ත්‍රිවිධ පරිඥා

ඤාතපරිඤ්ඤා යැ, තීරණපරිඤ්ඤා යැ, පහානපරිඤ්ඤා යැයි ලෞකික පරිඥා තුනෙකි.

එයින් වදාළහ. “අභිඤ්ඤාපඤ්ඤා ඤාතඨෙන ඤාණං. පරිඤ්ඤාපඤ්ඤා තීරණඨෙන ඤාණං, පහානපඤ්ඤා පරිච්චාගඨෙන ඤාණන්තී”[1] ‘රුප්පන ලක්‍ෂණය ඇත්තේ රූපය, යනාදි ඒ ඒ ධර්‍මයන් පිළිබඳ ස්වලක්ෂණය දන්නා නුවණ අභිඤ්ඤා පඤ්ඤා නම. ඒ ස්ව ලක්‍ෂණය දැන ගන්නා හෙයින් ඤාණ නමි. ‘රූපය අනිත්‍ය යැ’ යනාදීන් සාමාන්‍ය ලක්‍ෂණය පිරිසිඳ දැන ගන්නා නුවණ පරිඤ්ඤා පඤ්ඤා නම. එයම සන්මර්‍ශනාර්‍ථයෙන් ඤාණ නමි. නිත්‍යසංඥාදිය ප්‍ර‍හාණය කිරීම පිළිබඳ දැන ගන්නා නුවණ පහානපඤ්ඤා නම. එය නිත්‍යසංඥාදිය පරිත්‍යාග (බැහැර) කිරීම් අර්‍ථයෙන් ඤාණ නමි.’

විස්තර:- ‘රූපය රුප්පන (බිඳීම්) ලක්‍ෂණ යැ, වේදනාව විඳීම් ලක්‍ෂණ යැ යනාදීන් ඒ ඒ ස්කන්ධ-ධාතු-ආයතනාදීන් ඒ ඒවාට අයත් ආවේණික ලක්‍ෂණයන් පිළිබඳ වැ (ඇති ස්වභාවය) සැලකීම් වශයෙන් පැවැති ප්‍ර‍ඥාව ඥාතපරිඥා යැ.

‘රූපය අනිත්‍ය යැ, වෙදනාව අනිත්‍ය යැ’ යනාදි ක්‍ර‍මයෙන් ඒ රූපාදි ධර්‍මයන්ගේ ම අනිත්‍ය යැ, දුඃඛ යැ අනාත්ම යැ යන සාමාන්‍ය (සියල්ලට සාධාරණ) ලක්‍ෂණයට නඟා පැවැති ස්වභාවය වූ ලක්‍ෂණත්‍ර‍යය අරමුණු කොට ඇති විදර්‍ශනා ප්‍ර‍ඥාව තීරණපරිඥා නම.

ඒ ත්‍රෛභූමක ධර්‍මයන් කෙරෙහි ම නිත්‍ය සංඥාදිය දුරු කිරීම් වශයෙන් පැවැති ‘උණු බව නො හැර ම උණු දිය අරමුණු කරන්නා සේ’ ලක්‍ෂණය නො හැර ම ස්කන්ධයන් අරමුණු කරන ලක්‍ෂණාලම්බනික විදර්‍ශනා ප්‍ර‍ඥාව ප්‍ර‍හාන පරිඥා නම.

ඒ ත්‍රිවිධ පරිඥා අතුරින් සඞ්ඛාර පරිච්ඡෙදයේ (නාම-රූප පරිග්‍ර‍හයේ) පටන් ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හය දක්වා පැවැති ප්‍ර‍ඥාව ඥාත පරිඥාවට භූමිය යි.

මතභේද:- ස්කන්ධාදිය ද විදර්‍ශනාවට භූමි හෙයින් සියලු ස්කන්න්‍ධිය විචාරණය සංස්කාර පරිච්ඡෙදය යි ඇතැමෙක් යෙති.

නාම-රූප පරිග්‍ර‍හයේ පටන් ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හය තෙක් මේ අතුරෙහි ත්‍රෛභූමික ධර්‍මයන් ගේ තම තමා අයත් ලක්‍ෂණ ප්‍ර‍තිවේධයට ම අධිපති බව වේ.

චක්‍ෂුදර්‍ශකාදි කලාප සන්මර්‍ශනයෙහි පටන් උදයව්‍යයානුදර්‍ශනය තෙක් තීරණ පරිඥාවට භූමිය යි. මේ අතුරෙහි ‘නාමය නමන ලක්‍ෂණ යැ. රූපය රුප්පන ලක්‍ෂණ යැ’ යනාදීන් සාමාන්‍ය ලක්‍ෂණය ප්‍ර‍තිවේධයට ම අධිපති බව වේ.

භඞ්ගානුදර්‍ශනයේ පටන් මත්තෙහි ප්‍ර‍හාණපරිඥාවට භූමිය වේ.

විස්තර:- ඒ තීරණ - ප්‍ර‍හාණ පරිඥා දෙක ම ‘නමන ලක්‍ෂණය නාමයැ’ ‘රුප්පන ලක්‍ෂණය රූපයැ’යි මෙසේ නාම-රූපයන් ගේ සාධාරණ ආකාරය සැලැකීම් වශයෙන් පවත්නා හෙයින් එක් ආකාරයෙකින් තීරණ පරිඤ්ඤා ද, දිට්ඨි-කඞ්ඛාවන් විෂ්කම්භනය වන හෙයින් ප්‍ර‍හාණ පරිඥා ද ලැබේය යි තීරණප්‍ර‍හාණයෙහිදු ආධිපත්‍යය වේය යි කියත්. උත්කෘෂ්ට වශයෙන් දිට්ඨි විසුද්ධියට සංඛාර පරිච්ඡේද බව වන්නාක් මෙන් ලක්‍ෂණ ලම්බනික විදර්‍ශනාවට ම තීරණ - ප්‍ර‍හාණ කෘත්‍ය භාවය දතයුතු. එසේ කල්හි ත්‍රිවිධ ප්‍ර‍ඥාවෝ ම ව්‍යවස්ථිත වෙත්. මෙහි ප්‍ර‍ඥාව අනිත්‍යාදි ලක්‍ෂණ තීරණය කරන හෙයිනි. (සන්‍යාගත විස්තරය)

ඒ භඞ්ගානුපස්සනාවේ පටන් අනිත්‍යාදි වශයෙන් සංස්කාර සන්මර්‍ශනය කරන්නේ නිත්‍ය යැ (ශාස්වත යැ) යැ පැවැති මිථ්‍යා සංඥාව දුරු කෙරේ. (සංඥා ශීර්‍ෂයෙන් දිට්ඨි චිත්තයා ගේ ග්‍ර‍හණය වේ.) දුඃඛ වශයෙන් සන්මර්‍ශනය කරන්නේ සුඛ සංඥාව දුරු කෙරේ. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ. එසේ අනිත්‍යාදි වශයෙන් බැලීමෙන් සංස්කාරයන් කෙරෙහි කළකිරුණේ නන්‍දිය යි කියන ලද සප්‍රීතික තෘෂ්ණාව දුරු කෙරේ. සංස්කාරයන් කෙරෙහි නො ඇලීම් වශයෙන් බලන්නේ රාගය දුරු කෙරේ. නිරොධානුපස්සනාවෙන් (සංස්කාර නිරුද්‍ධ වන හෙයින් පුනර්‍භවයෙහි නූපදනා සේ) බලන්නේ සංස්කාරයන් ගේ සමුදය (තෘෂ්ණාව) දුරු කෙරේ. පටිනිස්සග්ගානු පස්සනාවෙන් (සංස්කාරයන් නැවැතැ නො ගන්නා පරිද්දෙන් දුරු කරන්නේ) ග්‍රාහය දුරු කෙරේයැ යි මෙසේ නිත්‍ය සංඥාදීන් ප්‍ර‍හාණය සිද්ධ කරන යට කී සප්ත අනුපස්සනාවන් ගේ අධිපති බව වේ.

මෙසේ මේ ත්‍රිවිධ පරිඥාවන් ගේ සංස්කාර පිරිසිඳීම ද, ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හය ද සිද්ධකළ හෙයින් මේ යොගියා විසින් ඥාත පරිඥාව ම අධිගත වේ. අනෙක් තීරණ - ප්‍ර‍හාණ පරිඥා ද අවබෝධකළ යුතු වේ.

එයින් කීහ : “යස්මා තීරණ පරිඤ්ඤාය වත්තමානාය මග්ගා” මග්ග ඤාණ උප්පජ්ජති. තීරණ පරිඤ්ඤා ච ඤාත පරිඤ්ඤානන්තරා තස්මාපි තං මග්ගා‘මග්ග ඤාණදස්සන විසුද්ධිං සම්පාදෙතු කාමෙන කාලාපසම්මසනෙ තාව යොගො කත්තබ්බො” ‘තීරණ පරිඥාව ඇති කල්හි මග්ගාමග්ගඤාණය උපදී. තීරණ පරිඤ්ඤාව ද ඤාථ පරිඤ්ඤාවට අනතුරු වැ වේ එහෙයින් ඒ මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය සම්පාදනය කරනු කැමැති යෝගියා විසින් කලාප සන්මර්‍ශනයෙහි පිළිවෙළින් යොග වැඩිය යුතු ය.’ කියා යි. මේ ඒ පිළිබඳ පාළි ධර්‍මය යි. “කථාං අතීතිනිගත පච්චුප්පන්නානං ධම්මානං සංඛිපිත්‍වා වවත්‍ථා නෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං” ‘ඒ කලාප සන්මර්‍ශනය කෙසේ ද, අතීත-අනාගත පච්චුප්පන්න ධර්‍මයන් එකට සංග්‍ර‍හ කොට (හකුළුවා) අතීතාදී වශයෙන් මතු දැක්වෙන සේ විනිශ්චය කිරීමේ ප්‍ර‍ඥාව අනිත්‍යාදි වශයෙන් සන්මර්‍ශන (තීරණ) ය කිරීමේ ඤාණය වේ’

විස්තර : ‘අතීත - අනාගත - පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්ම වූ හෝ - බාහිර වූ හෝ - ඔළාරික වූ හෝ - සුඛුම වූ හෝ - හීන වූ හෝ - ප්‍ර‍ණීත වූ හෝ - දුර වූ හෝ - ළඟ වූ හෝ - යම් කිසි රූපයක් වේ නම් ඒ එකොළොස් වැදෑරුම් සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එද එක් සන්මර්‍ශනයෙනි. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එද එක් සන්මර්‍ශනයෙකි. අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එද එක් සන්මර්‍ශනයෙකි. (විදර්‍ශනා ඥානයෙකි.)

යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඥානයක් -පෙ- අනාත්ම වශයෙන් මෙනෙහි කෙරේ නම් ඒ එක් සන්මර්‍ශනයෙකි.

චක්‍ෂුව -පෙ- ජරා - මරණ - අතීතානාගතපච්චුප්පන්න වූ හෝ -පෙ- අනිත්‍ය හෙයින් ව්‍යවස්ථා කෙරේ නම් එක් සන්මර්‍ශනයෙකි. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ නම් එක් සන්මර්‍ශනයෙකි. අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ නම් එක් සන්මර්‍ශනයෙකි.

අතීත - අනාගත - ප්‍ර‍ත්‍යුත්පන්න රූපය - අනිත්‍ය යැ. ප්‍ර‍ත්‍යයන් විසින් සකස් කරන ලද්දේ යැ. ප්‍ර‍ත්‍යයෙන් හට ගත්තේ යැ. ක්‍ෂය ස්වභාව ඇත්තේ යැ. ව්‍යව ස්වභාව ඇත්තේ යැ. විරාග ස්වභාව - නිරොධ ස්වභාව ඇත්තේ යැ යි සංක්‍ෂේපයෙන් ව්‍යවස්ථා කිරීමේ ප්‍ර‍ඥාව සන්මර්‍ශන ඥානය යි.

ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා-මරණ වේ. ජාතිය නැති කල්හි ජරා-මරණ නො වේ යැ යි සංක්‍ෂෙප කොට ව්‍යවස්ථා කිරීමේ ප්‍ර‍ඥාව සන්මර්‍ශන ඥානය යි. භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය වේ. ‘භවය (කර්‍මය) නැති කලැ ජාතිය නොවේ ය යි ද -පෙ- ‘අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ. අවිද්‍යාව නැති කලැ සංස්කාර නො වේ ය යි ද සංක්‍ෂෙප කොට ව්‍යවස්ථා කිරීමේ ප්‍ර‍ඥාව සන්මර්‍ශන ඥානය යි. අතීත කාලයෙහි ද, අනාගත කාලයෙහි ද අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ යයි ද, අවිද්‍යාව නැති කලැ සංස්කාර නොවේ ය යි ද සංක්‍ෂෙප කොට ව්‍යවස්ථා කිරීමේ ඥානය සන්මර්‍ශන ඥානය යි. ඒ සන්මර්‍ශනයෙහි ඤාණය දක්නා ලද අර්‍ථයෙන් ඤාණ නමි. ප්‍ර‍කාරයෙන් දැනීම අර්‍ථයෙන් ප්‍ර‍ඥා නම. අතීත - අනාගත -පච්චුප්පන්න ධර්‍මයන් ගේ දැනීම සංක්‍ෂේප කොට ව්‍යවස්ථා කිරීම සන්මර්‍ශනයෙහි ඥානය යි එහෙයින් කියන ලදී.

මෙහිදු “චක්ඛුං -පෙ- ජරාමරණං” යන මේ පෙය්‍යලයෙන් ද්වාරාරම්මණයන් හා සමග සදොර පැවැති ධර්‍ම ගැනේ. (විස්තර ස්කන්ධ නිදෙර්‍ශාදියෙහි යැ) පඤ්චස්කන්ධ යැ, ෂඩ්වාර යැ, ෂඩාලම්බන යැ, සඩ් විඥානය යැ, ෂට් ස්පර්‍ශ යැ, ෂඩ් වෙදනා යැ, ෂට් සංඥා යැ, ෂට් චෙතනා යැ, ෂඩ් තෘෂ්ණා යැ, ෂඩ් විතර්‍ක යැ, ෂඩ් විචාර යැ, ෂඩ් ධාතු යැ, දශ කසින යැ, දෙතිස් කොටස් යැ, දොළොස් ආයතන යැ, අටළොස් ධාතු යැ, දෙවිසි ඉන්‍ද්‍රිය යැ, ත්‍රි ධාතු යැ, නව භව යැ, ධ්‍යාන සතර යැ, අප්පමඤ්ඤා සතර යැ, සතර සසමාපත්ති යැ, දොළොස් පටිච්ච සමුප්පාදාඞ්ග යැ යන මේ ධර්‍ම රාශිය සංක්‍ෂේප කරන ලදැ යි දතයුතු.

විශේෂ : මෙතෙක් දැක්වූ විස්තරයෙහි ආදි කර්මිකයා ගේ විදර්‍ශනා මනසිකාර පහසුව සඳහා “යං කිඤ්චි රූපං” යනාදීන් පඤ්චස්කන්ධය අතීතාදී වශයෙන් විභාග කොට පළමු වැ ගන්නා ලදි. ඒ ස්කන්ධයන් ම ද්වාර-ආලම්බනයන් හා ද්වාරයන්හි පැවැති ධර්‍ම වශයෙන් විභාගය ලබන හෙයින් එයට අනතුරු වැ ෂඩ් ද්වාරාදී වශයෙන් දශ ෂට්කයෝ දැක්වූහ. තව ද ත්‍රිවිධ ලක්ෂණයන් අතුරින් අනාත්ම ලක්‍ෂණය දුඃඛ විභාගය කරන හෙයින් ඒ විභාගය පිණිස ෂඩ් ධාතුහු ගන්නා ලද හ.

ඉක්බිති ශාසනයෙන් පිටත් තීර්‍ථකයින් ගේ ආත්මාභිනිවෙශය ධ්‍යානයන් නිසා වන හෙයින් එයට අනතුරු වැ දස කසිනය ගන්නා ලදී. අනතුරු වැ දුඃඛානුපස්සනාවට පරිවාර වශයෙන් පිළිකුල් ආකාර වශයෙන් දෙතිස් කොටස්හු ගන්නා ලද හ. පළමුවෙන් ස්කන්ධ වශයෙන් සැකෙවින් ගත් ධර්‍ම සංක්‍ෂේප - විස්තර නො වූ ද ක්‍ර‍මයෙන් මෙනෙහි කළ යුතු බව දක්වනු පිණිස දොළොස් ආයතන ද, අටළොස් ධාතු ද, ගන්නා ලදහ. මේ ආයතන-ධාතු යන ධර්‍මයන්, ශුන්‍ය බව යැ, නිරුත්සාහ බව යැ, වීර්‍ය්‍ය රහිත බව යැ, යන මොවුන්

ඇති කල්හිදු ධර්‍මස්වභාවයෙන් අධිපති බැවින් පැවැත්ම දැක්වීමෙන් අනාත්ම ලක්‍ෂණ විභාගවනු පිණිස දෙවිසි ඉඳුරෝ දක්වන ලදහ. මෙසේ අනෙක භෙද භින්න මේ ධර්‍ම, භූමිත්‍ර‍යට ඇතුළත් බැවින් ත්‍රිවිධ වේය යි දක්වනු පිණිස ධාතු ත්‍ර‍ය දක්වන ලදි. මෙසේ නිමිති දක්වා පැවැත්ම දක්වනු පිණිස කාමාදි නව භවය දක්වන ලදී.

මෙ කී තාක් අභිඥෙය විෂයෙහි පැවැති මනසිකාර කෞශල්‍යයෙන් යුක්තවූවහු විසින් සියුම් වූ මහද්ගත විෂයෙහි මනසිකාර පැවැත්විය යුතු බැව් දක්වනු පිණිස ධ්‍යාන - අප්‍ර‍මාණ්‍ය ආරූප්‍යයෝ ගන්නා ලදහ. (මෙහි ධ්‍යාන නම් පෙරකී ධ්‍යානයෙන් ශේෂ වූ රූපාවචර ධ්‍යාන යැ) මේකී තාක් ධර්‍ම, ප්‍ර‍ත්‍යය - ප්‍ර‍ත්‍යය සමුත්පන්න විභාගයෙන් බෙදා මෙනෙහි කටයුතු බව් දක්වනු පිණිස වාදස පටිච්චසමුප්පාඞ්ගයෝ ගන්නා ලදහ. ප්‍ර‍ත්‍යයාකාර මෙනෙහි කිරීමෙන් ත්‍රිලක්‍ෂණය සුවසේ විභාග වන හෙයින් පසුව ගන්නා ලදි.

