භණ්ඩුකර්ම

සියල්ල දැන වදාළා වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දුක්-ගිනි වලින් දැවෙමින් සසර සැරිසරණ අසරණ සත්ත්වයන් දුකින් මුදා, මොක් පුරයට පමුණුවනු වස් පිහිටුවා වදාළ, මේ නෛර්යාණික ශාසන වරයට නිවන් පසක් කරනු කැමැති සැදැහැවත් කුලපුත්‍රයන් පැවිදි කිරීම් වශයෙන් ඇතුළු කිරීමේදී, භික්ෂූන් වහන්සේ විසින් කරන්නට සිදු වන පළමු වන විනය කර්මය ‘භණ්ඩුකර්ම’ නම් වේ. එය ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයන්ගේ හිසකේ කැපීම පිළිබඳ විනය කර්මයෙකි.

බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන සමයෙහි, එක් කුලදරුවෙක් මා-පියන් හා කලහ කර-ගෙන ගෙයින් පලා ගොස්, සඞ්ඝාරාමයකට පැමිණ, එහිදී එක් තෙරුන් වහන්සේ කෙනකුගෙන් පැවිද්ද ලබා ගත්තේය. එය අප්‍රසිද්ධ වශයෙන් සිදු වූවකි. බොහෝ භික්ෂූහු ඒ බව නො දත්හ. පැවිදි වූ දරුවාගේ මා-පියෝ ඔහු සොයා ඇවිදිනාහු ඒ ආරාමයට පැමිණ, හමුවූ භික්ෂූන් වහන්සේලාගෙන් “ස්වාමීනි! නුඹ වහන්සේලා මෙබඳු දරුවකු දුටු සේක් ද, මෙබඳු දරුවකු ආගිය තැනක් දන්නා සේක්දැ”යි ඇසූහ. ඒ භික්ෂූන් ඒ දරුවා නුදුටු නිසාම “අපි නුදුටුම්හ” යි ද, නො දන්නා නිසාම ඒ දරුවා ගැන “අපි නො දනුම්හ”යි ද කීහ.

දරුවාගේ මා-පිය දෙදෙනා එපමණකින් සෑහීමට පත් නොවී තැනින් තැන ඇවිද සොයන්නා හු, පැවිදිව හුන් දරුවා දැක, භික්ෂූන් කෙරෙහි කිපී “මේ භික්ෂූහු දුටු දේ නුදුටුම්හ” යිද, “දත් දෙය නො දතුම්හ”යි ද බොරු කියන්නෝ ය, බොරු කියන්නාවූ මේ භික්ෂූහු ‘අලජ්ජීහුය, දුශ්ශීලයෝ ය’ යනාදීන් භික්ෂූන්ට ගර්හා කළහ. භික්ෂූහු ඒ කාරණය තථාගතයන් වහන්සේට සැල කළෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මතු එවැන්නක් සිදු නොවනු පිණිස-

“අනුජානාමි භික්ඛවෙ! සඞ්ඝං අපලොකතුං භණ්ඩුකම්මාය” යි භණ්ඩුකර්මය අනුදැන වදාළ-සේක.

එය කළ යුත්තේ දෑඟුලකට වඩා දික්වූ ඉස-කේ ඇතියකුගේ කෙස්, භික්ෂුවක් විසින් හෝ භික්ෂුවකගේ නියමයෙන් හෝ කපන කල්හි ය. එය කළ යුත්තේ මෙසේ ය:- ආරාමය තුළ වෙසෙන සියලු භික්ෂූන් රැස්කොට පැවිද්ද ලබන තැනැත්තා සඞ්ඝයා ඉදිරියට පමුණුවා, ගුරුවරයා විසින් හෝ අනික් භික්ෂුවක් විසින් හෝ සඞ්ඝයා ඉදිරියෙහි-

“සඞ්ඝං භන්තෙ! ඉමස්ස දාරකස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි” යන මේ වාක්‍යය තෙවරක් හෝ දෙවරක් හෝ එක්වරක් හෝ කීමෙනි. භණ්ඩුකර්මය සඳහා “ඉමස්ස දාරකස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි” කියා හෝ “ඉමස්ස සමණ කරණං ආපුච්ඡාමි” කියා හෝ “අයං සමණො හොතු කාමො” කියා හෝ කීම ද වටනේ ය.

