අකරණීය සතර

දැන් අකරණීය සතර අසනු මැනවි.

(1) “උපසම්පන්නෙන භික්ඛුනා මෙථුනො ධම්මො න පතිසෙවිතබ්බො, අන්තමසො තිරච්ඡාන ගතායපි. යො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවති, අස්සමණො හොති අසක්‍යපුත්තියො. සෙය්‍යථාපි නාම පුරිසො සීසච්ඡින්නො අභබ්බො තෙන සරීර බන්ධනෙන ජීවිතුං. එවමෙව භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිත්වා අස්සමණො හොති අසක්‍යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං”

උපසම්පදා භික්ෂුව විසින් යටත් පිරිසෙයින් තිරිසන් සත්ත්වයකු සමග ද මෛථුන සේවනය නොකළ යුත්තේය. යම් භික්ෂුවක් මෛථුන සේවනය කෙරේ නම්, එයින් ඒ භික්ෂු තෙමේ අශ්‍රමණයෙක් වේ. අබුද්ධපුත්‍රයෙක් වේ. යම් සේ හිසසුන් පුරුෂයෙක් ඒ හිස කය හා සම්බන්ධ කොට නැවත ජීවත්වීමට අභව්‍ය වේද, එමෙන්ම මහණ තෙමේ මෛථුන සේවනය කොට අශ්‍රමණයෙක් වේ. අබුද්ධපුත්‍රයෙක් වේ. එබැවින් තොප විසින් ඒ මෛථුන සේවනය දිවිහිමියෙන් නො කළ යුතුය.

(2) “උපසම්පන්නෙන භික්ඛුනා අදින්නං ථෙය්‍ය සඞ්ඛාතං න ආදාතබ්බං අන්තමසො තිණසලාකං උපාදාය. යො භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියති අස්සමණො හොති අසක්‍යපුත්තියො. සෙය්‍යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පමුත්තො අභබ්බො හරිතත්ථාය. එවමෙව භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියිත්වා අස්සමණො හොති අසක්‍යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං.”

උපසම්පන්න භික්ෂුව විසින් අන්තිම වශයෙන් තණපතෙහි පටන් හිමියන් විසින් නුදුන් දෙය සොර සිතින් නොගත යුතු ය. යම් භික්ෂුවක් පාදයක් වූ ධනය හෝ පාදයක් අගනා වස්තුවක් හෝ පාදයකට අධික වස්තුව හෝ සොරසිතින් ගනී ද, හෙතෙමේ අශ්‍රමණයෙක් වේ. අබුද්ධ පුත්‍රයෙක් වේ. යම් සේ නටුවෙන් ගැලවුණු පඬුවන් පත නැවත නිල්පතක් වීමට අභව්‍ය වේ ද, එමෙන් භික්ෂු තෙමේ පාදයක් වූ ධනය හෝ පාදයක් අගනා දෙයක් හෝ පාදයකට අධික ධනය හෝ සොර සිතින් ගැනීමෙන් අශ්‍රමණයෙක් වේ. අබුද්ධ පුත්‍රයෙක් වේ. එය තොප විසින් දිවිහිමියෙන් නො කළ යුතු ය.

(3) “උපසම්පන්නෙන භික්ඛුනා සංචිච්ච පාණො ජීවිතා න වොරොපෙතබ්බො අන්තමසො කුන්ථ කිපිල්ලිකං උපාදාය. යො භික්ඛු සංචිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙති. අන්තමසො ගබ්භ පාතනං උපාදාය. අස්සමණො හොති අසක්‍යපුත්තියො. සෙය්‍යථාපි නාම පුථුසීලා ද්විධා භින්නා අප්පටිසන්ධිකා හොති. එවමෙව භික්ඛු සංචිච්ච මනුස්ස විග්ගහං ජීවිතා වොරොපෙත්වා අස්සමණො හොති අසක්‍යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං”

උපසම්පන්න භික්ෂුව විසින් යටත් පිරිසෙයින් සිතා මතා කුහුඹුවෙකු නො මැරිය යුතුය. යම් භික්ෂුවක් ගැබ් හෙලීමෙන් වුව ද මිනිසකු මරා නම්, ඒ භික්ෂුව අශ්‍රමණයෙක් අබුද්ධපුත්‍රයෙක් වේ. දෙකට පැලුණා වූ ගල යම් සේ නැවත සන්ධි කළ නොහේද, එමෙන් භික්ෂු තෙමේ සිතා මතා මිනිසකු මැරීමෙන් අශ්‍රමණයෙක් වේ. අබුද්ධ පුත්‍රයෙක් වේ. එය තොප විසින් දිවි හිමියෙන් නො කළ යුතු ය.

(4) “උපසම්පන්නෙන භික්ඛුනා උත්තරිමනුස්ස ධම්මො න උල්ලපිතබ්බො අන්තමසො සුඤ්ඤාගාරෙ අභිරමාමීති. යො භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති ඣානං වා විමොක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා ඵලං වා. අස්සමණො හොති. අසක්‍ය පුත්තියො. සෙය්‍යථාපි නාම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා. එවමෙව භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපිත්වා අස්සමණො හොති. අසක්‍යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං”

උපසම්පන්න භික්ෂුව විසින් යටත් පිරිසෙයින් “මම ශූන්‍යාගාරයෙහි සිත් අලවා වෙසෙමි” යි කියා ද උත්තරී මනුෂ්‍යධර්මය ප්‍රකාශ නො කළ යුතු ය. යම් භික්ෂුවක් ලාමක වූ ආශා ඇත්තේ, ලාමක ආශාවෙන් මඩනා ලද්දේ, මට ධ්‍යානයක් හෝ විමෝකෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ ඇතය යි තමා කෙරෙහි නැති උත්තරී මනුෂ්‍යධර්මය ප්‍රකාශ කෙරේ ද, එයින් හෙතෙමේ අශ්‍රමණයෙක් වේ, අබුද්ධපුත්‍රයෙක් වේ. යම් සේ මුදුන සුන් තල්ගස නැවත වැඩීමට අභව්‍ය වේද, එමෙන් මහණ ලාමක ආශා ඇතිව ලාමකාශාවෙන් මඩනා ලදුව තමා කෙරෙහි නැත්තා වූ උත්තරීමනුෂ්‍ය ධර්මය ප්‍රකාශ කොට අශ්‍රමණයෙක් වේ. අබුද්ධ පුත්‍රයෙක් වේ. එය තොප විසින් දිවි හිමියෙන් නො කළ යුතු ය.