කප්පිය භූමි සම්මුතිය

න භික්ඛවෙ! අන්තො වුත්‍ථං අන්තො පක්කං සාමං පක්කං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස. මේ මහාවග්ගපාළියේ භේසජ්ජක්ඛන්ධකයේ එන විනය නීතියෙකි. එහි “අන්තො වුත්‍ථ” යනු භික්ෂූන්ට අයත් වූ සාඞ්ඝික වූ හෝ පෞද්ගලික වූ හෝ සහසෙය්‍යාපත්තිය සිදුවීමට ප්‍රමාණ වන, ගෙයක් තුළ රාත්‍රියක් තැබූ භික්ෂූන්ට ම අයත් වන, සහල් ආදි ආහාරෝපකරණයෝ ය. ඒවා වැළඳීමෙන් භික්‍ෂුවට දුකුළා ඇවැත් වේ. “අන්තොපකක” යනු භික්‍ෂූන් අයත් ගෙයක පිසන ලද ආහාරය ය. එය වැළඳීමෙන් ද භික්ෂුවට දුකුළා ඇවැත් වේ. ඒ විනය නීතිය ඇත ද විහාරයෙහි සහල් ආදිය තබා ගැනීමෙන් වැළකීමෙන් හා විහාරයෙහි ආහාර පිසවා ගැනීමෙන් වැළකීමෙන් ද, භික්ෂූන් වහන්සේට කරදර ඇති වන අවස්ථා ද ඇත්තේ ය. එබඳු අවස්ථාවක් පැමිණියහොත් ඇවතින් මිදී, විහාරයෙහි ආහාර ද්‍රව්‍ය තබා ගැනීමත්, පිස ගැනීමත්, කරගත හැකිවනු පිණිස තථාගතයන් වහන්සේ විසින් කප්පිය භූමි සම්මුතිය අනුදැන වදාරන ලදි.

කප්පිය භූමිය සම්මත කරන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඉත්‍ථන්නාමං) විහාරං කප්පියභූමිං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (ඉත්‍ථන්නාමං) විහාරං කප්පියභූමං සම්මන්නති. යස්සායස්මතො ඛමති (ඉත්‍ථන්නාමස්ස) විහාරස්ස කප්පිය භූමියා සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (ඉත්‍ථන්නාමො) විහාරො කප්පියභූමි. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

සඞ්ඝාරාමයක ඇති ආවාසවලින් කවරක් වුව ද මෙසේ කප්පිය කුටිය සැටියට සම්මත කර ගත හැකිය. ඉන්පසු එහි තබාගන්නා ලද ආහාරද්‍රව්‍ය වැළඳීමෙන් ඇවැත් නො වේ. එහි පිසූ ආහාර වැළඳීමෙන් ද ඇවැත් නො වේ.

“අනුජානාමි භික්ඛවෙ චතස්සො කප්පියභූමියො උස්සාවනන්තිකං, ගොනිසාදිකං, ගහපතිං, සම්මුතිං” යනුවෙන් උස්සාවනන්තික කුටියය, ගෝනිසාදික කුටියය, ගහපති කුටියය, සම්මුති කුටියය යි කප්පිය කුටි සතරක් තථාගතයන් වහන්සේ අනුදැන වදාරා තිබේ.

එයින් ‘උස්සාවනන්තික කප්පිය කුටිය’ ගෙය තැනීමේදී ම භික්ෂූන් එකතුව කප්පිය කුටියක් වශයෙන් කරන ලද ගෙය ය. ‘උස්සාවනන්තික කුටිය’ කිරීම ද එක්තරා විනය කර්මයෙකි. එය කරන්නේ මෙසේ ය:- කුටිය කණු සිටුවා කරන්නක් නම්, පළමුවන කණුව සිටවීමේදී භික්ෂූන් එකතුව “කප්පියකුටිං කරොම, කප්පියකුටිං කරොම” යි කියමින් කණුව සිටවිය යුතු ය. මිනිසුන් ලවා ඔසවා කණුව සිටවන්නේ නම් භික්ෂූන් ද එයට අත ගසා “කප්පිය කුටිං කරොම, කප්පිය කුටිං කරොම” යි කිය යුතු ය. කණුව සිටුවා ඉවර වීමත් “කප්පිය කුටිං කරොම” යනු කියා ඉවර වීමත් එකවර සිදුවිය යුතු ය. පෙර පසු වුව හොත් කුටිය කප්පිය කුටියක් නොවේ. භික්ෂූන් බොහෝ දෙනකුන් එක්ව එය කළ යුත්තේ කවරකුගේ හෝ කීම කණුව සිටුවා අවසන්වීම හා එකවර අවසන් වීමෙන් කප්පිය කුටි කරණය සිදුවීම පිණිස ය. ගලින් හෝ මැටියෙන් හෝ බිත්ති තනා කරන කුටියක් නම්, පොළොවෙන් මතු වී සිටින පළමුවන ගල හෝ පළමු වන මැටි පිඩ “කප්පිය කුටිං කරොම, කප්පිය කුටිං කරොම” යි කියමින් තැබිය යුතු ය.

“ගෝනිසාදිකා කප්පිය භූමිය” යනු ගවයන්ට ඇතුළු විය නො හෙන පරිදි වැට ආදියක් නැති ආරාම භූමිය ය. එවැනි භූමියක පිහිටි පරික්ෂේපයක් ඇත්තා වූ ගෙවල් ද ගෝනිසාදික කප්පිය කුටීහු ම වෙති.

‘ගහපති කප්පිය කුටිය’ යනු අනුපසම්පන්නයන් විසින් කප්පිය කුටියක් වශයෙන් දෙන ලද්දා වූ හෝ අනුපසම්පන්නයන් අයත් වූ හෝ ගෙය ය.

‘සම්මුති කප්පිය කුටිය’ යනු ඉහත කී පරිදි ඤත්තිදුතිය කම්මවාචාවෙන් සඞ්ඝයා විසින් සම්මත කරන ලද ගෙය ය. මේ කුටි සතරෙන් කවර වුව ද තබන ලද්දා වූ ද, පිසින ලද්දා වූ ද, දෙය වැළඳීමෙන් ඇවැත් නො වේ.