පත්තගාහාපක සම්මුතිය.

පත්තගාහාපක සම්මුති දෙකකි. ඉන් එකක් සඞ්ඝයාට ලැබී ඇති පාත්‍ර බෙදා දීම සඳහා කරන සම්මුතියකි. එය චූලවග්ගපාළියේ සේනාසනක්ඛන්ධකයෙහි දැක්වේ. අනික “යො පන භික්ඛු ඌනපඤ්චබන්ධනෙන පත්තෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං” යන සිකපදයේ හැටියට පස් තැනක් පිළියම් නො කළ පාත්‍රයක් ඇතිව සිට අනුන්ගෙන් අලුත් පාත්‍රයක් ඉල්ලා ගැනීමෙන් ඇවැතට පැමිණි භික්ෂුව විසින් සඞ්ඝයා හට නිසදන ලද පාත්‍රය භික්ෂූන්ට ගැන්වීමට හෙවත් දීමට කරන සම්මුතියකි. එය පාරාජිකා පාළියේ වදාරා තිබේ. දෙක්හිම කර්ම වාක්‍යවල වෙනසක් නැත්තේ ය.

කර්මවාක්‍ය මෙසේ ය:-

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සො) භික්ඛුං පත්තගාහාපකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං පත්තගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො පත්තගාහාපකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු පත්තගාහාපකො, ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

පස් තැනක් පිළියම් නො කළ පාත්‍රයක් ඇතිව සිට අලුත් පාත්‍රය ඉල්ලා ගත් භික්ෂුව විසින් සඞ්ඝයා වෙත එළඹ, සිවුර ඒකාංස කොට පෙරවා, වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ, ඇඳිලි බැඳ:

“අයං මෙ භන්තෙ! පත්තො ඌන පඤ්චබන්ධනෙන පත්තෙන චෙතාපිතො නිස්සග්ගියො. ඉමා’හං සඞ්ඝස්ස නිස්සජාමි” යි පාත්‍රය සඞ්ඝයාට නිස්සර්ජනය කොට ඇවැත දෙසා ගත යුතු ය. මේ කර්මයට සඞ්ඝයා රැස්විය යුත්තේ පාත්‍රය ද ඇතිව ය. නිස්සර්ජනය කළ පාත්‍රය භික්ෂූන්ට ගැන්වීමට ඉහත කී කර්ම වාක්‍යයෙන් භික්ෂුවක් සම්මත කළ යුතු ය. සම්මුතිය ලැබූ භික්ෂුව ඒ පාත්‍රය ගෙන එහි ඇති ගුණ කියා සඞ්ඝස්ථවිරයන් වහන්සේට එය පිළිගැන්විය යුතු ය. ඒ පාත්‍රය තමන්ගේ පාත්‍රයට වඩා හොඳ නම්, සඞ්ඝස්ථවිරයන් වහන්සේ ඒ පාත්‍රය පිළිගෙන උන්වහන්සේගේ පාත්‍රය සම්මුතිය ලත් භික්ෂුවට දිය යුතු ය. පාත්‍රයේ පළමු අයිතිකාර භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් එය නො පිළිගතහොත් සඞ්ඝ ස්ථවිරයන්ට දුකුළා ඇවැත් වේ. පාත්‍රය නරක නිසා නො පිළිගත්තාට ඇවැත් නො වේ. සඞ්ඝස්ථවිරයන් ඒ පාත්‍රය පිළිගතහොත් සඞ්ඝස්ථවිරයන්ගේ ඒ පාත්‍රය දෙවන තෙරුන් වහන්සේට පිළිගැන්විය යුතු ය. මෙසේ සියලු ම භික්ෂූන්ට පාත්‍රය දී අන්තිමට ඉතිරිවන සියල්ලටම ලාමක පාත්‍රය, පාත්‍ර විඥාපනය කළ භික්ෂුවට දියයුතුය.