“භික්ඛු පනෙච දුබ්බචජාතිකො හොති, උද්දෙසපරියාපන්නෙසු සික්ඛාපදෙසු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති, මා මං ආයස්මන්තො කිඤ්චි අවචුත්ථ කල්‍යාණං වා පාපකං වා, අහම්පායස්මන්තෙන කිඤ්චි වක්ඛාමි කල්‍යාණං වා පාපකං වා චිරමථායස්මන්තො මම වචනායාති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො, මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි, වචනීයමෙව ආයස්මා අත්තානං කරොතු, ආයස්මාපි භික්ඛු වදතු සහධම්මෙන, භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා, යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනාති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො භික්ඛු භික්ඛූහි යාවතතිං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය, යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය සංඝාදිසෙසො.”[1]
මහණෙක් වනාහි දුර්වචස්වභාව ඇත්තේ වේ ද, ප්රාතිමෝක්ෂසංඛ්යාත උද්දේසයට අයත් වූ ශික්ෂාපදයන්හි භික්ෂූන් විසින් ශික්ෂාපදයෙන් කියනු ලබන කල්හි “ආයුෂ්මත්නි, ඔබ වහන්සේලා යහපත් වූ හෝ අයහපත් වූ හෝ කිසිවක් මා හට නො කියව්. මම ද ආයුෂ්මතුන්ට යහපත් වූ හෝ අයහපත් වූ හෝ කිසිවක් නො කියමි. ආයුෂ්මත්නි, ඔබ වහන්සේලා මාහට කීමෙන් වළකිව්” ය යි තමා නො කිය යුත්තකු කෙරේ නම් ඒ මහණ අන්‍ය භික්ෂූන් විසින් “ඇවත, ඔබ තමා අන්‍ය භික්ෂූන් විසින් නො කිය යුත්තකු නො කරව, ආයුෂ්මතා තමා අන්‍ය භික්ෂූන් විසින් කිය යුත්තකු ම කෙරේවා, ආයුෂ්මතා ද භික්ෂූන්ට ශික්ෂාපදයෙන් කියාවා, භික්ෂූහු ද ආයුෂ්මතාට ශික්ෂාපදයෙන් කියන්නාහ, යම් ඒ ශික්ෂාපදයෙන් කීමෙන් ඇවැතින් නඟා සිටුවීමෙක් වේ ද විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිස දියුණුවට පත්වන්නාහ යි කිය යුත්තේය. ඒ මහණ එසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ද එසේ ම දැඩි කොට ගෙන සිටී න්ම ඒ අදහස අත හැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුතුය. තුන්වර දක්වා සමනුභාෂණය කිරීමෙන් ඒ අදහස හරී නම් එය යහපති. නො හරී නම් සංඝාදිසේසාපත්ති වේ.
මේ සිකපදය ඡන්න භික්ෂුව අරභයා පනවන ලද්දේය. ඡන්න භික්ෂුව ගිහි කාලයේ සිද්ධාර්ථ කුමාරයන්ගේ ඇමතියෙකි. සිද්ධාර්ථකුමාරයන් පැවිදිවීමට නික්ම ගියේ ද ඔහු සමඟය. එබැවින් පැවිදිවීමෙන් පසු ද ඡන්න භික්ෂුව උඩඟුව අන්‍ය භික්ෂූන් පහත් කොට සලකමින් සිටියේය. මේ සිකපදය පනවන්නට සිදු වූයේ ඒ නිසාය. මෙයින් සංඝාදිසේසාපත්ති වන්නේ සමනුභාෂණ කර්මය කළ හොත්ය. ඡන්න භික්ෂුවට සමනුභාෂණ කර්මය කළ බවක් සඳහන් වී නැත.
-
පාරා - 218 පි. ↑