මෙසේ සන්මර්‍ශනය කටයුතු සේ ගන්නා ලද මේ ධර්‍මයෝ ස්කන්ධාදී කොටස් වශයෙන් පස්විසි (25) වැදෑරුම් වෙති. ප්‍රභේද හෙයින් අගභිතතගහණයෙන් ගෙන එක්සිය අට අනූවෙක් (198) වේ. මෙය අභිඥෙය නිර්‍දෙශයෙහි මෙසේ වදාළහ. “සබ්බං භික්ඛවේ අභිඤේඤය්‍යං”[2] යනාදි විසිනි. ‘මහණෙනි සියල්ල දත යුතුය. රූපාලම්බනය දත යුතුය. චක්‍ඛු විඤ්ඤාණය දත යුතු ය. චක්‍ඛුසම්ඵස්ස ය දත යුතු ය චක්‍ඛු සම්ඵස්ස ප්‍ර‍ත්‍යයයෙන් උපදනා සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් වූ හෝ වේදනාව දත යුතු ය.

සොතය - පෙ - ධර්‍ම සංඥා ද - මනොසම්ඵස්ස ප්‍ර‍ත්‍යයයෙන් උපදනා දුඛ වූ හෝ දුක්‍ඛ වූ හේ අදුක්‍ඛමසුඛ වූ හෝ වෙදනාව දත යුතු ය. රූපය - පෙ - විඤ්ඤාණ යැ. චක්‍ඛුප්පසාදයැ - පෙ - චිත්ත යැ, රූප යැ -පෙ- ධර්‍ම යැ, චක්‍ඛුවිඤ්ඤාණ යැ. - පෙ - මනොවිඤ්ඤාණ යැ, - පෙ - චක්‍ඛුසම්ඵස්ස යැ, - පෙ - මනොසම්ඵස්ස යැ. චක්‍ඛුසම්ඵස්සජවෙදනා යැ - පෙ - මනොසම්ඵස්සජ වෙදනා යැ, රූපසඤ්ඤා යැ - පෙ - ධම්මසඤ්ඤා යැ, රූපය අරමුණු කොට උපන් චෙතනා යැ - පෙ - ධර්‍මයන් නිසා හටගත් චෙතනා යැ, රූප තෘෂ්නා යැ - පෙ - ධර්‍ම තෘෂ්ණා යැ, රූප විතර්‍ක යැ - පෙ- ධර්‍මවිතර්‍ක යැ, රූප විචාර යැ - පෙ - ධර්‍මවිචාර යැ, පඨවිධාතු යැ, පෙ- විඤ්ඤාණ ධාතු යැ, පඨවි කසින යැ, - පෙ- විඤ්ඤාණ කසිනය, කෙස් යැ -පෙ- මත්‍ථලුඞ්ග යැ, චක්ඛායතන යැ, -පෙ- ධම්මායතන යැ, චක්‍ඛුධාතු යැ, -පෙ- මනොවිඤ්ඤාණ ධාතු යැ, චක්‍ඛුන්‍ද්‍රිය යැ, -පෙ- අඤ්ඤාතාවින්‍ද්‍රිය යැ, කාම ධාතු යැ, රූප ධාතු යැ, අරූපධාතු යැ, කාම භව යැ, රූප භව යැ, අරූප භව යැ, සඤ්ඤාභව යැ, අසඤ්ඤා භව යැ, නේවසඤ්ඤානාසඤ්ඤා භවයැ, එකවොකාර භවයැ, චතුවෝකාර භවයැ, පඤ්චවෝකාර භවයැ, එකවෝකාර භවයැ, චතුවෝකාර භවයැ, පඤ්චවෝකාර භවයැ, පඨමජ්ඣානයැ -පෙ- චතුත්‍ථජ්ඣාන යැ, මෙත්තා වේතෝ විමුත්තියැ, -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියැ යන ධර්‍මයෝ ද දතයුතු වෙත්. අවිද්‍යාව දතයුතු යැ, -පෙ- ජරා-මරණ දතයුතු. (ඒ අභිඤ්ඤෙය්‍ය ධර්‍ම පටිසසම්භිදා මාර්‍ග අභිඤ්ඤෙය්‍ය නිර්‍දෙශයෙහි විස්තර කොට වදාළ හෙයින් මෙහි එය පෙය්‍යාලයෙන් සංක්‍ෂේප කරන ලදී.)

විශේෂ : මෙසේ සැකෙවින් දක්වන ලද මේ ධර්‍ම රාශියෙහි වදාරන ලද අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්‍ද්‍රියය ආදි ලොකොත්තර ධර්‍ම සන්මර්‍ශනයට නො එළඹෙන හෙයින් මේ සන්මර්‍ශනාඥාන වස්ථාවෙහි නො ගත යුතු යි. එහෙත් සන්මර්‍ශනයට එළඹෙන ධර්‍මයන් අතුරින් යෝගීහට යම් යම් ධර්‍මයක් ප්‍ර‍කට වේ නම් සුවසේ පරිග්‍ර‍හ කල හැකි වේ නම්, ඒ ධර්‍මයන් විෂයෙහි ඒ යෝගියා විසින් සන්මර්‍ශනය ආරම්භ කටයුතු යි (පසු වැ නො වැටහෙන ධර්‍ම ද උපායයෙන් වටහා ගෙන නිරවශේෂයෙන් සන්මර්‍ශනය කටයුතු යි)

තවද (1) “අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ” යනාදීන් පළමුවන ලක්‍ෂණ ව්‍යවස්ථාපන වාරය ද

(2) “ක්‍ෂය වන අර්‍ථයෙන් දුඃඛ යැ” යනාදිය දෙවන හේතු වාරය ද

(3) “අනිත්‍යය ප්‍ර‍ත්‍යයන් විසින් කරන ලද්දේ යැ” යනාදිය ලක්‍ෂණයට හේතු කියන හෙයින් හෙතුපතිට්ඨාන වාරය ම එයට හේතු පිහිටුවීම සඳහා (සංඛතය) ප්‍ර‍ත්‍යයන් විසින් කරන ලද්දේය, යනාදිය කියන ලදී. එසේ ප්‍ර‍ත්‍යයෙන් නිපන් ධර්‍ම නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ යි. නිරුද්ධ නො වන්නෙක් නැති. ඒ යට කී ස්කන්ධ පඤ්චකාදි ද්‍වාරයන් අතුරින් මතු ස්කන්ධ වශයෙන් සන්මර්‍ශනයා ගේ ආරම්භ විධානය කියනු ලැබේ.

“යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං -පෙ- සබ්බං තං රූපං අනිච්චතො වවත්‍ථපෙති එකං සම්මසනං”[3]

මෙහි මේ භික්‍ෂුතෙමේ ‘යම්කිසි රූපයකැ යි මෙසේ අනියමයෙන් දක්වන ලද සියලු රූපය අතීතාදි ත්‍රිකයෙන් හා අජ්ඣත්තිකාදි ද්වික සතර වශයෙන්දැ යි භූමි අවකාශ, පුද්ගල අවකාශ වශයෙන් එකොළොස් අවකාශයකින් පිරිසිඳ සියලු රූපය අනිත්‍යාදි වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එනම් අනිත්‍යයැයි විදර්‍ශනා කෙරේ.

ඒ මෙසේ යි:- “යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පනං - පෙ - අනිච්චං ඛයට්ඨෙන”1 ‘යම් රූපයෙන් අතීත වේ ද (ඉපිද නිරුද්ධ වී ද) ඒ රූපය අතීතයෙහි ම ක්‍ෂය වූයේ ද මේ භවයට නො පැමිණියේ ද එහෙයින් (ක්‍ෂයාර්‍ථයෙන්) අනිත්‍ය යැ. මතු අනතුරු භවයෙහි යම් රූපයෙක් උපදී ද හෙද එහි ම ක්‍ෂයට පැමිණේ. එයින් තුන්වන භවයට නො පැමිණියේ යි ක්‍ෂයාථර්ථයෙන් අනිත්‍ය යැ. ප්‍ර‍ත්‍යුත්පන්න වූ යම් රූපයෙක් වේ නම් එය ද මේ භවයෙහි ම ක්‍ෂය වේ. මෙයින් දෙවන භවයට නො පැමිණේය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. යම් අධ්‍යාත්ම (ස්වසන්තානගත) රූපයෙක් වේ නම් හෙද අධ්‍යාත්මයෙහි ම ක්‍ෂය වේ. බහිද්ධා රූප බවට නොයේ යයි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. යම් බාහිර රූපයෙක් වේ නම් හෙද බැහැරදී ම ක්‍ෂය වේ. අධ්‍යාත්ම රූප බවට නොයේ ය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. ඖදාරික රූපය ද, සියුම් රූපය ද, හීන රූපය ද, ප්‍ර‍ණීත රූපය ද, දුර වූ රූපය ද, සන්තික වූ රූපය ද යන මේ සියලු රූපය ම එහි ම ක්‍ෂය වේ. දුර රූප බවට නො යේය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍යයැ යි මෙසේ සන්මර්‍ශනය කෙරේ. මේ අතීතාදි එකොළොස් අවකාශස්ථ රූපය ම “අනිච්චං ඛයට්ඨෙන” යි මේ සන්මර්‍ශනයා ගේ වශයෙන් එක් සන්මර්‍ශනයෙක.

ඒ සියලු රූපය ම භයාර්‍ථයෙන් දුක වේ. “දුක්ඛං භයටෙඨන[4] යි සන්මර්‍ශනය කෙරේ. ‘මම විනාශ වෙමි’ ‘මා සතු දෙය විනාශ වේය’ යි සිතන්නා වූ අප්‍ර‍හීණ කෙලෙස් ඇත්තහුට භය උපදී. සීහොපම සූත්‍ර‍ය[5] දෙසූ කල දෙවියන්ට ද භය උපන්නාක් මෙනි. (යමක් අනිත්‍ය නම් එය භය සහිත බැවින් දුක් වේ.)

