ලේකම්ගේ සටහන්

ශාසනයේ පැවැත්මට හේතු වන විනය පිටකය හා විශේෂයෙන් භික්ෂුත්වය හා භික්ෂු සමගිය ගොඩ නගන්නා වූ එහි ඇතුළත් ‘විනය කර්ම’ පිළිබඳව ඇති නොදැනුමට හේතු දක්වන පූජ්‍යපාද රේරුකානේ නාහිමියෝ මෙහි ප්‍රස්තාවනාවෙන් වැදගත් කරුණු කීපයක් අපේ අවධානයට ලක් කරති.

සමාජයීය හේතු නිසා භික්ෂු පරමාර්ථ වලින් සංඝයා වහන්සේ ඈත් වීමත්, ‘විනය කර්ම ඒකාධිකාර’ පිහිටුවීමත් මේ අතර වැදගත් වෙයි. සමකාලීන පඬි රුවනක් වූ පූජ්‍යපාද යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියෝ ද තම සඟිබණ ‘සමන්නේසනා, හා වනකතා යන කෘතීන් මගින් මේ පණිවුඩය දුන් බව අපි දනිමු.

භික්ෂුත්‍වය ආරක්ෂා කර ගනිමින් සංකීර්ණ සමාජයක කටයුතු කිරීම හා ගිහි-පැවිදි වෙනස ගැන තේරුම් ඇතිව ගිහි-පැවිදි සම්බන්ධය වර්ධනය කිරීම අද මහා සංඝ රත්නයෙන් ඉටුවිය යුතු අගනා කාර්ය භාරයකි. ගිහියන් විනය දැනුමින් පිරිහී සිටින නිසා නොබියව ප්‍රතිපදාව බිඳින හෝ විනය ප්‍රඥප්තිය, තමන්ම නොදැනීම නිසා එය බිඳින හෝ භික්ෂූන් වහන්සේ, අනිකුත් සමයයන් අතර බුදුසමය සිටිනා උත්තරීතර තත්ත්වය හුවා දක්වන්නට අසමත් වෙති. වෙනත් ආගමිකයන් තම අනුගාමිකයන් රඳවා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන ලාමක පිළිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් පහත වැටෙනවාට වඩා බෞද්ධ භික්ෂූන් වහන්සේට තම දායකයන් ඇද-බැඳ තබා ගන්නා, ශ්‍රද්ධාව මුවහත් කිරීමේ මඟ, විනය ප්‍රඥප්තිය නොපිරිහෙලා ක්‍රියාත්මක කිරීම බව බොහෝ දෙනා වහන්සේට නොවැටහීම අභාග්‍යයකි. බෞද්ධකම ගැන දැනුමත්, අභිමානයත් දායකයන් තුළ රඳවන්නට අසමත් උන්වහන්සේලා වෙනත් සමයයන් පිළිගන්නට තම දායකයන්ට මං පාදති.

මහා සංඝරත්නය රැකීම පිණිස යුතුකමක් වශයෙන් ගිහියා පුදන පරිෂ්කාරයන්හි ආගමික අගය ඉතිහාසය විසින් වෙනස් කර ඇති බවත්, ආනිසංසයන් පැරණි අගයෙන් දැක්විය නොහැකි බවත් බෞද්ධයන්ගේ විචාරයට ලක්ව ඇති බව පෙනේ. විද්‍යාව හා තාක්ෂණය පෙරමුණ ගත් නව අධ්‍යාපන රටාවෙන් ආගම ගැන ඉහළ තක්සේරුවෙන් සිතන තරුණ පිරිස අඩු කරයි. මේ නිසා නිතැතින් ගිහි මානසිකත්වය ආකර්ෂණය කර ගන්නා බුද්ධාඥාව රැකීම සඳහා භික්ෂු අධ්‍යාපනයේ විශේෂ තැනක් හිමිවිය යුතු බව වගකිව යුතු ගිහි - පැවිදි දෙපිරිසෙහි අවධානයට යොමු විය යුතුව ඇත.

තමන් ඇසුරු කරන භික්ෂූන් වහන්සේ නිසා, දායකයාගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තහවුරු වන අයුරු බුදුරජාණන් වහන්සේ නොයෙක් තන්හි දේශනා කර ඇත. එනිසා චිරාත් කාලයක් බුදු සසුන රැකීමෙන් ලෝකයාට සැලසෙන යහපත පවත්වා ගැනීම පිණිස වර්තමාන මහා සංඝරත්නය සැරියුත් මුගලන් පරම්පරාවට ඇති සම්බන්ධය තහවුරු කර ගැනීම පිණිස විනය පිටකය ගැන අවධානය යොමු කරත්වා.

මේ මුද්‍රණයේදීත් මීට පෙර පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්‍ද හිමිපාණන් සහ කුකුල්පනේ සුදස්සී හිමිපාණන් වහන්සේලා කියවූ සෝදුපත් සටහන් ප්‍රයෝජනවත් විය. කලින් මුද්‍රණයේ තිබූ සුළු අඩුපාඩු ද විනය කර්ම අත්පොතක් වූ මෙහි තිබීම නුසුදුසු බව සැලකූ ධම්මානන්‍ද හිමිපාණෝ එවැනි තැන් සොයා බලා නැවත සකස් කිරීමට දැඩි අවධානයක් යෙදවූහ. සංශෝධිත පරිගණක වර්ණ සංයෝජනයෙන් දායක වූයේ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතාය. සිකුරු මුද්‍රණාලයාධිපති ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මනා ලෙස මුද්‍රණ කටයුතු නිම විය. අප අරමුදල පවත්වන්නට උරදෙන සියලු සැදැහැවත්හු මේ පොතෙහි නොකඩවා පැවැත්මටද උපකාර වූහ. සියල්ලන්ට බුදු සසුනේ පැවැත්මට සම්බන්ධ වූහයි ලැබෙන සතුටු සිතින් සැනසීම වේවා.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි

ගරු ලේකම් ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය

2008 ඔක්තෝබර් 20 වන දින, පොකුණුවිටදී ය.