“සුරාමෙරයපානෙ පාචිත්තියං.”[1]
රහමෙර පීමෙන් පචිති වේ.
පිට්ඨසුරාය පූවසුරාය ඔදනසරාය කිණ්ණපක්ඛිත්තසුරාය සම්භාරසංයුත්තසුරාය යි සුරා පස්වර්ගයෙකි. ධාන්‍යපිටි බඳුනෙහි ලා පමණට ජලය යොදා මැඩ සාදන සුරාව පිට්ඨසුරා නමි. පිටියෙන් තැනූ පාං ආප්ප පිට්ටු ආදි කෑමවර්ග බඳුනෙහි ලා පමණට ජලය බහා මැඩ සාදන සුරාව පූවසුරා නමි. බත් දියෙහි ලා සාදන සුරාව ඕදනසුරාව නමි. කිණ්ණපක්ඛිත්ත සුරා යනු සුරාබීජයන් බහා කරන සුරාවය යි ද, ධාන්‍යයන්ගේ අංකුරයන් ජලයෙහි ලා කර සුරාවය යි ද කියනු ලැබේ. නෙල්ලි අබ ආදි ද්‍රව්‍යයන් දියෙහි ලා කරන සුරාව සම්භාරසංයුත්ත සුරා නම් වේ. මෙසේ සුරා පස්වර්ගයක් විනය පාළියෙහි දක්වා ඇත්තේය.
පුප්ඵාසවය ඵලාසවය මධ්වාසවය ගුලාසවය සම්භාරසංයුත්තය යි මේරය වර්ග ද පසෙකි. පල් කරන ලද තල් පොල් ආදි මල්වල රසය පුප්ඵාසව නමි. පල් කරන ලද වැල වරකා ආදි ඵලවල රසය ඵලාසව නමි. පල් කළ මිදිරසය මධ්වාසව නමි. මී පැණියෙන් කරන පානය ද මධ්වාසවය යි කියනු ලැබේ. උක්පැණියෙන් කරන පානය ගුලාසව නමි. පල් කරන ලද නානා ද්‍රව්‍යයන්ගේ රසය සම්භාරසංයුත්ත නම් වේ.
පඤ්චප්‍රකාර සුරාය පඤ්චප්‍රකාර මේරයය යන මේ දශවර්ගය මත්කරන බැවින් මද්‍යය යි ද කියනු ලැබේ. සුරාවර්ගයක් හෝ මේරය වර්ගයක් හෝ තණපතක අගට එන පමණ වුව ද පානය කෙළේ නම් පචිති වේ. විනය පොත්වල දැක්වෙන්නේ අතීතයේ විසූ මිනිසුන් සාදා පාවිච්චි කළ මද්යවර්ගයන්ය. මෙකල අතීතයේ නො තුබූ නානාප්‍රකාර මද්‍යවර්ග ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් අකැපය යි වදාළ දෙයට සමාන යමක් ඇති නම් ඒවා ද අකැප බව වදාරා ඇති බැවින් මත්කරන ස්වභාවයෙන් ඉහත දැක් වූ සුරාමේරය දෙවර්ගයට සමාන කන බොන ජාති සියල්ල ම අකැපය. සුරා මේරයවලට අයත්ය. එබැවින් මත්කරන කිනම් පානයක් වුව ද කිනම් ද්‍රව්‍යයක් වුව ද කෑමෙන් බීමෙන් පචිති වන බව කිය යුතුය.
“සුරං වා මෙරයං වා බීජතො පට්ඨාය කුසග්ගෙන පිවතො පි පාචිත්තියං”[2] යනුවෙන් විනය අටුවාවෙහි සුරාව හෝ මේරය බීජයෙහි පටන් ම පානය කරන්නාහට පචිති ඇවැත් වේය යි දක්වා ඇත්තේය. බීජතොපට්ඨාය යන්න සාරත්ථදීපනීටීකාවෙහි තේරුම් කරන්නේ “සම්භාරෙ පටියාදෙත්වා වාටියං පක්ඛිත්තකාලතො තාලනාලිකෙරාදීනං පුප්ඵරසස්ස ගහිත අභිනවකාලතො යෙව පට්ඨාය”[3] කියාය. එහි විස්තර කරන සැටියට පොල් කිතුල් තෙලිදිය ද අකැපය. විමතිවිනෝදනී ටීකාවෙහි එය විස්තර කරන්නේ “බීජතො පට්ඨායාති යථාවුත්තානං පිට්ඨාදීනං මජ්ජත්ථාය භාජනෙ පක්ඛිත්තකාලතො පට්ඨාය”[4] කියාය. ගත් සැටියේ තෙලිදිය අකැප බවක් නො කියනු ලැබේ. විමතිවිනෝදනී මතයේ සැටියට තෙලිදිය අකැප බව කිය යුත්තේ ගසින් ගත් තෙලිදිය පැසවා මද්යභාවයට පැමිණවීම සඳහා රා පැසවන භාජනයට දැමූ තැන් පටන් ය. තෙලිදිය මේරයට ද බීජය වේ. පැණි සකුරුවලට ද බීජය වේ. මේරය සාදන භාජනයට දැමූ තෙලිදිය මේරයයේ බීජය ලෙසත්, පැණි හුණුකරන භාජනයට ලූ තෙලිදිය පැණිසකුරුවල බීජය ලෙසත් සැලකිය හැකිය. මත් නො කරන තෙලිදියවල, කප්පිය පානයන් වන අම්බපානාදිය හා සමාන බවක් මිස සුරාමේරයවලට සමාන කමක් නැත. එබැවින් තෙලිදිය අකප්පියවස්තුවකැයි කීමට යුක්තියක් නො පෙනේ. අමද්‍ය, මද්‍ය සංඥාවෙන් බීමෙන් දුකුළා ඇවැත් වේ.
