පැවිදි කිරීමට නුසුදුස්සෝ

‘පැවිදි කරනු ලැබුවාහු ද පැවිද්ද නො පිහිටන, සර්වාකාරයෙන් පැවිද්දට අභව්‍ය පුද්ගලයෝ ය, පැවිදි කරනු ලැබුව හොත් පැවිද්ද පිහිටන-පැවිදි බවට නො හොබනා බැවින් පැවිද්ද තහනම් කර ඇති පුද්ගලයෝ ය’යි පැවිද්දට නුසුදුසු පුද්ගලයෝ දෙකොටසකි. නුසුදුස්සන් පැවිදි බවට පත් කිරීමෙන් ගුරුවරයාට දුකුළා ඇවැත් වේ.

පැවිද්දට අභව්‍ය පුද්ගලයෝ එකොළොස් දෙන.

  1. පණ්ඩකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  2. උභතොබ්‍යඤ්ජනකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  3. ථෙය්‍යසංවාසකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  4. තිත්ථියපක්කන්තො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  5. තිරච්ඡානගතො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  6. මාතුඝාතකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  7. පිතුඝාතකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  8. අරහන්තඝාතකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  9. ලොහිතුප්පාදකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  10. සඞ්ඝභෙදකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.
  11. භික්ඛුනීදූසකො භික්ඛවෙ! අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො.

මේ විනය ප්‍රඥප්ති එකොළොසෙහි දැක්වෙන පණ්ඩකය, උභතොබ්‍යඤ්ජනකය, ථෙය්‍යසංවාසකය, තිත්ථියපක්කන්තකය, තිරච්ඡානගතය, මාතුඝාතකය, පිතුඝාතකය, අරහන්තඝාතකය, ලොහිතුප්පාදකය, සඞ්ඝභෙදකය, භික්ඛුනීදූසකය යන පුද්ගලයෝ එකොළොස් දෙන පැවිද්දටත් උපසම්පදාවටත් අභව්‍යයෝ ය. පැවිදි කරනු ලැබුවාහු ද ඔවුනට පැවිද්ද නො පිහිටන්නේ ය. උපසම්පදා කරනු ලැබුවාහුද උපසම්පදාව නො පිහිටන්නේ ය.

‘පණ්ඩක’ යනු ලිඞ්ගවිකලත්වය ඇති පුද්ගලයෝ ය. ‘ආසිත්තපණ්ඩකය, උසූයපණ්ඩකය, ඔපක්කමිකපණ්ඩකය, පක්ඛපණ්ඩකය, නපුංසකපණ්ඩකය’ යි පණ්ඩකයෝ පස් දෙනෙකි. අනුන්ගේ අඞ්ගජාතය මුවින් ගෙන අසුචිය උරා ගැනීමෙන් කාම පරිළාහය සන්සිඳවා ගන්නා තැනැත්තා ආසිත්තපණ්ඩක නමි. අනුන්ගේ මෛථුන සේවනය බලා සිට එයින් කාම පරිළාහය සන්සිඳවා ගන්නා තැනැත්තා උසූයපණ්ඩක නමි. සුනඛගවාදීන්ට කරන්නාක් මෙන් බීජොත්පාටනය කරන ලද තැනැත්තා ඔපක්කමික පණ්ඩක නමි. අකුශල කර්මබලයෙන් මාසයේ අවපක්ෂයෙහි දී පණ්ඩක බවට පැමිණෙන තැනැත්තා පක්ඛ පණ්ඩක නමි. උත්පත්තියෙන්ම ස්ත්‍රී පුරුෂ ලිඞ්ගයන් නැති තැනැත්තා නපුංසක පණ්ඩක නමි. මේ පණ්ඩකයන් පස්දෙනා අතුරෙන් ආසිත්ත උසූය පණ්ඩකයන් දෙදෙනාට ප්‍රව්‍රජ්‍යාව අනිවාරිත ය. ඉතිරි තිදෙනා පැවිද්දට නො නිස්සෝ ය. එයිනුදු පක්ෂපණ්ඩකයාට පැවිද්ද නිවාරිත වන්නේ පණ්ඩකව වෙසෙන පක්ෂයේදී ය. ඒ පක්ෂයේදී හේ කාම පරිළාහයෙන් උමතු වේ. ආසිත්ත උසූය පණ්ඩකයන් දෙදෙනාට ඇති වන කාම පරිළාහය යෝනිසෝමනසිකාරාදියෙන් සන්සිඳවා ගත හැකි ය. පක්ඛ පණ්ඩකයාගේ කාම පරිළාහය එසේ නො සන්සිඳ විය හැකි ය. ඒ කාලයේ ඔහු පැවිද්දට නුසුදුසු වන්නේ එහෙයිනි.

