යමක කැප අකැප බව විනිශ්චය කිරීමට දුෂ්කර වී ඇති අවස්ථාවලදී ඒවා විනිශ්චය කර ගත හැකිවීමට තථාගතයන් වහන්සේ විසින් තබා ඇති උපදෙස් සතර මහාපදේස නම් වේ. ඒවාට මහාකාරණයෝය යි ද අටුවාවෙහි කියා ඇත්තේය. සූත්‍රපිටක විනයපිටක දෙක්හි ම මහාපදේස වදාරා ඇත්තේ ය. සූත්‍රපිටකයේ එන මහාපදේස සතර ධර්මවිනය දෙකට ම සාධාරණය. විනයෙහි එන මහාපදේස විනයට පමණෙකි. මෙය විනය ග්රන්ථයක් බැවින් මෙහි විනය මහාපදේස සතර දක්වනු ලැබේ.
- යං භික්ඛවෙ මයා ඉදං න කප්පතීති අපටික්ඛිත්තං, තං වෙ අකප්පියං අනුලොමෙති කප්පියං පටිබාහති, තං වො න කප්පති.
- යං භික්ඛවෙ මයා ඉදං න කප්පතීති අපටික්ඛිත්තං, තං වෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පති.
- යං භික්ඛවෙ මයා ඉදං කප්පතීති අනනුඤ්ඤාතං, තං වෙ අකප්පියං අනුලොමෙති, කප්පියං පටිබාහති, තං වො න කප්පති.
- යං භික්ඛවෙ මයා ඉදං කප්පතීති අනනුඤ්ඤාතං, තං වෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පති.[1]
මේ පාඨයේ තේරුම එහි යෙදී ඇති වචන අනුව කියතහොත් තේරුම් ගැනීම අපහසුය. එබැවින් එහි අදහස අන් වචනවලින් දක්වනු ලැබේ.
(1) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට අකැපය යි ප්‍රතික්ෂේප නො කරන ලද යම් කිසි දෙයක් අකප්පිය යි වදාළ දෙයකට සමාන වේ නම් කැපය යි වදාළ දෙයකට සම නො වේ නම් ඒ දෙයත් අකැපය යනු පළමුවන මහාපදේශය යි.
(2) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට අකැපය යි ප්‍රතික්ෂේප නො කළ යම්කිසිවක් ඉදින් කැපය යි වදාළ දෙයකට සම වේ නම් අකැපය යි වදාළ දෙයට නො සම වේ නම් එයත් කැප දෙයක යනු දෙවන මහාපදේසය ය.
(3) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට කැපය යි නො අනුදන්නා ලද්දක් ඉදින් අකප්පිය යි වදාළ දෙයට සමාන වේ නම් ඒ දෙය අකැපය යනු තුන්වන මහාපදේසය ය.
(4) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට කැපය යි නො අනුදක්නා ලද්දක් ඉදින් කැපය යි අනුදන්නා ලද දෙයට සමාන වේ නම් ඒ දෙය කැපය යනු සතරවන මහාපදේසය ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් “අනුජානාමි භික්ඛවෙ සබ්බං ඵලරසං ඨපෙත්වා ධඤ්ඤඵලරසං” යනුවෙන් ධාන්‍යඵලරසය හැර සකල ඵලයන්ගේ රසය විකාලයෙහි භික්ෂූන්ට පරිභෝග පිණිස අනුදැන වදාරන ලදි. ධාන්‍යඵලරසය හැර අන්යඵලරසයන් භාග්‍යවතුන් වහන්සේ විසින් අකැපය යි ප්‍රතික්ෂේප කර නැත. එහෙත් තල් පොල් කොස් දෙල් තියඹරා කොමඩු ලබඩු පුසුල් කැකිරි යන මේ ඵල නවය හා මුං උඳු ආදි අපරණ්ණයන් ද මහාපදේසය අනුව ධාන්‍යයන්ට සමාන බව අර්ථකථාචාර්යයන්ට පෙනිණ. ධාන්‍යයන්ට සමාන බව නම් ධාන්‍යවලින් සිදුකරන ආහාරකෘත්‍යය මහාඵලවලින් සිදුකරන බව හා ඒවා ජනයා විසින් ආහාරකෘත්‍යය සඳහා ම ගන්නා බවය. එබැවින් අර්ථකථාචාර්ය්යවරයෝ නව මහාඵලයන්ගේ රසය හා අපරණ්ණයන්ගේ රසයත් සප්තධාන්යරසයට අනුලෝම වූ අකප්පිය දේ ලෙස දැක්වූහ.
“අනුජානාමි භික්ඛවෙ අට්ඨපානානි” යි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට විකාලයේ පරිභෝගය පිණිස අම්බපානානි පාන අටක් අනුදැන වදාරන ලද්දේය. සියඹලා දෙහි දොඩම් නාරන් ආදි කුඩාඵලයන්ගේ රසය ද අනුදැන වදාළ අෂ්ටපානයට සම බව අර්ථකථාචාර්‍ය්‍යයෝ දුටහ. එබැවින් අෂ්ටපානයට අනුලෝම වශයෙන් සියඹලා දෙහි දොඩම් ආදි ඵලවලින් සාදන පානය ද විකාලයේ භික්ෂූන්ට කැපයයි මහාපදේශය අනුව දැක්වූහ.
“අනුජානාමි භික්ඛවෙ ඡ චීවරානි ඛොමං කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං භංගං” යි භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුරු ජාති සයක් අනුදැන වදාරන ලදී. ධර්මසංග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා මහාපදේසය අනුව පරීක්ෂා කරන්නාහු නො අනුදන්නා ලද දුකූලය, පත්තුණ්ණය, චීනපට්ටය, සෝමාරපට්ටය, ඉද්ධිමයිකය, දේවදත්තියය යන මේ චීවර සය ද අනුදත් ඛෝමාදි චීවරයන්ට සමාන බව දැක ඒවා ද අනුලෝම වශයෙන් කැප සිවුරු බව දැක්වූහ. මේ ක්‍රමයෙන් මහාපදේස සතර අනුව බලා ඒ ඒ දේවල කප්පියාකප්පිය භාවය සැලකිය යුතුය.
ප්රාතිමෝක්ෂසංවරශීලය, ඉන්ද්රියසංවරශීලය, ආජීවපාරිශුද්ධිශීලය, ප්රත්යයසන්නිශ්රිතශීලය යි ශීල සතරක් ඇත්තේ ය. මේ ග්රන්ථයෙහි මෙතෙකින් විස්තර කරන ලද්දේ ප්රාතිමෝක්ෂසංවර ශීලයය. ඉන්ද්රියසංවරශීලය හා ප්රත්යසන්නිශ්රිතශීලය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ශාසනාවතරණයේ[2] ඇත. එබැවින් මෙතැන් පටන් ආජීවපාරිශුද්ධිශීලය විස්තර කරනු ලැබේ.