යමක් දුක් වේ නම් එය අසාර අර්‍ථයෙන් අනාත්ම වේ. එයින් වදාළහ. “අනත්තා අසාරට්ඨෙන1 යි අසාරාර්‍ථය නම් ආත්මය යි ද, තමහට වසඟ වූවෙක් ඇතැයි ද, කාරකයෙක් ඇතැයි ද, විඳින්නෙක් ඇතැයි ද, තමහට වසග වන සුලුය යි ද, මෙසේ සලකන ලද ආත්ම සාරයක් ඇතැයි කල්පනා කරනු ලැබේ ද, හෙද ඒකාන්තයෙන් අනිත්‍ය යැ. දුඃඛ යැ. (එහෙයින් ම) එයට තබා පිළිබඳ වූ, අනිත්‍යභාවය හෝ උත්පාද-ව්‍යය දෙක්හි පෙළීම හෝ වැළකීමට නො හැකි වේ. ඔහු ගේ කාරකාදි භාවයෙක් කොයින් වේ ද

එයින් වදාළහ.

“රූපංද හිදං භික්ඛවෙ අත්තා අහවිස්ස න ඉදං රූපං ආබාධාය සංචත්තෙය්‍ය”[6] ‘මහණෙනි! රූපය ආත්ම වේ නම් එය ආබාධ පිණිස නො පවත්නේය’ යි. මේ වශයෙන් එක් සන්මර්‍ශනයෙක. එය භේදයෙන් එකොළොස් වැදෑරුම් වේ. වේදනාදි සෙසු ස්කන්ධ සතරෙහි ද මේ ක්‍ර‍මය මැයි. මෙසේ රූපස්කන්ධයෙහි අභෙද හෙයින් ත්‍රිවිධ සන්මර්‍ශනය භෙදයෙන් තෙතිස් (33) වැදෑරුම් වේ.

මෙසේ පඤ්චස්කන්ධ වශයෙන් සන්මර්‍ශන භේද එක්සිය පන්සැටෙක් (33+5=165) වේ. ද්වාරෂට්කාදියෙහි ද මේ නයින් ම යථායෝගයෙන් සන්මර්‍ශන භෙද දත යුතුයි. තවද අන්‍යවූයේ නියමයෙන් සඞ්ඛතාදි භේදයට යන හෙයින් එයට පර්‍ය්‍යාය දැක්වීම පිණිස හෝ නානාප්‍ර‍කාරයෙන් මනසිකාර ප්‍ර‍වෘත්තිය දැක්වීම පිණිස හෝ “රූපං අතීතානාගතපච්චුප්පන්තං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්තං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං”[7] යි ‘අතීත - අනාගත - පච්චුප්පන්න වූ ඒ රූපය ඇතිවැ නැති වන හෙයින් අනිත්‍ය යැ. හේතුප්‍ර‍ත්‍යයයෙන් කරන ලද්දේ ය’ ප්‍ර‍ත්‍යයෙන් නිපන්නේ යැ, ක්‍ෂය වන ස්වභාවය ඇත්තේ යැ, ව්‍යය වන ස්වභාවය ඇත්තේ යැ, එහෙයින් (ආශාව) සිඳෙන ස්වභාවය ඇත්තේ යැ. නිරුද්ධ වන ස්වභාව ඇත්තේ යැ’යි නැවැතැ පාළිය වදාරන ලදී.

වේදනාදියෙහි ද මේ ක්‍ර‍මය මැයි. ඒ යෝගී පඤ්චස්කන්ධයෙහි එකී අනිත්‍ය -දුඃඛ - අනාත්ම සන්මර්‍ශනයා ගේ ස්ථිර භාවය පිණිස “කතමෙහි චත්තාරීසාය ආකාරෙහි අනුලො - ඛත්තිං පටිලභති කතමෙහි චත්තාලිසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමතී”[8] යි ‘කවර සතලිස් ආකාරයෙකින් ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට අනුලොම් වූ ඥානක්‍ෂාන්තිය පිළිලබා ද -පෙ- ආර්‍ය්‍ය මාර්‍ගයට බසී ඳ යන මේ පෘච්ඡා විභඞ්ගයෙහි බෙදා දැක්වීමෙහි

“පඤ්චක්ඛන්‍ධෙ අනිච්චතො -පෙ- පස්සන්තො සම්මත්ත නියාමං ඔක්කමතීති[9]

පඤ්චස්කන්ධයන්

1. අනිත්‍ය වශයෙන් 15. පභඞ්ගු වශයෙන් 29. විභව වශයෙන්

2. දුඃඛ වශයෙන් 16. අඬුව වශයෙන් 30. සාසව වශයෙන්

3. රෝග වශයෙන් 17. අත්තාන වශයෙන් 31. නිරාමිස වශයෙන්

4. ගණ්ඩ වශයෙන් 18. අලෙන වශයෙන් 32. මාරාමිස වශයෙන්

5. සල්ල වශයෙන් 19. අසරණ වශයෙන් 33. ජාතිධම්ම වශයෙන්

6. අඝ වශයෙන් 20. රිත්ත වශයෙන් 34. ජරාධම්ම වශයෙන්

7. ආබාධ වශයෙන් 21. තුච්ඡ වශයෙන් 35. ව්‍යාධිධම්ම වශයෙන්

8. පර වශයෙන් 22. සුඤ්ඤ වශයෙන් 36. මරණධම්ම වශයෙන්

9. පලොක වශයෙන් 23. අනත්ත වශයෙන් 37. සොකධම්ම වශයෙන්

10. ඊති වශයෙන් 24. ආදීනව වශයෙන් 38.පරිදෙවධම්ම වශයෙන්

11. උපද්දව වශයෙන් 25. විපරිණාමධම්ම වශයෙන් 39.උපායාසධම්මවශයෙන්

12. භය වශයෙන් 26. අසාර වශයෙන් 40.සංකිලෙසධම්මවශයෙන්

13. උපස්සග්ග වශයෙන් 27. අඝමූලක වශයෙන්

14. චල වශයෙන් 28. වධක වශයෙන්

යන මෙකී සතලිස් (40) ආකාරයෙන් අනිත්‍ය වශයෙන් බලන්නේ අනුලොම ක්‍ෂාන්තිය පිළි ලබ යි. පඤ්චස්කන්ධයන් ගේ අනුත්පාද නිරොධය, නිත්‍ය යැ, නිර්‍වාණය යි දක්නේ ආර්‍ය්‍ය මාර්‍ගයට බසී යනාදි ක්‍ර‍මයෙන් අනුලොම ඤාණය විස්තර කරන්නහු විසින් ප්‍රභෙද හෙයින් කියන ලද සන්මර්‍ශනයන් ගේ වශයෙන් ද, මේ පඤ්චස්කන්ධයන් සන්මර්‍ශනය කෙරේ.

ඒ මෙසේයි.

(1) ඒ යොගී තෙමේ එකී එකී ස්කන්ධය අනිත්‍ය බව අන්තකොට ඇති හෙයින් (අශාස්වත හෙයින්) ද, පූර්‍ව-අපර කොටි ඇති හෙයින් ද අනිත්‍ය හෙයින් සන්මර්‍ශනය කෙරේ.

(2) උත්පාද - ව්‍යය දෙකින් කෙණෙහි - කෙණෙහි පෙළෙන බැවින් ත්‍රිවිධ දුඃඛයට හා සංසාර දුඃඛයට වස්තු හෙයින් දුක්ඛ වශයෙන් සන්මර්‍ශනය කෙරේ.

(3) සුදුසු ප්‍ර‍ත්‍යයෙන් යැපිය යුතු බැවින් ද, සියලු රෝගයනට මුල බැවින් ද, රොග වශයෙන් ද

(4) ත්‍රිවිධ දුඃඛතා සඞ්ඛ්‍යාත රුජාවෙන් යුක්ත හෙයින් ද, කෙලෙස් නැමැති අසූචි වහනය වන බැවින් ද, උත්පාදය, ජරාය, භඞ්ගය යන මෙයින් ද, ඉදිමීම ය, පැසවීම ය, බිඳීම ය, යන මෙයින් ද යුක්ත හෙයින් ගඩක් වශයෙන් ද

(5) පීඩා උපදවන හෙයින් ද, ඇතුළත විදින හෙයින් ද, (ආර්‍ය්‍ය මාර්‍ගයෙන් මුත්) බැහැර කළ නොහැකි හෙයින් ද ශුල වශයෙන් ද,

(6) ගැරහිය යුතු හෙයින් ද, අවැඩ එළවන හෙයින් ද, අඝ වස්තු හෙයින් ද අඝ (පාප) වශයෙන් ද,

(7) පරවශ බව් කරන හෙයින් ද, ආබාධයට පිහිට හෙයින් ද, ආබාධ වශයෙන් ද,

(8) වශයෙහි නො පවත්නා හෙයින් ද, (නහමක් දිරව, නහමක් මියව) ‘නො දිරව - නො මියව යි’ මෙසේ කල විධානයෙහි නො පිහිටන හෙයින් ද පර වශයෙන් ද,

(9) ව්‍යාධි - ජරා - මරණයන් ගෙන් බිඳෙන හෙයින් පලොක වශයෙන් ද,

(10) නොයෙක් ව්‍යසන පමුණුවන හෙයින් ඊති වශයෙන් ද,

(11) නො දන්නා ලද්දා වූ ම මහත් අනර්‍ථ පමුණුවන හෙයින් ද, සියලු උපද්‍ර‍වයනට වස්තු හෙයින් ද උපද්දව වශයෙන් ද,

