අපටිච්ඡන්න මානත

ගරුකාපත්තියකට පැමිණි භික්ෂුව විසින් එදින ම අන්‍ය භික්ෂුවකට ඒ බව ආරෝචනය කළ යුතු ය. රාත්‍රීකාලයේදී ඇවතට පැමිණියේ ද පසුදින අරුණු නැගීමට පෙර ඒ රාත්‍රියේදී ම අන්‍ය භික්ෂුවකට ආරෝචනය කළ යුතු ය. ආරෝචනය කිරීමට අන්තරායාදියක් නැතිව, එදින ම ආරෝචනය නො කෙළේ නම්, අතිරේක වශයෙන් දුකුළා ඇවතක් ද වේ. ආරෝචනය කරන භික්ෂුව විසින් එක් භික්ෂුවක් වෙත ගොස්, සිවුර ඒකාංස කොට පෙරවා, උක්කුටිකයෙන් හිඳ, ඇඳිලි බැඳ, “තුය්හං සන්තිකෙ එකං ආපත්තිං ආචිකරොමි” කියා හෝ “ආචික්ඛාමි” කියා හෝ “ආරොචෙමි” කියා හෝ “මම එකං ආපත්තිං ආපන්නභාවං ජානාහි” කියා හෝ ආරෝචනය කළ යුතුය. දැනට ඇවැත් දෙසීමේදී භාවිත කරන පරිදි “අහං භන්තෙ සබ්බාපත්තියො ආචිකරොමි” කියා හෝ ආරෝචනය කළ යුතු ය.

අරුණට පළමුව නැගිට තුනුරුවන් වැඳ දිනපතා ඇවැත් දෙසා ගන්නා භික්ෂූන්ට ආපත්ති පටිච්ඡන්නයක් නො වේ. අපටිච්ඡන්න ගරුකාපත්තිවලින් නැගී සිටීමට සදිනක් මානත් පුරා, අබ්භාන කර්මය කර ගත යුතු ය. ඇවැත් කොතෙක් ඇතත් සියල්ලේම ශුද්ධිය පිණිස එකවර ම මානත පිරිය හැකි ය. එය කරන කල්හි සීමාවකට සඞ්ඝයා රැස්කරවා මානත ලබා-ගෙන පිරිය යුතු ය. එය කළ යුත්තේ මෙසේ ය.

අප්පටිච්ඡන්න මානත ඉල්ලීමේ වාක්‍යය

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචාමි.

සීමාවේදී සඞ්ඝයා ඉදිරියේ ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ අඳිලි-බැඳ ඉහත කී වාක්‍යය තුන්වරක් කියා මානත ඉල්ලිය යුතු ය.

මානත දෙන කර්මවාක්‍යය.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි, අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි, අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති, (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! -පෙ- සො භාසෙය්‍ය.

දින්නං සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීෟණං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.”

නම යොදා කර්මවාක්‍යය කිය යුතු.

සඞ්ඝයාගෙන් මානත ලබා ගත් භික්ෂුව විසින් එතැනදී ම සඞ්ඝයා ඉදිරියේ දී මානත සමාදන් විය යුතු ය. මානත් සමාදන් වීමේ වාක්‍යය මෙසේ ය:-

“මානත්තං සමාදියාමි. වත්තං සමාදියාමි.”

සිවුර ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ, සඞ්ඝයාට වැඳ-ගෙන ඉහත කී වාක්‍යය තුන් වරක් කීමෙන් මානත්තසමාදානය සිදු වේ.

සමාදානයෙන් පසු සඞ්ඝයා හට මානත ආරෝචනය කළ යුතු ය. ආරෝචනය කිරීමේ වාක්‍යය මෙසේ ය:-

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි’. අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරාමි. වෙදයාමහං භන්තෙ! වෙදයතීති මං සඞ්ඝො ධාරෙතු.

මෙසේ තෙවරක් මානත සඞ්ඝයා හට ආරෝචනය කළ යුතු. එසේ එක්වරක් සඞ්ඝයාගෙන් සීමාවකදී මානත ලබාගත් භික්ෂුවට කැමති විටෙක එය නික්ෂේප කළ හැකිය. නැවත සඞ්ඝයාගෙන් නො ගෙන සමාදන් විය හැකිය. මානත හෝ පිරිවෙස හෝ සමාදන් වී පුරන කාලයේදී හමුවන සියලු ම භික්ෂූන්ට එය ආරෝචනය කළ යුතු ය. නො කළ හොත් රත්තිච්ඡේදය හා වත්තභේදයෙන් දුකුළා ඇවැතක් ද වේ. රත්තිච්ඡේදය යනු ඒ දවස නැතිවීම ය. මානත පුරන අතර දුර යන භික්ෂුවක් වුව ද දැක, ඒ භික්ෂුවට ආරෝචනය කර ගත නො හැකි වී නම්, ඒ දිනය අහෝසි වේ. ඒ දිනය වෙනුවට තවත් දිනයක් මානත පිරිය යුතු වේ. සැම තැනම සිට ගෙන වත්-මානත් පිරීම පහසු නො වන බැවින් සුදුසු තැනකට වී එය පුරන්නට පටන් ගන්නා තුරු මානත නික්ෂේප කළ යුතුය. මානතගත් සීමාවේදී ම සමාදන් වී සඞ්ඝයාට ආරෝචනය කොට-

“මානත්තං නික්ඛිපාමි. වත්තං නික්ඛිපාමි.”