‘උභතො බ්‍යඤ්ජනක’ යනු ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම පිිහිටා ඇති පුද්ගලයා ය. ‘ස්ත්‍රී උභතො බ්‍යඤ්ජනකය, පුරුෂ උභතොබ්‍යඤ්ජනකය ය’යි උභතො බ්‍යඤ්ජනකයෝ දෙදෙනෙකි. ඔවුන්ගෙන් ස්ත්‍රී උභතො බ්‍යඤ්ජනකයා ගැබ් ගැනීමට හා ස්ත්‍රීන්ට ගැබ් ගැන්වීමට ද සමත් වේ. පුරුෂ උභතො බ්‍යඤ්ජනකයා ස්ත්‍රීන්ට ගැබ් ගන්වන නමුත් තෙමේ ගැබ් නො ගනී. කාමරතියේදී ස්ත්‍රී පුරුෂ කෘත්‍ය දෙකම සිදු කිරීමට දෙදෙනා ම සමත් වෙති.

‘ලිඞ්ගත්‍ථෙනක ය, සංවාසත්‍ථෙනක ය, උභයත්‍ථෙනක ය’ යි ථෙය්‍ය සංවාසකයෝ තිදෙනෙකි. ගුරුවරයකු ගෙන් පැවිද්ද නො ලබා, තෙමේ ම සිවුරු හැඳ පොරොවා ගෙන, භික්ෂු වස් ගණනක් නොපවසන්නා වූ, වැඩිමහළු පිළිවෙලින් වන්දනාව නො ඉවසන්නා වූ, අසුන් ගැනීමෙන් අන් භික්ෂුවකට බාධා නො කරන්නා වූ, විනය කර්මවලට සහභාගී නො වන්නා වූ ශ්‍රමණ වේශය පමණක් සොරෙන් ගෙන සිටින තැනැත්තා ලිඞ්ගත්‍ථෙනක නම් වේ. භික්ෂූන් අතින් සාමණේර පැවිද්ද පමණක් ලබා විදේශයකට ගොස්, ‘මම මෙ පමණ වස් ඇතියෙක්මි’ යි බොරු වස් ගණන් කියන්නා වූ ද, වැඩිමහළු පිළිවෙලින් භික්ෂූන්ගෙන් වැඳුම් පිළිගන්නා වූ ද, අසුන් ගැනීමෙන් භික්‍ෂූන්ට බාධා කරන්නා වූ ද, විනය කර්මවලට පෙනී සිටින්නා වූ ද තැනැත්තා සංවාසය පමණක් සොරෙන් කරන බැවින් සංවාසත්‍ථෙනක නමි. තමා ම සිවුරු පොරවා ගෙන විහාරයට ගොස් වස් ගණන් කියන්නා වූ ද, භික්ෂූන් ගේ වැඳුම් ඉවසන්නා වූ ද, අසුන් ගැනීමෙන් භික්ෂූන්ට බාධා කරන්නා වූ ද, විනය කර්මවලට සහභාගී වන්නා වූ ද, තැනැත්තා උභයත්‍ථෙනක නමි. ථෙය්‍යසංවාසකයන් පිළිබඳ දීර්ඝ විස්තරයක් සමන්තපාසාදිකාවෙහි ඇත්තේ ය. එය බලාගත යුතු ය.