(12) සියලු භයට ආකාර හෙයින් ද, දුක් සිසිඳුවීම වූ නිවනට ප්‍ර‍තිපක්ෂ හෙයින් ද භය වශයෙන් ද,

(13) නොයෙක් අනර්‍ථ ලුහුබඳනා ලද හෙයින් ද, දොෂයන් විසින් අරමුණු වශයෙන් සැරිය යුතු හෙයින් ද, රාග දොෂාදීන් අනේක දෝෂයන් ඇලී තිබෙන හෙයින් රාගාදීන් හා ඇලීම් අර්‍ථයෙන් ද, ඉවසනු නොහැකි හෙයින් ද උපස්සග්ග වශයෙන් ද,

(14) ව්‍යාධි - ජරා - මරණයන් ගෙන් ද, ලාභාදි අෂ්ට ලෝක ධර්‍මයෙන් ද චලනය වන හෙයින් චල වශයෙන් ද,

(15) උපක්‍ර‍මයෙන් ද, ස්වභාවයෙන් ද භඞ්ගයට පැමිණෙන සුලු හෙයින් පභඞ්ගු වශයෙන් ද,

(16) සියලු අවස්ථාවෙහි (වෘක්ෂ ඵලයක් මෙන්) හෙන සුලු බැවින්, ස්ථිර භායක් නැති හෙයින් ද අඬුව වශයෙන් ද,

(17) ජරා-මරණාදි දුකින් හා අපායාදි දුකින් ආරක්ෂා නොකළ හැකි බැවින් ද, ක්‍ෂෙම බව නො ලැබිය හැකි හෙයින් ද, අත්තාන වශයෙන් ද,

(18) ආරක්ෂාස්ථාන සොයනවුනට දුක්ඛාදීන් ආරක්ෂාවීමට ස්ථාන නොවන හෙයින් ද, ඇලුනවුනට ද ආරක්ෂාස්ථාන නො වන හෙයින් ද අලෙන වශයෙන් ද,

(19) පැමිණි ජාත්‍යාදි භය නැසීමෙන් නිඃශ්‍රිතයනට පිහිට වීමට අසමර්‍ථ හෙයින් අසරණ වශයෙන් ද,

(20) අඥාන ලොකයා විසින් ඇතැයි සලකන ලද ධුව-සුභ-සුඛ-ආත්මභාවයෙන් ශුන්‍ය හෙයින් රිත්ත වශයෙන් ද

(21) රික්ත හෙයින් ම අල්ප බැවින් ද, ලාමක බැවින් ද තුච්ඡ වශයෙන් ද,

(22) ස්වාමීය, නිවාසීය, කාරකය, වෙදකය, අධිඨායිකය යන ආත්ම භාවයෙන් හිස්බැවින් සුඤ්ඤ වශයෙන් ද,

(23) තමා ද ස්වාමිකාදි ස්වභාවයෙන් වියුක්ත හෙයින් අනත්ත (අනාත්ම) වශයෙන් ද,

(24) භවයෙහි පැවැත්ම දුක් හෙයින් ද, දුඃඛය ආදීනව හෙයින් ද, නොහොත් නිතර බැගෑ බැවින් පවතින හෙයින් ද (ආදීනව යනු දුගී මනුෂ්‍යයාට නමෙකි. ආදීනව සදෘශ හෙයින්) ආදීනව වශයෙන් ද,

(25) ජරා-මරණ දෙකින් පෙළෙන හෙයින් විපරිණාම ධර්‍ම වශයෙන් ද,

(26) දුර්‍වල හෙයින් ද, ඵලයක් මෙන් පහසුවෙන් බිඳිය හැකි හෙයින් ද අසාර වශයෙන් ද,

(27) පවට මුල්වන හෙයින් අඝමූලක වශයෙන් ද,

(28) මිත්‍ර‍යකු වැනි සතුරකු මෙන් විශ්වාස ඝාතක (විශ්වාසයෙහි තබා සිටිනවුන් නසන) හෙයින් වධක වශයෙන් ද,

(29) නිත්‍ය - සුඛ - ශුභ - ආත්ම සඞ්ඛ්‍යාත වැඩීම් නැති හෙයින් විභව වශයෙන් ද,

(30) ආශ්‍ර‍වයනට හෙතු බැවින් සාසව වශයෙන් ද,

(31) ප්‍ර‍ත්‍යයයෙන් නිපදවන ලද බැවින් සඞ්ඛත වශයෙන් ද,

(32) මෘත්‍යුමාර - ක්ලේශමාරයනට ගොදුරුවන හෙයින් මාරාමිස වශයෙන් ද,

(33) ජාතිය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

(34) ජරාව ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

(35) ව්‍යාධිය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

(36) මරණය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

(37) ශොකය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

(38) පරිදෙවය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

(39) උපායාසය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

(40) තෘෂ්ණා - දෘෂ්ටි-දුශ්චරිත-සංකෙලශයනට විෂය වන හෙයින් සංකෙලශ වශයෙන්දැ යි මෙසේ ප්‍රභෙද වශයෙන් කියන ලද අනිත්‍යාදි සන්මර්‍ශනයා ගේ වශයෙන් සන්මර්‍ශනය කෙරේ. යට කී සතලිස් විදර්‍ශනාවෝ අනිත්‍යාදි අනුපස්සනා තුනෙහි අන්තර්ගත වෙත්. එහි ඇතුළත් බව දක්වනු පිණිස මේ කියනු ලැබේ.

මේ කලාප සන්මර්‍ශනයෙහි හෝ නය විදර්‍ශනාවෙහි

(1) අනිත්‍ය වශයෙන් ද,

(2) පලොක වශයෙන් ද,

(3) චල වශයෙන් ද,

(4) පභඞ්ගු වශයෙන් ද,

(5) අඬුව වශයෙන් ද,

(6) විපරිණාමධම්ම වශයෙන් ද,

(7) අසාරක වශයෙන් ද,

(8) විභව වශයෙන් ද,

(9) සඞ්ඛත වශයෙන් ද,

(10) මරණධම්ම වශයෙන් දැයි එකි එකී ස්කන්ධයෙහි දසය දසය බැගින් පඤ්චස්කන්ධයෙහි පනස් (50) අනිත්‍යානුපස්සනාවෙකි.

(1) පර වශයෙන් ද,

(2) රික්ත වශයෙන් ද,

(3) තුච්ඡ වශයෙන් ද,

(4) සුඤ්ඤ වශයෙන් ද,

(5) අනත්ත වශයෙන් දැ යි එකෙකි. ස්කන්ධයෙහි පසක් පසක් බැගින් අනත්තානුපස්සනා පස් විස්සෙක් (25) වේ.

සම සතලිස් (40) අනුපස්සනා අතුරින් සෙසු ‘දුඃඛ වශයෙන්, රොග වශයෙන් යනාදි පස් විස්සෙහි එකෙකි ස්කන්ධයෙහි පස් විස්ස බැගින් පඤ්චස්කන්ධයෙහි දුඃඛානුපස්සනා එක්සිය පස් විස්සෙක් (125) වේ. මෙසේ අනිත්‍යාදි තුන් අනුපස්සනාවන්හි ඇතුළත් වූ දෙසියයක් (200) භේද ඇති සන්මර්‍ශනයෙන් පඤ්චස්කන්ධය සන්මර්‍ශනය කරන්නා වූ ඒ යොගී යට නය විදර්‍ශනා සඞ්ඛ්‍යාත අනිත්‍ය - දුඃඛ - ආන්තම යන ත්‍රිලක්ෂණ සන්මර්‍ශනය ස්ථිර වේ.

මේ නය විදර්‍ශනාවයි.

මේ පිළිවෙළින් පෙළෙහි ආ නයින් සන්මර්‍ශනාරම්භ විධානය වේ. මෙසේ නය විදර්‍ශනාවෙහි යෝග කරන්නා වූ ඒ යෝගී යට නය විදර්‍ශනාව සිද්ධ නොවේ නම් ඒ යෝගීහු විසින් මතු දැක්නෙ නව ආකාරයෙන් ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය තියුණු කටයුතුයි.

ඒ මෙසේයි,

(1) උපනුපන් සංස්කාරයන් ගේ ක්‍ෂයය ම දකී.

(2) ඒ ක්‍ෂය දර්‍ශනයෙහි ආදරය කිරීමෙන් සපයයි.

(3) සත්ත ක්‍රියායෙන් සම්පාදනය කෙරේ.

(4) ආවාසාදි සත්ප්‍රාය ක්‍රියායෙන් සපය යි.

(5) සමාධිහු ගේ නිමිති ගැනීමෙන් ද,

(6) සප්තබෞද්ධ්‍යාඞ්ගයන් අනුවැ පැවැත්මෙන් ද,

(7) කායයෙහි හා ජීවිතයෙහි හා නිරපෙක්ෂ බව එළවයි.

(8) එහි ද නෛෂක්‍ර‍ම්‍යයෙන් මැඩ

(9) භාවනාවන් ගේ අතරැ අවිච්ඡෙදයෙන් (කඩ නොකර) යයි.”

මෙසේ කියන ලද නව ආකාරයන් ගේ වශයෙන් ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයන් තිවුණු කොට පඨවි කසිණ නිර්‍දෙශයෙහි කී සෙයින් ආවාස - ගොචර - භස්ස - පුග්ගල - භොජන - සෘතු - ඉරියාපථ යන සප්ත (7) අසත්ප්‍රායයන් දුරු කොට සප්ත සත්ප්‍රායයන් සේවනය කරමින් කලෙක රූප ද, කලෙක අරූප ද සන්මර්‍ශනය කටයුතුයි. රූපය සන්මර්‍ශනය කරන්නහු විසින් රූපයා ගේ උත්පත්තිය බැලිය යුතු. (පළමු ආගමානුසාරයෙන් බලන ලද්ද පසු වැ (විදර්‍ශනා) අනුක්‍ර‍මයෙන් විදර්‍ශනාව බලවත් වූ කල ප්‍ර‍ත්‍යක්‍ෂෙයෙනුදු බැලිය යුතු.)

