සිකපද විස්තර කිරීමේ දී නොයෙක් තැන පණ්ඩකයන් සඳහන් වන නිසා මෙහි ඔවුන් ගැන හැඳින්වීමක්ද කළ යුතුය. පණ්ඩකයෝ නම් සෙස්සන්ට වඩා උත්සන්න කාමරාගය ඇති එයින් නිතර පෙළෙන දැවෙන පුද්ගල කොට්ඨාසයෙකි. ඔවුන් හැඳින ගැනීම අපහසු ය. බුද්ධකාලයේ පණ්ඩකයෙක් පැවිදිව භික්ෂූන් අතර විසුවේ ය. ඔහු තරුණ භික්ෂූන් කරා ගොස් තමා දූෂණය කරන්නය යි කීය. ඒ භික්ෂූහු ඔහුට ගර්හා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ස්ථුල සාමණේරයන් වෙත ගොස් දූෂණය කරන ලෙස කීය. සාමණේරයෝ ද ඔහුට නින්දා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ඇත්ගොව්වන් අස්ගොව්වන් වෙත ගොස් දූෂණය කරවා ගත්තේ ය. පණ්ඩකයා දූෂණය කළ ඇත්ගොව්වන් හා අස්ගොව්වන් “මේ ශ්‍රමණයෝ පණ්ඩකයෝ ය, ඔවුන් අතර සිටින පණ්ඩක නොවන්නෝ ද පණ්ඩකයන් දූෂණය කරන්නෝය”යි භික්ෂූන්ට ගර්හා කරන්නට වූහ. ඒ කරුණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පණ්ඩකයන් පැවිදි කිරීම හා උපසම්පදා කිරීම ප්‍රතික්ෂේප කර සිකපදයක් පැනවූ සේක. මේ මහා වග්ගපාළියෙහි[1] සඳහන් වන පුවතකි. පණ්ඩකයා දූෂණය කරවා ගත් ක්‍රමය ගැන විස්තරයක් විනය ග්‍රන්ථවල දක්වා නැත. සෙස්සන්ට වඩා කාමරාගයෙන් දැවෙන තැවෙන නිසා ම ඔවුහු පැවිද්දට නුසුදුස්සෝ ය.
ආසිත්තපණ්ඩකය උසූයපණ්ඩකය ඔපක්කමිකපණ්ඩකය පක්ඛපණ්ඩකය නපුංසකපණ්ඩකය යි පණ්ඩකයන් පස්දෙනකුන් විනය අටුවාවෙහි දක්වා ඇත. “ආසිත්ත පණ්ඩක” යනු මෛථුන සේවනයෙන් කාමපරිළාහය සන්සිඳවා ගත නොහෙන අන්‍යයන්ගේ පුරුෂ නිමිත්ත මුවින් උරා ශුක්‍රධාතුව ගැනීමෙන් කාමපරිළාහය සන්සිඳවා ගන්නා පුද්ගලයා ය. “උසූය පණ්ඩක” යනු තමාට මෛථුන සේවනයට සමත් කමක් නැති අනුන් මෛථුන සේවනය කරනු බලා එයින් කාමපරිළාහය සංසිඳවා ගන්නා පුද්ගලයා ය. “ඔපක්කමික පණ්ඩක” යනු උපක්‍රමයෙන් බීජයන් උපුටන ලද පුද්ගලයා ය. බීජොත්පාටනය කළ පසු ඔහුගේ පුරුෂ නිමිත්ත කර්මණ්‍ය නො වන බවත් රැවුල් ආදියත් ක්‍රමයෙන් නැති වන බවත් බීජයන් තිබිය දී පුරුෂ නිමිත්ත සිඳලීමෙන් පණ්ඩක නො වන බවත් කියති. “පණ්ඛ පණ්ඩක” යනු මාසයේ කාලපක්ෂ ශුක්ලපක්ෂ දෙකින් කාලපක්ෂයෙහි උමතු වන තරමට කාමරාගය උත්සන්න වී ශුක්ලපක්ෂයේ දී ඉබේ ම පන්සිඳී යන පුද්ගලයා ය. “නපුංසක පණ්ඩක” යනු උත්පත්තියෙන් ම ස්ත්‍රීභාවය හෝ පුරුෂභාවය නො පිහිටි පුද්ගලයා ය. නපුංසක පණ්ඩකයාට හැර ඉතිරි සතරදෙනාට පුරුෂභාවය ඇතය යි ද ස්ත්‍රීපක්ෂ පණ්ඩකයනුත් ඇතය යි ද කියති. මේවා අවිනිශ්චිත කරුණු ය.
-
මහා 212 පි. ↑