යි තුන්වරක් කියා නික්ෂේප කරනු. ඉන්පසු නැවත සමාදන් වන තුරු ඒ භික්ෂුව ප්‍රකෘති භික්ෂුවකි. මානත පුරන භික්ෂුවක් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති පිරිය යුතු වන්නේ මානත සමාදන් වී ඉන්නා කාලයේදී ය.

මානත පිරූ පමණින් ශුද්ධිය නො ලැබේ. ශුද්ධිය ලැබීමට සදිනක් මානත පුරා නැවත අබ්භාන කර්මය කළ යුතු ය. අබ්භාන කර්මයක් කිරීමට විසි නමකට නො අඩු භික්ෂූන් පිරිසක් සීමාවකට රැස් කර ගත යුතු ය. එය වහා කර ගත හැකි කාර්යයක් නො වන බැවින් දින සම්පූර්ණවූ පසු මානත නික්ෂේප කොට වාසය කළ යුතුය. අබ්භාන කර්මයට සුදුසු වන්නේ මානත සමාදන් වී සිටින භික්ෂුව ය. එබැවින් සඞ්ඝයා රැස් කරගෙන අබ්භාන කර්මයට සැරසෙන කල්හි, ඒ සීමා මාලකයේදී නැවතත් මානත සමාදන් වී සඞ්ඝයාට ආරෝචනය කොට, ඊට පසු මතු දැක්වෙන වාක්‍යයෙන් අබ්භාන කර්මය කරන ලෙස සඞ්ඝයාගෙන් ඉල්ලිය යුතු ය.

අබ්භාන යාචන වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං අදාසි. සො’හං භන්තෙ චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමි.

මෙසේ තුන්වරක් කියනු.

අබ්භාන කර්ම වාක්‍යය.

“සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපපත්තියො ආපජ්ජි, අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො (තිස්සං) භික්ඛුං අබ්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං අප්පටිච්ඡන්නානං ජාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො තිස්සං භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- භාසෙය්‍ය.

අබ්භිතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි”

ආපත්ති පටිච්ඡාදනය

ගරුකාපත්තියට පැමිණි තැනැත්තා එදින ම ඒ බව අන්‍ය භික්ෂුවකට ආරෝචනය කළ යුතු ය. එසේ ආරෝචනය නො කොට යම් පමණ දින ගණනක් ඇවත සඟවා ගෙන විසුවේ වේ නම්, භික්ෂුව විසින් මානත් පිරීමට පෙරාතුව ඒ දින ගණනට පිරිවෙස් පිරිය යුතු ය. පිරිවෙස් නුපුරා මානත පමණක් පුරා අබ්භානය කෙළේ ද පටිච්ඡන්නාපත්තීන් පිළිබඳ ශුද්ධිය නො වේ.

“ආපත්ති ච හොති ආපත්තිසඤ්ඤී ච. පකතත්තො ච හොති පකතත්තසඤ්ඤී ච, අන්තරායිකො ච හොති අන්තරායිකසඤ්ඤී ච, පහු ච හොති පහුසඤ්ඤී ච, ඡාදෙතුකාමො ච හොති ජාදෙති ච”

යනුවෙන් දශාකාරයකින් ආපත්ති පටිච්ඡාදනය දක්වා තිබේ. ගරුකාපත්තියක් වී ගරුකාපත්තියක් විය යන හැඟීම ඇතුව එදින ම භික්ෂුව ආරෝචනය නො කිරීමෙන් ආපත්තිය පටිච්ඡාදනය කෙළේ වේ. ආපත්තියට පැමිණියේ ද ඒ බව නො දැන ආරෝචනය නො කිරීමෙන් පටිච්ඡාදනය කෙළේ නො වේ. ගරුකාපත්තිය ලහුකාපත්තියකැයි සිතා ආරෝචනය නො කළේ ද පටිච්ඡන්න නො වේ. ගරුකාපත්තියකට පැමිණ තමා පැමිණි ඇවත ගරුකාපත්තියක් ද ලහුකාපත්තියක් දැයි නො දැන ඇවත සැඟවීමේ අදහසින් ආරෝචනය නො කෙළේ ද පටිච්ඡන්න වේ.

