතුයා චූළපිතුනො මහා පිතුනො පිතුච්ඡාය මාතුලස්සාති.”[5]
අන්‍ය වූ ද දශදෙනකුන්ට බෙහෙත් කිරීම වටනේය. දෙටුසොහොයුරාටය, කනිටුසොහොයුරාටය, දෙටු සොහොයුරියටය, කනිටුසොහොයුරියටය, සුළුමවට ය, මහමවටය, සුළුපියාටය, මහපියාටය, පියාගේ සොහොයුරියටය. මවගේ සොහොයුරියටය යන මොවුන්ටය.
ඒ සැමදෙනට බෙහෙත් කිරීමේදී ඔවුන්ගේ ම බෙහෙත් ද්‍රව්‍ය ගෙන යොදා දිය යුතුය. ඉදින් ඔවුන්ගේ බෙහෙත් ද්‍රව්‍ය ප්‍රමාණ නො වී නම් නුඹ වහන්සේට නැවත සපයා දෙන්නෙමු යි භික්ෂුවගෙන් බෙහෙත් ඉල්ලත් නම් තාවකාලික වශයෙන් ඔවුනට බෙහෙත් දිය යුතුය. ඔවුන් නො ඉල්ලත් නම් අපගේ බෙහෙත් ඇත, ඒවා තාවකාලික වශයෙන් ගනිත්වා යි කියා ඔවුනට දිය හැකි වූ විටෙක දෙනු ඇතැයි සලකා දිය යුතුය. ඉදින් නො දෙන්නාහු නම් චෝදනා නො කළ යුතුය. සත්වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ගෙන් ප්‍රත්‍යය ගෙන්වා ගැනීමෙන් ද බෙහෙත් පිළියෙළ කර දීමෙන් ද ඇවැත් නො වේ. සහෝදරයාගේ භාර්‍ය්‍යාව හෝ නැගණියගේ සැමියා හෝ ගිලන් වී නම් ඔවුහු ද නෑයෝ වෙත් නම් ඔවුනට ද බෙහෙත් කළ හැකිය. ඉදින් නෑයෝ නො වෙත් නම් බෙහෙත් පිළියෙළ කොට සහෝදරයාට හා සහෝදරියට දිය යුතුය. භික්ෂුවගේ අතින් ඔවුනට නො දිය යුතුය. නුඹලාගේ මාපියන්ට දෙන්නය කියා ඔවුන් ගේ දරුවන්ට හෝ බෙහෙත් පිළියෙළ කරදිය යුතුය. තමාගේ නෑයන්ගේ ප්‍රයෝජනය සඳහා සාමණේරයන් ලවා බෙහෙත් පිළියෙළ කරවනවා නම් වනයෙන් හෝ බෙහෙත් ගෙන්වනවා නම් ඤාතිසාමණේරයන් ලවා කරවිය යුතුය. තමා පිණිස හෝ පිළියෙළ කරවා ගෙන්වා ඒ ඤාතීන්ට තමාගේ දෙයක් ලෙස දිය යුතුය. සාමණේරයන් විසින් ද ගුරුවරයාගේ වැඩක් ලෙස සලකා එය කළ යුතු ය.
උපාධ්‍යායයාගේ මව හෝ පියා ගිලන්ව විහාරයේ පැමිණියේ නම් ඒ අවස්ථාවෙහි උපාධ්‍යාචාර්‍ය්‍යවරයා විහාරයේ නැත්තේ නම් සද්ධිවිහාරිකයන් විසින් උපාධ්‍යායයාට අයත් බෙහෙත් ගෙන ඔවුනට දිය යුතුය. උපාධ්‍යායයාගේ බෙහෙත් නැත්තේ නම් තමන්ගේ බෙහෙත් උපාධ්‍යායයාට පරිත්‍යාග කොට උපාධ්‍යායයාගේ දෙයක් ලෙස ඔවුනට දිය යුතුය. තමන් වෙත ද බෙහෙත් නැත්තේ නම් ඉහත කී පරිදි බෙහෙත් සොයා උපාධ්‍යායයාට පරිත්‍යාග කොට උපාධ්‍යායයාගේ දෙයක් දෙන ලෙස ඔවුනට දිය යුතුය. ඉදින් සද්ධිවිහාරිකයා විහාරයේ නැති විටෙක ඔහුගේ මව හෝ පියා ගිලන්ව විහාරයට පැමිණියේ නම් උපාධ්‍යායයා විසින් ද එසේ පිළිපැදිය යුතුය.