විස්තර - රූපය සන්මර්‍ශනය කරන්නහු විසින් රූපයන් ගේ උත්පත්තිය බැලිය යුතුයි. මේ රූපය කර්‍මාදි සතර කාරණයෙකින් නිපදේ. ඒ මෙසේ යි :- කාමාවචරාදි භූමි වශයෙන් ද, අණ්ඩජාදි යොනි වශයෙන් ද, භින්න වූ සියලු සත්නට උපදනා රූප පළමු කොට කර්‍මයෙන් උපදී. ප්‍ර‍තිසන්ධික්‍ෂණයෙහි ගර්‍භශායි සත්ත්වයනට ජීවිතින්‍ද්‍රිය ය, අවිනිර්‍භොග රූපය ය, හෘදය වස්තු රූපය යන වස්තු දශකය ද,

ජීවිතින්‍ද්‍රිය ය, අවිනිර්‍භොග රූපය, භාව රූපය යන භාව දශකය ද ත්‍රි සන්තති වශයෙන් වස්තු දශක, කාය දශක, භාව දශකයන් වශයෙන් රූප තිසක් (30) උපදී. ඒ රූප ද ප්‍ර‍තිසන්ධි චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි උපදී. එසේ ම ස්ථිති - භඞ්ගක්‍ෂණයන්හි ද උපදී.

ඒ නාම-රූප දෙකින් රූපය දන්‍ධ (ලැසිවැ) නිරෝධ වේ. (සතළොස් 17) චිත්තක්‍ෂණයක් ආයු ඇති හෙයිනි) ගුරු පරිවර්‍තති (ප්‍ර‍මාද වැ පෙරළෙන සුලු) වේ.

චිත්තය වහා නිරුද්ධවේ. (ලඝුපරිවර්‍තති වේ.) එයින් වදාළහ. “නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මපි සමනුපස්සාමි යං එවං ලහුපරිචත්තං යථයිදං චිත්තං[10]

‘මහණෙනි! සිත යම් සේ වහා පෙරළේ ද එබඳු අන් එක ද ධර්‍මයකුදු නොම දකිමි යි’ කියායි. රූප ධරමාන කල්හි ම භවාඞ්ග චිත්තය සොළොස් (16) වරක් ඉපිද නිරුද්ධ වේ.

විශේෂ :- චිත්තයා ගේ උත්පාදක්‍ෂණය, ස්ථිතික්‍ෂණය, භඞ්ගක්‍ෂණය යන තුන ම එක සමානය. (සම ප්‍ර‍මාණ වේ.) රූපයා ගේ උත්පාද භඞ්ගක්‍ෂණ සැහැල්ලු වේ. සමප්‍ර‍මාණයැ. ස්ථිතික්‍ෂණය මහත් වේ. සිත් සොළසක් ඉපිද නිරුද්‍ධ වන තාක් පවතී.

විස්තර:- ප්‍ර‍තිසන්ධි සිත උපදනා කෙණෙහි ම ඉපිද පැවැතී (එහෙයින් ම පුරෙජාත වූ) හෘදය වස්තු රූපය නිසා දෙවන භවාඞ්ග සිත උපදී. ඒ දෙවෙනි භවාඞ්ග සිත හා ඉපිද පැවැති පුරෙජාත හෘදය වස්තුව නිසා තුන්වන භවාඞ්ග සිත උපදී. මේ නයින් ආයු ඇතිතාක් චිත්ත ප්‍ර‍වෘත්තිය දතයුතු. මරණාසන්න වූවහුට එකට පැවැති පුරෙජාත වත්‍ථුරූපය නිසා සොළොස් චිත්තක්‍ෂණයක් උපදී. ඔපපාතික සත්ත්‍වයනට - චක්ඛු දසක - සොතදසක - ඝාණදසක - ජිව්හාදසන - කායදසක - භාවදසක - වත්‍ථුදසක වශයෙන් (සන්තති ශීර්‍ෂ වශයෙන්) රූප සැත්තෑවක් (70) පවතී.

විශේෂ :- අසඤ්ඤසත්ත පටිසන්ධියෙහි චිත්තප්‍ර‍වෘත්ති නැති මේ කර්‍ම වශයෙන් රූප ප්‍ර‍වෘත්තියෙහි කර්‍මය, කර්‍ම සමුත්‍ථානය, කර්‍මප්‍ර‍ත්‍යය, චිත්තසමුත්‍ථානය, කර්‍මප්‍ර‍ත්‍යය, ආහාරසමුත්‍ථානය, කර්‍මප්‍ර‍ත්‍යය, සෘතුසමුත්‍ථානය යි මේ රූප විභාගය දතයුතු.

මෙහි කර්‍ම නම් කුශල-අකුශල චේතනා යි.

කර්‍මසමුත්‍ථාන නම් විපාක වූ වේදනාදි ස්කන්ධ හා චක්ෂුදශකාදි සමසැත්තෑ (70) රූපය යි. (ජීවිත නවකය ද මෙයට ම ඇතුළති)

කර්‍මප්‍ර‍ත්‍යය ද කුශලා‘කුශල කර්‍මයෙන් උපස්තම්භක ලද එම විපාකස්කන්ධය හා කර්‍මජ රූප මැයි.

කර්‍මප්‍ර‍ත්‍යය චිත්තසමුත්‍ථාන නම් විපාක චිත්තයෙන් උපන් රූපය යි.

කර්‍මප්‍ර‍ත්‍යය ආහාරසමුත්‍ථාන නම් කර්‍මසමුත්‍ථාන රූපයන්හි පවත්නා ඔජාව අනෙක් ඔජඨමක රූපයක් උපදවයි. ඒ කර්‍ම සමුත්‍ථාන වූ ද, ආහාර සමුත්‍ථාන වූ ද, ඕජාව අනෙක් ඔජඨමක රූපයක් උපදව යි. මෙසේ සදෘශ සන්තති වශයෙන් සතරක් හෝ පහක් රූප කලාප ඝටනා කෙරෙයි.

කර්‍මප්‍ර‍ත්‍යය සෘතුසමුත්‍ථාන නම් :- කර්‍මජ තෙජො ධාතුව තැන්පත් වූයේ උතුසමුඨාන ඔජඨමක රූපකලාපය උපදව යි. ඒ උතුසමුඨානයෙහි ද සෘතුව (තෙජො ධාතුව) අනෙක් ඔජඨමකයක්දැ යි මෙසේ සමාන සන්තති වශයෙන් රූපකලාප සතරක් පහක් උපදවා මෙසේ පළමුකොට කර්‍මජ රූපයන් ගේ නිපැත්ම බැලිය යුතු.

කර්‍මජ තෙජොධාතුව නම් :- ආහාරාදිය දිරවන උෂ්ණය යි.

චිත්තජ රූපයන් අතුරෙහිදු - චිත්තය, චිත්තසමුත්‍ථානය, චිත්තප්‍ර‍ත්‍යය, චිත්තප්‍ර‍ත්‍යයආහාරසමුත්‍ථානය, චිත්තප්‍ර‍ත්‍යය, සෘතුසමුත්‍තානය යි මෙසේ විග්‍ර‍හ දතයුතු.

එහි චිත්ත නම් :- එකුන් අනූ (89) චිත්තයෝ යි. ඔවුනතුරින් දෙතිස් චිත්ත කෙනෙක් - රූප - ඊර්‍ය්‍යාපථ විඥප්ති යන මොවුන් උපදවති. සවිසි (24) සිත් කෙනෙක් රූප - ඊර්‍ය්‍යාපථ උපදවති. එකුන් විසි (19) සිත් කෙනෙක් රූප උපදවති. සොළොස් (16) සිත් කෙනෙක් තුනම නූපදවත්.

විස්තර :- කාමාවචර කුසල් අට යැ. අකුසල් දොළොස යැ, (මහා ක්‍රියා අට යැ, මනොද්වාරාවර්‍ජන යැ, හසිතොත්පාද යැ,) ක්‍රියා දශ යැ, පඤ්චමධ්‍යාන කුශල ක්‍රියා-දෙක ය යන මේ සිත් දෙතිස (32) රූප ද, ගමනාදි ඉරියවු ද, කාය-වාග් විඥප්ති ද, උපදවයි.

රූපාවචර කුසල් හා ක්‍රියා සිත් දෘශ ය, අරූපාවචර කුසල් ක්‍රියා අට ය, ලොකොත්තර සිත් අට යැ, යන මේ සවිසි (26) සිත් රූප ද, ඉරියව් ද, උපදවයි. (විඥප්ති නූපදවයි.)

කාමාවචර මහා විපාක අට හා සන්තීරණ දෙක යැ, රූපාවචර විපාක පස යැ, (සම්පටිච්ඡන දෙක හා පඤ්චද්වාරාවර්‍ජනය) මනොධාතු ත්‍රික යැ, සොම්නස් සහගත සන්තීරණ යැ යන එකුන්විසි (19) සිත් රූප උපදව යි. (ඊර්‍ය්‍යාපථ විඥප්ති නූපදව යි) දෙපස් (10) විඤ්ඤාණය, ප්‍ර‍තිසන්ධි චිත්තය, රහතුන් ගේ චුති චිත්තය, අරූප විපාක සතර ය යන සොළොස් (16) සිත් රූප ද, ඉරියවු ද, විඥප්ති ද නූපදවයි.

