කඨිනය ඇතිරීම එක් භික්ෂුවක් විසින් කරන්නක් වුව ද අනුමෝදන් වන්නා වූ භික්ෂූන්ට ද එය අයත් වේ. එබැවින් පරිවාර පාළියෙහි “ද්වින්නං පුග්ගලානං අත්ථතං හොති කඨිනං, අත්ථාරකස්ස ච අනුමොදකස්ස ච” යනුවෙන් ‘අස්තාරකයා ය, අනුමෝදකයා ය යන දෙදෙනාට ම කඨිනය අතුරන ලද්දේ වේ’ ය යි වදාරන ලදි.
අත්ථාරක අනුමෝදක දෙපක්ෂයට ම අයත් වන්නාවූ ඒ කඨිනාස්තරණ කර්මය සන්සිඳී යන, එහි බලය නැති වී යන, කඨිනාස්තරණය අවලංගු වී යන කරුණු අටක් ඇත්තේ ය. කඨිනාස්තරණය අවලංගුවී යාමට ‘කඨිනුද්ධාරය’ යි ද ‘කඨිනුබ්භාරය’ යි ද කියනු ලැබේ. කඨිනුද්ධාරය වීමෙන් කඨිනාස්තරණයෙන් ලැබෙන පඤ්චානිසංසය ද නැති වන්නේ ය.
“අට්ඨිමා භික්ඛවෙ මාතිකා කඨිනස්ස උබ්භාරාය, පක්කමනන්තිකා, නිට්ඨානන්තිකා, සන්නිට්ඨානන්තිකා, නාසනන්තිකා, සවනන්තිකා, ආසාවච්ඡෙදිකා, සීමාතික්කන්තිකා, සහුබ්භාරාති”
යනුවෙන් මහාවග්ගපාළියෙහි කඨිනක්ඛන්ධකයෙහි කඨිනෝද්ධාරය පිළිබඳවූ මාතෘකා අටක් වදාරා තිබේ. කඨිනාස්තරණයට සුදුසු පුද්ගලයාගේ අඞ්ගවල ‘මාතිකං ජානාති’ යනුවෙන් දැක්වෙන්නේ ඒ මාතෘකා අට දැන ගැනීම ය. මාතෘකා මෙසේ දත යුතු ය.
1. පක්කමනන්තිකා.
යම් භික්ෂුවක් වැඩ නිමවූ තමාගේ සිවුර ගෙන, වස් විසූ ස්ථානයට නැවත නො එන බලාපොරොත්තුවෙන් ඒ ස්ථානයෙන් බැහැර ගියේ නම්, ඒ භික්ෂුවට උපචාර සීමාව ඉක්මවනු සමග ම කඨිනුද්ධාරය වේ. ඉන් පසු ඒ භික්ෂුව කඨිනය ඇතිරීම නිසා ලැබෙන පඤ්චානිසංසයට අහිමි වේ. මේ කඨිනෝද්ධාරය විහාරයෙන් පිටවී යාම අවසන් කොට ඇති බැවින් ‘පක්කමනන්තික’ නම් වේ.
2. නිට්ඨානන්තිකා.
වස්විසූ ස්ථානයේදී තමා ලත් වස්ත්ර ගෙන, අන් විහාරයකට ගිය භික්ෂුව වස්සාවාසික සීමාවෙන් බැහැරදී “මම නැවත වස් විසූ විහාරයට නොයමි” යි සිතා ගත හොත්, ඒ භික්ෂුවට කඨිනත්ථාරයේ බලය ඇත්තේ ගෙන ගිය වස්ත්රයෙන් සිවුර කොට නිමවන තුරු පමණි. සිවුරේ වැඩ නිමවෙනු සමග ඒ භික්ෂුවට කඨිනෝද්ධාරය වේ. මේ කඨිනෝද්ධාරය සිවුරේ වැඩ නිමවීම කෙළවර කොට ඇති බැවින් ‘නිට්ඨානන්තික’ නම් වේ.
3. සන්නිට්ඨානන්තිකා.
වස් විසූ තැනින් තමා ලත් වස්ත්රය ගෙන, විහාරයෙන් බැහැර ගිය පසු භික්ෂුව විසින් “මම වස් විසූ තැනට ද නැවත නොයමි ය. මේ චීවරය ද නොකරමිය” යි සිතා ගත හොත් එයින් ඒ භික්ෂුවට කඨිනෝද්ධාරය වේ. නිශ්චය කර ගැනීම කෙළවර කොට ඇති බැවින් ඒ කඨිනෝද්ධාරය ‘සන්නිට්ඨානන්තික’ නම් වේ.
4. නාසනන්තිකා.