“අඤ්ඤොපි යො ආගන්තුකො වා චොරො වා යුද්ධපරාජිතො ඉස්සරො වා ඤාතකෙහි පරිච්චත්තො කපණො වා ගමිය මනුස්සො වා ගිලානො හුත්වා විහාරං පවිසති අපච්චාසිංසන්තෙන භෙසජ්ජං කාතබ්බං.”[6]
අන්‍ය වූ ද ආගන්තුකයෙක් හෝ සොරෙක් හෝ යුද්ධපරාජිත අධිපතියෙක් හෝ නෑයන් විසින් හළ දිළිඳු මිනිසෙක් හෝ ගිලන්ව විහාරයට පැමිණියේ නම් ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නො වී හුදු කරුණාවෙන් ම බෙහෙත් කළ යුතුය.
භික්ෂූන්ට මාපියන් මෙන් ආදරයෙන් උවටැන් කරන සැදැහැවත් පවුලක කෙනකු ගිලන් වී විශ්වාසයෙන් බෙහෙත් කර දෙන ලෙස කීව ද බෙහෙත් නො කළ යුතුය. ඉදින් ඔවුහු භික්ෂූන්ගෙන් බෙහෙත් අසා ගැනීමට සුදුසු ක්‍රමය දැන අසවල් රෝගයට කිනම් බෙහෙත් දෙත්දැ යි විචාළ හොත් මේ මේ බෙහෙත් දෙතිය යි කිය යුතුය. “ස්වාමීනි, අපගේ මෑණියෝ ගිලන්ව සිටිති. බෙහෙත් කිව මැන” යි කියුව හොත් බෙහෙත් නො කිය යුතුය. එහෙත් උපායයෙන් බෙහෙත් කීම සුදුසුය. එය කරන්නේ මෙසේය: අසවල් භික්ෂුවට මේ රෝගය ඇති වූ කල්හි දුන්නේ කිනම් බෙහෙත් දැයි සමීපයේ සිටින භික්ෂුවකගෙන් විචාළ යුතුය. ඒ භික්ෂුව විසින් මේ මේ දෑ දුන්නයෙ යි කිය යුතුය. ඉදින් ඒ භික්ෂුව නො දනී නම් ඒ රෝගයට දුන් බෙහෙත් මේවාය යි තමා කිය යුතුය. එය අසා ගෙන ඒ තැනැත්තාට මවට බෙහෙත් කළ හැකියි. එසේ උපායයෙන් බෙහෙත් කීමෙන් වරද නො වේ. උපායයෙන් බෙහෙත් කීම සම්බන්ධයෙන් විනය අටුවාවෙහි දක්වා ඇති කථාවක් මෙසේ ය. වසභ රජුගේ දේවියට රෝගයක් විය. එකල්හි එක් ස්ත්‍රියක් මහාපදුම තෙරුන් වහන්සේ වෙත අවුත් රාජදේවියට පිළියම් විචාළ කල්හි ඇයට කෙළින් ම බෙහෙත් නො කියා බෙහෙත ගැන භික්ෂූන් හා සාකච්ඡා කළහ. එය අසා සිට දේවියට ඒ බෙහෙත් කළහ. ඒ බෙහෙත්වලින් රෝගය සුව වූ පසු දේවිය තුන්සිවුරු හා කහවණු තුන්සියක් ද සහිත බෙහෙත් පැසක් ගෙනවුත් තෙරුන්වහන්සේගේ පාමුල තබා “ස්වාමීනි, මල්පූජාවක් කළ මැනව” යි කීවාය. තෙරුන් වහන්සේ මෙය ආචාර්ය්යභාගය යි කප්පිය ක්‍රමයෙන් ගන්වා මල්පූජාවක් කළහ. මෙතෙකින් දක්වන ලද්දේ සමන්තපාසාදිකාවේ දක්වා ඇති බෙහෙත් කිරීම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ක්‍රමය ය.