විශෙෂ :- දෙපස් විඤ්ඤාණ සර්‍ව දුර්‍වල හෙයින් ද, ප්‍ර‍තිසන්ධි චිත්තය වස්තු දුර්‍වල හෙයින් ද රූප නූපදවයි.

මේ සිත් අතුරින් රූප උපදවන සිත් උත්පාද ක්‍ෂණයෙහි ම රූප උපදව යි. ස්ථිති ක්‍ෂණයෙහි හෝ භඞ්ග ක්‍ෂණයෙහි හෝ රූප නූපදවයි. දුර්‍වල හෙයිනි. උත්පාද ක්‍ෂණයෙහි අනන්තර ප්‍ර‍ත්‍යය ලැබීමෙන් සිත බලවත් වේ.

ප්‍ර‍තිසන්ධි චිත්තයා ගේ උත්පාද ක්‍ෂණයෙහි උපන් රූපය ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් මතු සොළොස් (16) වන චිත්තය සමග නිරුද්ධ වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිති ක්‍ෂණයෙහි උපන් රූපය සතළොස් (17) වන චිත්තයා ගේ ස්ථිති ක්‍ෂණයට පැමිණ නිරුද්ධ වේ.

සංසාර ප්‍ර‍වෘත්තිය හෝ චිත්ත ප්‍ර‍වෘත්තිය හෝ ඇති තාක් මෙසේ මැ යි.

චිත්තජ රූප නම් :- සද්ද නවකය, කාය-වාග් විඥප්ති දෙක ය, පරිච්ඡෙද රූප ය, ලහුතා - මුදුතා - කම්මඤ්ඤතා (විකාර) රූපය, උපචය - සන්තති යන දෙක දැයි සතළොස් (17) රූප චිත්ත සමුට්ඨානයෝ යි.

චිත්ත ප්‍ර‍ත්‍යය කොට ඇති රූප නම් “පච්ඡා ජාතා චිත්තා චෙතසිකා ධම්මා පුරෙඡාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො”[11] ‘පසු වැ උපන් චිත්ත - චෛතසික ධර්‍ම පළමු උපන් මේ ශරීරයට පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යනාදීන් කියන ලද චතු සමුඨානික රූපය යි.

චිත්ත ප්‍ර‍ත්‍යය කොට ඇති ආහාර සමුත්‍ථාන රූප නම් :- චිත්ත් සමුඨාන රූපයන්හි ස්ථිතියට පැමිණි ඕජාව අනෙක් ඕජඨමකයක් උපදවයි. මෙසේ දෙ තුන් ප්‍ර‍වෘත්තියක් ගළප යි.

චිත්ත ප්‍ර‍ත්‍යය කොට ඇති සෘතු සමුත්‍ථාන නම් :- සිතින් උපන් රූපය ස්ථිති ප්‍රාප්ත වූයේ අනෙක් ඕජට්ඨමකයක් උපදවයි. මෙසේ දෙතුන් ප්‍ර‍වෘත්තියක් ඝට යි මෙසේ චිත්තජ රූපයන් ගේ උත්පත්තිය දත යුතු.

ආහාරජ රූප විෂයෙහිදු (1) ආහාරය ද, (2) ආහාර සමුත්‍ථානය ද, (3) ආහාර ප්‍ර‍ත්‍යය ද, (4) ආහාර ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථානය ද, (5) ආහාර ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථානය යි මේ විභාග දත යුතු.

මෙහි (1) ආහාර න්ම :- කබලීකාරාහාරය යි.

(2) ආහාර සමුත්‍ථාන නම් :- උපාදින්නක වූ කර්‍මජ රූප ප්‍ර‍ත්‍යය ලැබ ඒ කර්‍මජ රූපයෙහි පිහිටා ස්ථිති ප්‍රාප්ත ඕජව විසින් උපදවන ලද ඕජට්ඨමක රූපය ද, ආකාසධාතුව ද, ලහුතා - මුදුතා - කම්මඤ්ඤතා රූප ද, උපචය, සන්තති රූප දැ යි තුදුස් (14) වැදෑරුම් රූපය යි.

(3) ආහාර ප්‍ර‍ත්‍යය නම් :- “කබලීකාරාහාරය මේ රූප කයට ආහාර ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ” ය යි මෙසේ කියන ලද චතුසමුට්ඨාන රූපය යි.

(4) ආහාර ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථාන නම් :- “ආහාර සමුට්ඨාන රූප විෂයෙහි තැන්පත් වූ ඕජාව අනෙක් ඕජට්ඨමක රූපයක් උපදවා යැ”යි මෙසේ දස-දොළොස් වරෙක ප්‍ර‍වෘත්තිය ගළපයි. මේ ආහාර ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථානය යි.

එක් දවසක් වැළඳූ ආහාරය සත් දවසක් මුළුල්ලෙහි මේ ශරීරයට උපස්තම්භක වේ. මව බුදින ලද ආහාර දරුවාගේ සිරුරෙහි පැතිරැ රූප උපදව යි. සිරුරෙහි ගැල්වූ ආහාරය ද රූප උපදවයි.

කර්‍මයෙන් උපන් ආහාරය උපාදින්නක ආහාරය නමි. හෙද තැන්පත් වූයේ රූප උපදවයි. උපාදින්නක ආහාරයෙහි ඕජාව ද අනෙක් රූපයක් උපදවා යැ යි මෙසේ සතර-පස් ප්‍ර‍වෘත්තියක් ගළප යි.

(5) ආහාර ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථාන නම්:- ආහාර ප්‍ර‍ත්‍යයයෙන් නිපන් තෙජො ධාතුව තැන්පත් වූවා සෘතුසමුත්‍ථාන වූ ඕජට්ඨමක රූපය උපදවා. (ඒ වනාහි උතුපච්චය ආහාරය මෙන් දස-දොළොස් වාරයෙක රූපකලාප ඝටනාව වේ ය යි ටීකා හි කී.)

විස්තර:- මේ ආහාර ප්‍ර‍ත්‍යය සෘතුසමුත්‍ථාන රූප විෂයෙහි ආහාරය ආහාර සමුත්‍ථාන රූපයන්ට ජනක ප්‍ර‍ත්‍යය වේ. සෙසු කර්‍ම-චිත්ත-සෘතු-සමුත්‍ථාන රූපයන්ට නිස්සය-ආහාර-අත්‍ථි-අවිගත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

විශේෂ:- ආහාරයන්ගේ නිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය භාවය පට්ඨානයෙහි නැති. එහෙත් ‘ආහාර ප්‍ර‍ත්‍යයයෙන් පවත්නා රූපයට ආහාර නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය නම් වේ’ යයි සුත්‍රාන්තිකයින් කියන ලදැ යි දත යුතු. මත්තෙහි උතුනිස්සය දැක්වීමෙහි ද මේ ක්‍ර‍මය මැ යි. මේ ආහාරජ රූපයන් ගේ නිපැත්ම යැ.

සෘතුජ රූපයන් අතුරෙනුදු (1) සෘතු ද, (2) සෘතුසමුත්‍ථාන ද, (3) සෘතුප්‍ර‍ත්‍යය ද, (4) සෘතු ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථානය ද, (5) සෘතුප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථාන ද යන මේ විභාගය දත යුතු.

(1) මෙහි සෘතු නම්:- කර්‍මාදි චතුඃසමුත්‍ථාන තේජෝ ධාතු යැ හෙද උෂ්ණ සෘතුය, ශීත සෘතුයැ යි දෙ ආකාර වේ. ශීත-උෂ්ණ යනු එකම තේජෝධාතුහු ගේ අඩු-වැඩි බවයි.

(ස්පර්‍ශ වූවහු ගේ ශරීර උෂ්ණයට වඩා අඩු වූයේ ශීතය යි ද, එයට වැඩි වූයේ උෂ්ණය යි ද සම්මත යි.)

(2) සෘතුසමුත්‍ථාන නම්:- (කර්‍මාදි) චතුඃසමුත්‍ථාන වූ සෘතුව උපාදින්නක ප්‍ර‍ත්‍යය ලැබ ස්ථාන ප්‍රාප්ත වූයේ ශරීරයෙහි රූප උපදව යි.

විශේෂ:- සෘතු සමුත්‍ථාන සෘතුව (තේජෝධාතුව) උපාදින්නක නො වූයේ ද රූප උපදව යි. එහෙත් මෙහි ‘ඉන්‍ද්‍රියබද්ධ සෘතුහු ගේ උපාදින්නකයෙන් වෙන්වැ රූප ඉපදවීමක් නැති හෙයින් උපාදින්නක ප්‍ර‍ත්‍යය ලැබයැ යි කියන ලදි. ටීකා)

ඒ සෘතුසමුත්‍ථාන රූප ය - සද්ද නවක කලාප යැ, ආකාස ධාතු යැ, ලහු තා - මුදුතා - කම්මඤ්ඤතා යැ, උපචය-සන්තති-රූපයැ යි පසළොස් (15) වැදෑරුම් වේ.

(3) සෘතුප්‍ර‍ත්‍යය නම්:- සෘතුව (තේජෝධාතුව) කර්‍මාදි චතුස්සමුත්‍ථානික රූපයන් ගේ පැවැත්මට ද, විනාශයට ද ප්‍ර‍ත්‍යය වේ. පෙර කී පසළොස් (15) වැදෑරුම් සෘතුසමුත්‍ථාන රූපයට ද, අන්‍ය වූ කර්‍මාදීන් උපන් රූපයට දයන සභාග රූපයට සභාග සෘතුව උපස්තම්භක ප්‍ර‍ත්‍යය වේ. ‘විෂභාග සෘතුව තමාට සුදුසු රූප ඉපදවීමේදී පෙර පැවැති රූප විනාශ කරන්නාක් මෙන් වේ.’ (යනු ටීකායි.)