වස් විසූ තැනදී ලත් සිවුරු පිළිාගෙන, බැහැර ගිය භික්ෂුව එහි දී “මම මෙහි ම මේ චීවරය කරමිය” නැවත වස්විසූ තැනට නොයමි ය’ යි සිතා ගෙන ඒ සිවුර කරන කල්හි චීවරය සොරු ගැනීමෙන් හෝ අන් ආකාරයකින් හෝ නැති වී නම්, එයින් ඒ භික්ෂුවට කඨිනෝද්ධාරය වේ. නැතිවීම කෙළවර කොට ඇති බැවින් ඒ කඨිනෝද්ධාරය ‘නාසනන්තික’ නම් වේ.
5. සවනන්තිකා.
අතුරන ලද කඨිනය ඇති භික්ෂුව තමා ලත් වස්ත්රය ගෙන, පසුව විහාරයට එන අදහසින් බැහැර යයි. එහිදී ඒ භික්ෂුවට ‘මෙහි ම මේ චීවරය කරමි’ යි සිතෙයි. භික්ෂුව එහිදීම සිවුර කරයි. සිවුරේ වැඩ අවසන් කර ගෙන ඉන්නා වූ ඒ භික්ෂුවට ‘විහාරස්ථ සඞ්ඝයා විසින් කඨිනය උදුරන ලදය’ යන ආරංචිය සැලවෙයි. එයින් ඒ භික්ෂුවට ද කඨිනෝද්ධාරය වේ. ඒ කඨිනෝද්ධාරය ආරංචිය ඇසීම කෙළවර කොට ඇති බැවින් ‘සවනන්තික’ නම් වේ.
6. ආසාවච්ඡෙදිකා.
අතුරන ලද කඨිනය ඇත්තා වූ භික්ෂුව වස් විසූ තැනදී සිවුරු නො ලැබ, සිවුරු ගැන බලාපොරොත්තුවෙන් බැහැර යයි. ඒ භික්ෂුවට වස් විසූ විහාරයෙන් බැහැරදී “මම වස් විසූ තැනට නැවත නොයමිය, මෙහිම හිඳ සිවුරු බලාපොරොත්තු වෙමිය’ යි සිතෙයි. ඒ භික්ෂුව එහි වෙසෙමින් සිවුරු බලාපොරොත්තු වන තැනට එළඹෙයි. ඉදින් බලාපොරොත්තු තැනින් සිවුරු නො ලැබී ඒ භික්ෂුවගේ බලාපොරොත්තුව සුන්වී නම්, එයින් ඒ භික්ෂුවට කඨිනෝද්ධාරය වේ. ඒ කඨිනෝද්ධාරය ආශාව සිඳීමෙන් වන නිසා ‘ආසාවච්ඡෙදික’ නමි.
7. සීමාතික්කන්තිකා.
අතුරන ලද කඨිනය ඇති භික්ෂු තෙමේ චීවර වස්ත්රය ගෙන, විහාරයට ආපසු එන බලාපොරොත්තුවෙන් බැහැර යයි. හේ එහිදී සිවුර කරයි. ‘සිවුරේ වැඩ ඉවරවූ පසු ඒ භික්ෂුව විහාරයට එමිය’ යන අදහස ඇතුව එහිම කඨිනෝද්ධාර කාලය අවසන් වන තෙක් වෙසෙයි. ඒ භික්ෂුවට කාලය ඉක්මීමෙන් කඨිනෝද්ධාරය වේ. ඒ කඨිනෝද්ධාරය චීවර කාලයාගේ අන්තිම දිනයවූ සීමාව ඉක්මීමෙන් වන නිසා ‘සීමාතික්කන්තික’ නම් වේ.
8. සහුබ්භාරා.
අතුරන ලද කඨිනය ඇත්තාවූ භික්ෂුව නැවත ඒ විහාරයට එන බලාපොරොත්තුවෙන් සිවුර ගෙන බැහැර යයි. හේ චීවරය කොට නිමවා නැවත එන බලාපොරොත්තුවෙන් එහිම කල් යවා, විහාරයේ භික්ෂූන් කඨිනය උදුරන අවස්ථාවෙහි නැවත විහාරයට පැමිණේ. ඒ භික්ෂුවට විහාරයේ භික්ෂූන්ට කඨිනෝද්ධාරය වනු සමගම කඨිනෝද්ධාරය වේ. ඒ කඨිනෝද්ධාරය විහාරයෙහි භික්ෂූන්ට වනු සමග ම වන බැවින් ‘සහුබ්භාර’ නම් වේ. කඨිනෝද්ධාරයන් පිළිබඳ විස්තරය කඨිනක්ඛන්ධයෙන් දත යුතු ය.