“අනාපත්ති අමජ්ජඤ්ච හොති අමජ්ජවණ්ණං අමජ්ජගන්ධං අමජ්ජරසං තං පිවති, සූපසම්පාකෙ මංසසම්පාකෙ තෙලසම්පාකෙ ආමලකඵාණිතෙ අමජ්ජං අරිට්ඨං පිවති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.”[5]
මද්යවර්ණය නැති මද්‍යගන්ධය නැති මද්යරසය නැති අමද්යපානයක් පීමෙන් ද මඳක් මද්‍ය යෙදූ සූපය වැළඳීමෙන් ද මඳක් මද්‍ය යෙදූ මාංසව්යඤ්ජනය වැළඳීමෙන් ද මද්‍ය යොදා පිසූ තෙල් වැළඳීමෙන් ද නෙල්ලි පැණිය වැළඳීමෙන්ද මද්‍ය නොවන අරිෂ්ට වැළඳීමෙන් ද උම්මත්තකයාට ද ආදිකර්මිකයාට ද මේ සිකපදයෙන් ඇවැත් නොවන බව ඉහත කී පාඨයෙන් දැක් වේ. ආමලකඵාණිතය යනු ශුද්ධ වූ නෙල්ලි යුෂයෙන් කරන අරිෂ්ටයෙකි. එහි මද්‍ය වර්ණය ද මද්‍ය ගන්ධය ද මද්යරසය ද ඇත්තේය. එහෙත් එය මද්‍යයක් නො වන නිසා බීමෙන් ඇවැත් නො වේ.
මද්යවර්ණගන්ධරස ඇති ලෝණසෝවීරක නම් අරිෂ්ටයක් ගැන විනයෙහි සඳහන් වේ. එය අරළු බුළු නෙල්ලි කෂායෙහි සියලු ධාන්‍යයන් ද, මුං උඳු ආදි සියලු අපරණ්ණයන් ද, සප්තධාන්‍යයන්ගෙන් පිසූ බත් ද, කෙසෙල් ආදි සියලු ගෙඩිජාති ද, වේ. වැටකේ ඉඳි ආදි සියලු කළීරයන් ද, දිය ගොඩ මස් ද, මීපැණි ආදි පැණි ද, සවින්ධවාදි ලුණු ද, ඉඟුරු මිරිස් ආදි කටුක බෙහෙත් ද ලා සැළියේ මුව මැටි බැඳ වර්ෂ දෙක තුනක් පැසෙන්නට තබා සාදන බෙහෙතකැයි ද වාතකාශකුෂ්ඨපාණ්ඩුභගන්දරාදි රෝග වලට බෙහෙතකැයිද ආහාර පැසවීමට එතරම් හොඳ බෙහෙතක් නැතය යි ද සමන්තපාසාදිකාවේ කියා ඇත්තේ ය.
උදරයෙහි වාතාබාධයක් පැවති භික්ෂුවක් ලෝණසෝවීරකය පානය කොට රෝගය සුව කර ගත්තේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ගිලනුන්ට ලෝණසෝවීරකය පානය කිරීමටත් නො ගිලනුන්ට දිය හා මිශ්‍ර කොට පානයක් වශයෙන් කාලයෙහිත් විකාලයෙහිත් වැළඳීමටත් අනුදැන වදාළ සේක. ඒ අනුව සියලු ම අරිෂ්ටාසවයන් හා ස්වල්ප වශයෙන් අබිං ආදි මද්‍ය ද්‍රව්‍ය මිශ්‍ර බෙහෙත් ද කැප බව කිය යුතුය.