(4) සෘතු ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථාන නම්:- සෘතුවෙන් හටගත් තේජෝ ධාතුව සථිති ප්‍රාප්ත වූවා අනෙක් ඕජාෂ්ටකයක් උපදව යි. එහි සෘතුව ද අනෙක් ඕජාෂ්ටමක රූපයක්දැ යි මෙසේ දීර්‍ඝ කාලයක් අනුපාදින්න පක්‍ෂයෙහි සිට ද සෘතු සමුත්‍ථානය පවතී මැයි.

විස්තර:- අන් තන්හි කී පරිදි දස- දොළොස් වාරයට ද වඩා දීර්‍ඝ කාලයක් සෘතුන් ගෙන් සභාග සන්තති වශයෙන් ප්‍ර‍ත්‍යය ලැබ උපාදින්නකයන් ඇසුරින් ද සදෘශ රූප පරම්පරාව පවත්වයි. මෙහි “අනුපාදින්නක පක්‍ෂයෙහි සිටයැ” යි කීයේ මසින් වෙන් වූ- කෙස්- ලොම්- නිය- ඉනි- තලකැලල් ආදී වශයෙන් ජීවමාන ශරීරයෙහි ද, මෘත ශරීරයෙහි ද, උපදවන හෙයිනි. (ටීකා)

(5) සෘතු ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථාන නම්:- සෘතුවෙන් උපන් ස්ථාන ප්‍රාප්ත තේජෝ ධාතුවෙහි ඕජාව අන්‍ය වූ ඕජාෂ්ටමක රූපයක් උපදව යි. එහි ඕජාව ද අන්‍ය ඕජාෂ්ටමකයක් දැයි මෙසේ දස-දොළොස් වාරයෙකැ ප්‍ර‍වෘත්තිය ගළප යි.

ඒ රූප කලාපයෙහි සෘතුව (තේජෝ ධාතුව) සෘතු සමුත්‍ථාන රූපයනට ජනක ප්‍ර‍ත්‍යය වේ. සෙසු කර්‍මාදීන් සමුත්‍ථාන රූපයනට නිඃශ්‍ර‍ය- අසති- අවිගත වශයෙන් ප්‍ර‍ත්‍යය වේය යි මේ සෘතුජ රූප හට ගැනීම දැක්ක යුතු යි.

විශේෂ:- මෙසේ රූපයන් ගේ හට ගැනීම දක්නේ කලෙකැ රූප සන්මර්‍ශනය කෙරේය යි කියනු ලැබේ. තව ද රූපයන් ගේ හටගැනීම දක්නේ ක්‍ෂණික වැ රූපය විනාශ වන හෙයින් විනාශයද දකී. එහෙයින් උදය-ව්‍යය දැකීම වේ.

රූප සන්මර්‍ශනය කරන්නා රූපයන් ගේ හට ගැනීම දක්නා සෙ අරූප සන්මර්‍ශනය කරන්නා අරූපයන් ගේ හට ගැනීම ද දැක්ක යුතු ය.

ඒ වූ කලී එක් අසූ (81) ලෞකික චිත්තයන් ගේ වශයෙන් මැයි. (ලොකොත්තර සිත් අට මෙයට විෂය නොවේ.)

විස්තර:- මෙහි නාම නම් පූර්‍ව භවයෙහි රැස් කරන ලද කුශල-අකුශල කර්‍ම වශයෙන් මහා විපාක අට යැ, මහද්ගතවිපාක (රූපා‘රූප) නව යැ, උපෙක්ඛාසහගත සන්තීරණ දෙක යැ යන මේ එකුන් විසි (19) විපාක සිත් ප්‍ර‍තිසන්‍ධියෙහි ඒ ඒ භව වශයෙන් උපදී. (ඒ උපදනා ආකාරය පටිච්චසමුප්පදාන නිර්‍දෙශයෙහි කී පරිදි දතයුතු) ඒ එකුන් විසි චිත්තය ම ප්‍ර‍තිසන්‍ධි චිත්තයට අනතුරු චිත්තයෙහි පටන් භවාඞ්ග වශයෙන් ද, ආයුෂ කෙළවර චුති වශයෙන් ද උපදී. ඔවුනතුරින් කාමාවචර විපාක චිත්තය චක්‍ෂුරාදී පඤ්චද්වාරයෙහි (බලවත්) අතිමහන්තාලම්බනයෙහි ද, මනොද්වාරයෙහි විභූතාලම්ඛනයෙහි ද මහා විපාක අට යැ, සන්තීරණ තුන යැ යන එකොළොසින් (11) එකක් තදාලම්බන වශයෙන් ද පවතී.

ප්‍ර‍වෘත්ති කාලයෙහි චක්‍ෂුඃප්‍ර‍සාදය නො නට හෙයින් ද, රූප ආලම්බන වීමෙන් ද ආලෝකය ඇසුරු කොට පැවති (පඤ්චචාරාවජ්ජන) මනසිකාරය හේතු කොට ඇති චක්ඛුවිඤ්ඤාණ චිත්තය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් සමග උපදී.

උපදනා රූපය හා නිරුද්ධවන රූපය ද, කිසිවකට ප්‍ර‍ත්‍යය නො වන හෙයින් සථිති ප්‍රාප්ත වූ ම රූපාලම්බනය ගැටේ. ඒ ගැටුණු කල දෙවරෙකැ (භවාඞ්ගචලනඋපච්ඡේද වශයෙන්) භවාඞ්ගය ඉපිද නිරුද්ධ වේ. අනතුරුවැ එම ආලම්බනයෙහි ම ක්‍රියා මනොධාතුව (පඤ්චචාරාවජ්ජනය) ඒ රූපාලම්බනයෙහි ම ආවර්‍ජන කෘත්‍යය සාධමින් උපදී. අනතුරුවැ එම රූපය ම බලමින් කුසල විපාක වූ හෝ අකුසල විපාක වූ හෝ චක්ඛු විඤ්ඤාණ චිත්තය ද, අනතුරුවැ ඒ රූපය පිළිගනිමින් විපාක මනොධාතුව (සම්පටිච්ඡන චිත්තය ද) උපදී.

අනතුරු වැ ඒ රූපය ම මනා කොට තීරණය කරමින් විපාක අහේතුක මනොවිඤ්ඤාණධාතුව (සන්තීරණ චිත්තය) ද, අනතුරු වැ එම රූපාලම්බනය ම විනිශ්චය කරමින් උපෙක්ඛා සහගත ක්‍රියා අහේතුක මනොවිඤ්ඤාණධාතුව (උපෙක්ඛා සහගත මනොද්වාරාවර්‍ජනය) ද උපදී. අනතුරුවැ කාමාවචර කුශල-අකුශල ක්‍රියා චිත්තයන් අතුරින් එක් සිතක් මුර්ඡාදි-කාල-මරණාසන්න කාලයන්හි පස් වරක් හෝ ප්‍ර‍කෘති කාලයෙහි සත්වරක් හෝ දෙවෙනි (මොඝ) වාර වශයෙන් ද උපෙක්ඛා සහගත අහේතුක (උපෙක්ඛා සහගත මනොද්වාරාවර්‍ජන) චිත්තය හෝ ජවන වශයෙන් උපදී. අනතුරුවැ කාමාවචර සත්ත්‍වයනට යට කී එකොළොස් තදාරම්මණ චිත්තයන් අතුරින් ජවනයනට සුදුසු සේ යම් කිසි චිත්තයක් තදාරම්මණ වශයෙන් උපදී. සෙසු සෝතාදි සිවු දොරෙහි ද මේ ක්‍ර‍මය මැ යි.

විශේෂ:- මනොද්වාරයෙහි මහද්ගත (රූපා‘රූප) චිත්ත ද උපදී. මෙසේ සදොරෙහි චිත්ත ප්‍ර‍වෘත්තිය දැක්ක යුතු. මෙසේ අරූපයන් ගේ ඉපදීම බලන්නා වූ යෝගාවචර තෙමේ කලෙකැ අරූප සන්මර්‍ශනය කෙරේ. මෙසේ කලෙකැ රූප ද, කලෙක අරූප ද නුවණින් විමසා ත්‍රිලක්‍ෂණයට නගා උදය- ව්‍යය ඥානානුක්‍ර‍මයෙන් පිළිපදනේ ප්‍ර‍ඥාභාවනාව සම්පාදනය කෙරේ.

අනෙක් යෝගාවචරයෙක් රූප සප්තක-අරූප සප්තක වශයෙන් ත්‍රිලක්‍ෂණයට නගා සංස්කාර ධර්‍මයන් සන්මර්‍ශනය කෙරේ.

  1. ප:ම: මාතිකා 2 (බුරුම)

  2. ප:ම: අභිඤෙඤය්‍ය නිද්දෙස 6

  3. ප:ම: ඤාණ කථා 51 (බුරුම)

  4. එම 46 (බුරුම)

  5. අ:නි: චතුක්ක නිපාතය 208

  6. ප:ම: ඤාණ කථා 46

  7. සං:නි: ඛන්‍ධකසංයුත්ත 367

  8. ප:ම: සම්මසන ඤාණ නිද්දෙස 52

  9. ප:ම: විපස්සන කථා 411

  10. අ:නි: එකකනිපාත 7

  11. ප:ප: පච්චය නිදෙදස 5