කඨිනානිසංසය

කඨිනය අතුළ භික්ෂූන්ට ඒ විනයකර්මය නිසා බුද්ධාඥාව පරිදි ලැබෙන අනුසස් පසක් ඇත්තේ ය. එයට ‘කඨිනානිසංසය’ යි කියනු ලැබේ. තවද කඨින චීවරය නිසා ලැබෙන චීවරාදි පරිෂ්කාරයන්ට ද කඨිනානිසංසය ය යි කියනු ලැබේ. කඨිනදායකයාට ඒ පිනෙන් ලැබෙන විපාකයට ද ඒ නම කියනු ලැබේ. කඨිනත්ථාරය කළ භික්ෂූන්ට බුද්ධාඥාව පරිදි ලැබෙන ආනිසංස පස, එ් පිනෙන් ලැබෙන ඵලයක් නො වන බව දත යුතු ය. භික්ෂුවට ලැබෙන ආනිසංස පඤ්චකය කඨිනක්ඛන්ධකයෙහි මෙසේ වදාරා තිබේ.

අත්ථතකඨිනානං වො භික්ඛවෙ! පඤ්චකප්පිස්සන්ති අනාමන්තවාරො, අසමාදානවාරො, ගණභෝජනං, යාවදත්ථචීවරං, යො ච තත්ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති.

මෙයින් කඨිනය අතුළ භික්ෂූන්ට ඒ හේතුවෙන් කරුණු පසක් කැප වන බව ප්‍රකාශිතය. ඒවා මෙසේ ය.:-

1. අනාමන්තචාරො.

“යො පන භික්ඛු නිමන්තිතො ස භත්තො සමානො සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්‍ය අඤ්ඤත්‍ර සමයා පාචිත්තියං තත්‍රායං සමයො චීවරදාන සමයො, චීවරකාරසමයො, අයං තත්ථ සමයො.”

මෙය ප්‍රාතිමෝක්ෂයේ අචේලක වග්ගයේ සවන ශික්ෂාපදය ය. මේ සිකපදයේ සැටියට විහාරයෙහි වෙසෙන භික්ෂුවකගෙන් නො විචාරා ගෙවල්වලට යාමෙන් වන ඇවත කඨිනය ඇතුළ භික්ෂූන්ට නොවේ. කඨිනය ඇතිරීමෙන් පසු නො විචාරා කුලවල හැසිරීමට නිදහස ලැබේ.

2. අසමාදානචාරො.

“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ. එකරත්තං’පි චෙ භික්කු තිචීවරෙන විප්පවසෙය්‍ය අඤ්ඤත්‍ර භික්ඛු සම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියං.”

මෙය ප්‍රාතිමෝක්ෂයේ නිසගි-පචිතිවල දෙවන සිකපදය ය. මේ සිකපදයේ සැටියට අධිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව, රාත්‍රිය ඉක්මවීමෙන් වන ඇවත කඨිනය අතුළ භික්ෂූන්ට නො වේ.

3. ගණභොජනං.

“ගණභොජනෙ අඤ්ඤත්‍ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො. ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො නාවාභිරූහනසමයො මහාසමයො සමණභත්තසමයො අයං තත්ථ සමයො.”

මේ ප්‍රාතිමෝක්ෂයේ භෝජන වග්ගයේ දෙවන සික-පදය ය. මේ සිකපදයේ සැටියට ගණභෝජනය වැළඳීමෙන් වන ඇවත කඨිනය අතුළ භික්ෂූන්ට නො වේ.

4. යාවදත්ත චීවරං.

“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං: තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං.”

මේ නිසගි-පචිතිවල පළමුවන සික පදය ය. මේ සිකපදයේ සැටියට දසදිනකට වඩා කල් අතිරේක චීවර තබාගැනීමෙන් වන ඇවත කඨිනය අතුළ භික්ෂූන්ට නොවේ.

5. යො ච තත්ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති.

කඨිනය අතුළ සීමාව තුළ මතකවස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පිදීමෙන් හෝ ඒ ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සඟ සතු සිවුරු උපනහොත් කඨිනානිසංස කාලය තුළදී, ඒ සියල්ල කඨිනය අතුළ භික්ෂූන්ට හිමි වේ. සාංඝික වශයෙන් ලැබෙන සිවුරු හැර, අන් වස්තු කඨිනත්ථාරයේ බලයෙන් හිමි නොවේ. ඒවා සැමට ම හිමි ය. මේ ආනිසංස පස ලැබීම කඨිනත්ථාරයෙන් භික්ෂූන්ට වන විශේෂ ප්‍රයෝජනය ය.