භික්ෂූන් වහන්සේලා එක් රැස් නො කරවා ඒ ඒ භික්ෂූන් වහන්සේ වෙසෙන තැන්වලට ගොස් භණ්ඩුකර්මය විචාරන්නට වටනේ ය. පැවිදි කරන ගුරුවරයාම භික්ෂූන් වහන්සේ වෙත නොගොස් අනිකකු යවා භික්ෂූන් ගෙන් විචාරන්නට ද වටනේ ය. සියලු භික්ෂූන් එක් රැස් කරවීමට හෝ වෙන වෙන ම ගොස් ආරෝචනය කිරීමට හෝ අපහසු වන තරමට භික්ෂූන් බහුල අවස්ථාවක ඒ කර්මය කරන්නට සිදුවී ඇතහොත්, බද්ධසීමාවකට හෝ උදකෝක්ෂේප සීමාවකට හෝ ගොස්, එහි රැස්වූ භික්ෂූන් හමුවෙහි ඒ කර්මය කළ යුතු ය.

පැවිදිවන්නකගේ හිස-කේ කැපීම සැලකිය යුතු කරුණෙකි. පැවිදිවන තැනැත්තා පින් ඇති, ගුණ නුවණ ඇති, මතු බුදුසස්නට විශේෂයෙන් ප්‍රයෝජනවිය හැකි පුද්ගලයකු වේ නම්, එබඳු පුද්ගලයන් ගැන ගුරුවරුන් විසින් විශේෂයෙන් සැලකිය යුතු ය. එබඳු පුද්ගලයකු පැවිදි කිරීමේදී හිස-කේ කපවා ගෙන නා පිරිසිදු වී එන්නය කියා ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා පිටත් කර නො යවා, භණ්ඩුකර්මයෙන් පසු ගුරුවරයාම ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා ජලස්ථානයට කැඳවා ගෙන ගොස්, හිස-කේ කපා දීම හොඳම ක්‍රමය ය.

පැවිදි වන අවස්ථාව කුලපුත්‍රයකු ගේ සිත ඉතා ප්‍රසන්න අවස්ථාවෙකි. ඒ නිසා ඒ අවස්ථාවේදී කියා දෙන දෙය ඔහුගේ සිතට තදින් කා වැදෙන්නේ ය. හිස මුඩු කරන අවස්ථාව පැවිදි වන්නහුට ‘තචපඤ්චක කමටහණ’ කියාදීමට ඉතාම හොඳ අවස්ථාව ය. නුවණැති ගුරුවරුන් විසින් මේ අවස්ථාවෙහි කියාදුන් තචපඤ්චක කර්මස්ථානය මෙනෙහි කොට, එය අනුව සිත යවා, නාම-රූප ව්‍යවස්ථාව කරගෙන සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍රය දැක, සිවුසස් අවබෝධ කර-ගෙන උපනිශ්‍රය සම්පත්තිය ඇත්තාවූ ඇතැම් කුල පුත්‍රයෝ, හිස-කේ කපද්දීම මඟඵල පිළිවෙලින් අර්හත්වයට පැමිණ. සව්කෙලෙසුන් නසා නිවන් දකිති. එසේ හිස-කේ කැපීමේදී රහත් වූ පුද්ගලයන් ගැන අපේ පොත-පතෙහි නොයෙක් තැන්වල සඳහන් වී ඇත්තේ ය.

එකෙණෙහිම රහත් වීමට තරම් හේතු සම්පත්තිය නැති කුල පුත්‍රයන්ට ද ඒ මොහොතේදී කියා දෙන දෙය තදින් සිතට වැදෙන බැවින් බොහෝ ප්‍රයෝජන වන්නේ ය. ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයාට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන වනු පිණිස, ගුරුවරයා විසින් තචපඤ්චක කර්මස්ථානය කියා දෙමින් පැවිදිවන්නහුගේ හිස බෑම කළ යුතු ය. ගුරුවරයාට හිස-කේ කැපිය නො හැකි වීමෙන් එය අනිකකු ලවා කරවත හොත්, ගුරුවරයා විසින් සමීපයෙහි සිට, ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයාට තචපඤ්චක කමටහන කියා දිය යුතු ය. එසේ කරවීමට ගුරුවරයා විසින් අන්‍ය භික්ෂුවක් හෝ යෙදවිය යුතු ය. එය කිරීමේදී පළමුවෙන් කපන හිස-කේ රොද ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයාගේ අතේ තබා, එය හොඳින් බලා, එහි සැටි සිතට ගන්නා ලෙස පැවිදි වන තැනැත්තාට කියා, ඉක්බිති කමටහන කියා දිය යුතු ය. එය කියා දිය යුත්තේ මෙසේ ය.