සඞ්ඝයා විසින් උක්ෂේපනීය කර්මය කොට බැහැර නො කරන ලද ප්‍රකෘති භික්ෂුවක්ව, තමා ප්‍රකෘති භික්ෂුවක යන හැඟීම ඇතිව ඇවත ආරෝචනය නො කෙළේ නම් පටිච්ඡන්න වේ. ‘මා හට සඞ්ඝයා විසින් උක්ෂේපනීය කර්මය කර ඇත. මම ප්‍රකෘති භික්ෂුවක් නො වෙමි ය’යි සිතා ආරෝචනය නො කිරීමෙන් ඇවත පටිච්ඡන්න නො වේ. ප්‍රකෘති භික්ෂුවක් නො වී ප්‍රකෘති භික්ෂුවක් වෙමිය යන හැඟීම ඇතිව ආරෝචනය නො කෙළේ ද ඇවත පටිච්ඡන්න නො වේ.

භික්ෂුවක් වෙත ගොස් ආපත්තිය ආරෝචනයට බාධා වන දශවැදෑරුම් අන්තරායන් අතුරෙන් එකකුදු නැතිව අන්තරායක් නැතය යන හැඟීම ද ඇතිව ආරෝචනය නො කිරීමෙන් ඇවත පටිච්ඡන්න වේ. අන්තරාය දශයය යනු රාජාන්තරායය, චෝරාන්තරායය, අග්‍යන්තරායය, උදකාන්තරායය, මනුස්සාන්තරායය, අමනුස්සාන්තරාය ය, වාළාන්තරායය, සිරිංසපාන්තරායය, ජීවිතාන්තරාය ය, බ්‍රහ්මචරියාන්තරායය යනු මොහු ය. තමා වෙසෙන තැන සිට ආරෝචනය කළ යුතු භික්ෂුව වෙසෙන තැනට යන අතරමග අන්තරායයන් ඇති කල්හි, ගොස් ආරෝචනය නො කළේ ද ආපත්තිය පටිච්ඡන්න නො වේ.

නැවත ආරෝචනය කරනු සඳහා භික්ෂුවක් කරා යා හැකි ශක්තිය තිබියදී, ඒ බව දැන, ගොස් ආරෝචනය නො කිරීමෙන් ආපත්තිය සඟවන ලද්දේ වේ. යා හැකි ශක්තිය නැති කමින් ආරෝචනය නො කිරීමෙන් ඇවත පටිච්ඡන්න නො වේ. යා හැකි ශක්තිය ඇත ද අල්පාබාධයක් නිසා යා නො හැකිය යන හැඟීමෙන් ආරෝචනය නො කෙළේ ද පටිච්ඡන්න නො වේ.

ආපත්තිය සඟවන අදහස ඇතිව ආරෝචනය නො කෙළේ නම්, ආපත්තිය පටිච්ඡාදනය කෙළේ වේ. සඟවන අදහස කලින් ඇති වී පසුව එය වෙනස් වී ඇරුණට පළමු ආරෝචනය කරන ලදුයේ නම්, පටිච්ඡාදනය කෙළේ නො වේ. භික්ෂූන් නැති තැනකදී ඇවැතට පැමිණ ආරෝචනය කිරීමට භික්ෂුවකගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්නා තැනැත්තාට දින ගත වූයේ ද ඇවත පටිච්ඡන්න නො වේ. ආරෝචනය කිරීම සඳහා සභාග භික්ෂුවක් වෙත යන්නහුට දින බොහෝ ගත වූයේ ද ඇවත පටිච්ඡන්න නොවේ. ඇවත ආරෝචනය කිරීමට භික්‍ෂුවක් බලාපොරොත්තු වන තැනැත්තාට, පළමු හමුවන භික්ෂුව තමාගේ ආචාර්යවරයාය-උපාධ්‍යාචාර්යවරයාය යි ලජ්ජාවෙන් ආරෝචනය නො කළේ ද ආපත්ති පටිච්ඡාදනය කෙළේ වේ. ආරෝචනය කළ කල්හි තැන තැන කියා අවමන් කරන සතුරු පුද්ගලයන්ට ආරෝචනය නො කෙළේ ද, ආපත්ති පටිච්ඡාදනය කෙළේ නො වේ.

“ආපත්තිනුක්ඛිත්තමනන්තරාය

පහුත්තතායො තථා සඤ්ඤිතා ච.

ජාදෙතුකාමො අථ ජාදනාති

ජන්නා දසඞ්ගෙහරුණුග්ගමම්හි.”

ගරුකාපත්තියක් වීමය, උක්ෂේපනීය කර්මය නො කරන ලද භික්ෂුවක් වීමය, අන්තරායක් නැති බවය, භික්ෂුවක් කරා යා හැකි ශක්තිය ඇති බවය, ඒ හැඟීම් සතර ඇති බවය, ඇවත සඟවනු කැමති බවය, සැඟවීමය යන අඞ්ග දශයෙන් පසුදින අරුණු නැගීමේදී ඇවත සඟවන ලද්දේ වේය යනු එහි තේරුම යි.