‘තිත්ථිය පක්කන්තක’ යනු බුදු-සස්නෙහි පැවිදිව භික්ෂුවක්ව සිට පසුව තීර්ථක ප්‍රව්‍රජ්‍යාව හා ඔවුන් ගේ ලබ්ධිය ද ගත් තැනැත්තා ය.

තිරච්ඡානගතය’ යන මෙයින් අදහස් කරන්නේ තිරිසනුන් පමණක් නොව, මනුෂ්‍ය ජාතියට අයත් නො වූ නාග-සුපර්ණ-දේව-බ්‍රහ්මාදි සියල්ලන් ය. ප්‍රව්‍රජ්‍යාව මනුෂ්‍යයන්ට පමණක් හිමි දෙයකි.

‘මාතුඝාතකයාය’ යනු ආනන්තර්ය කර්මයන්ට අයත් මාතෘඝාත කර්මය කළ තැනැත්තා ය. ඒ කර්මය සිදුවන්නේ මනුෂ්‍ය ජාතියට අයත් දරුවකු විසින් මනුෂ්‍ය ජාතියට ම අයත් වූ මවකගේ ජීවිතය ඕනෑකමින් ම නැසීමෙනි.

පිතුඝාතකයා’ ගැන කිය යුත්තේ ද එසේ ම ය. මරනු ලබන තැනැත්තා තමාගේ පියා බව නො දැන වුවද මැරීමෙන් ආනන්තර්ය කර්මය සිදුවේ. විස්තර සමන්තපාසාදිකාවෙන් බලා ගත යුතු. ‘බෞද්ධයාගේ අත්පොතෙහි’ ද ඒ කර්ම ගැන විස්තරයක් ඇත්තේ ය.

අරහන්තඝාතකයා’ ද මනුෂ්‍ය රහතුන්ගේ වශයෙන්ම කිය යුතු ය. පැවිදි වූ හෝ නො වූ හෝ මනුෂ්‍ය ජාතික රහත් කෙනකුගේ ජීවිතය මනුෂ්‍යයකු විසින්ම ඕනෑකමින් නැසුව හොත් ආනන්තර්ය කර්මය වේ. ඔහුට ප්‍රව්‍රජ්‍යාව නො ලැබිය හැකි ය. මනුෂ්‍ය නො වන රහත් කෙනකු මැරුව හොත් බරපතල පවක් පමණක් වේ. ආනන්තර්ය කර්මයක් නොවේ. තිරිසනෙක් මනුෂ්‍ය ජාතික රහතන් වහන්සේ කෙනකුගේ ජීවිතය නැසුවේ ද ආනන්තර්ය කර්මය සිදු නො වේ. බරපතල පාපයක් පමණක් වේ.

ලොහිතුප්පාදකයාය’ යනු දේවදත්ත මෙන් නපුරු සිතින් ජීවමාන බුදුවරයකුගේ ශරීරයෙන් එක් බිංදුවක් පමණ වූ ලේ සෙලවූ තැනැත්තා ය. ඔහුට පැවිද්ද හා උපසම්පදාව වාරිත ය. ආබාධයක් සුව කරනු පිණිස මෛත්‍රී සහගත සිතින් බුද්ධ ශරීරයෙන් ලේ බැහැර කරන්නා හට පිනක් මිස පාපයක් නො වේ.

සඞ්ඝභේදකයාය’ යනු දේවදත්ත මෙන් චතුර්විධ විනය කර්මයන් අතුරෙන් යම් කිසි කර්මයක් කිරීම් වශයෙන් සඞ්ඝයා බිඳින තැනැත්තා ය. එය උපසම්පන්නයකු විසින් මිස අනුපසම්පන්නයකු විසින් නො කළ හැකි කර්මයෙකි.

භික්ඛුනීදූසකයාය’ යනු මාර්ගත්‍රයෙන් එක්තරා මාර්ගයෙක්හි ප්‍රකෘති භික්ෂුණියක් දූෂණය කළ තැනැත්තා ය. ඔහුට ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව වාරිත ය. කාය සංසර්ගයෙන් භික්ෂුණියක ගේ ශීලය විනාශ කළ තැනැත්තාට ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව අවාරිත ය.