2. භඞ්ගානුපස්සනා ඤාණය

එහෙයින් කියන ලදි.

“කථං ආරම්මණපටිසඞ්ඛාභඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං. රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති. තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති. අනුපස්සතීති කථං අනුපස්සති? අනිච්චතො අනුපස්සති නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති නො සුඛතො. අනත්තතො අනුපස්සති නො අත්තතො. නිබ්බින්‍දති නො නන්‍දති. විරජ්ජති නො රජ්ජති. නිරොධෙති නො සමුදෙති. පටිනිස්සජති නො ආදියති අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති. දුක්කතො අනුපස්සන්තො සුඛ සඤ්ඤං අනිත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං-නිබ්බින්‍දන්තො නන්‍දිං - විරජ්ජන්තො රාගං - නිරොධෙන්තො සමුදයං - පටිනිස්සජන්තො අදානං පජහති. වෙදනාරම්මණතා -පෙ- සඤ්ඤාරම්මණතා -පෙ- සඞ්ඛාරම්මණතා -පෙ- විඤ්ඤාණරම්මණතා -පෙ- සක්ඛාරම්මණතා -පෙ- විඤ්ඤාණාරාම්මණතා -පෙ- චක්ඛාරම්මණතා -පෙ- ජරා- මරණාරම්මණතා චීත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති. -පෙ- පටිනිස්සජන්තො ආදානං පජහති.[1]

‘රූප-වේදනාදි අරමුණු ක්‍ෂය-ව්‍යය වශයෙන් දැන ඒ ආලම්බන චිත්තයා ගේ ද භඞ්ග වශයෙන් දක්නා ප්‍ර‍ඥාව විදර්‍ශනා ඥානය නම් වේ.

ඒ මෙසේයි:- රූපාලම්බන භාවයෙන් සිත ඉපිද බිඳුණු කලැ ඒ අරමුණු දැන ඒ චිත්තයා ගේ භඞ්ගය අනුව බල යි. කෙසේද යත්:- අනිත්‍ය හෙයින් (අනුවැ) බල යි. නිත්‍ය හෙයින් නො බලයි. දුක් හෙයින් (අනුවැ) බල යි. සැප හෙයින් නො බලයි. අනාත්ම හෙයින් (අනුවැ) බල යි. ආත්ම හෙයින් නො බලයි. කළ කිරෙයි. සතුටු නො වේ. නො ඇලෙයි. නො රැඳෙයි. නිරුද්ධ කෙ රෙයි. නූපදව යි. දුරු කෙරෙයි. නො ගනී. අනිත්‍ය හෙයින් බලන්නේ නිත්‍ය සංඥාව දුරු කෙරේ. දුක් හෙයින් (අනුවැ) බලන්නේ සුඛ සංඥාව දුරු කෙරේ. අනාත්ම හෙයින් (අනුවැ) බලන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ. කළකිරුණේ සතුට දුරු කෙරේ. නො ඇලුණේ රාගය දුරු කෙරේ. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරේ. අත හරිනුයේ ආදානය දුරු කෙරේ. වේදනාරම්මණයෙහි -පෙ- සංඥාරම්මණයෙහි -පෙ- සඞ්ඛාරාරාමණයෙහි - විඤ්ඤාණාරම්මණයෙහි චක්ඛාරම්මණයෙහි -පෙ- ජරා - මරණාරම්මණයෙහි සිත ඉපිදී බිඳෙයි. -පෙ- සමුදය දුරු කරනුයේ ආදානය දුරු කෙරේ.

ඒ ධර්‍ම සමූහය දන්නා අර්‍ථයෙන් ඤාණ නමි. සර්‍වප්‍ර‍කාරයෙන් දන්නා අර්‍ථයෙන් ප්‍ර‍ඥා නම. එහෙයින් “ආරම්මණ පටිසඞ්ඛාභඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙඤාණං” යී කියා යි.

එහි පදයක් පාසා අර්‍ථය මෙසේ යි:-

ආරම්මණ පටිසඞ්ඛා = යම් අරමුණක් ක්‍ෂය-ව්‍යය වශයෙන් දැන

භඞ්ගානුපස්සනෙපඤ්ඤා = ඒ ආලම්බනය ක්‍ෂය-ව්‍යය වශයෙන් බැලීමෙන් උපන් ඤාණයා ගේ යම් භඞ්ගයෙක් වේ නම් ඒ භඞ්ගය අනුව බැලීමෙන් උපන් ප්‍ර‍ඥාව.

විපස්සනෙ ඤාණං = විදර්‍ශනා ඥානය යි.

ඒ මෙසේ යි:- රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති = රූපය අරමුණු කොට ඇති සිත ඉපිද බිඳේ. නොහොත් රූපා-රම්මණ භාවයෙහි සිත ඉපිද බිඳේ.

තං ආරම්මණං පටිසඞ්ඛා = ඒ රූපාලම්බනය ක්‍ෂය වශයෙන් ව්‍යය වශයෙන් දැක.

තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති = ඒ රූපාලම්බනය ක්‍ෂය-ව්‍යය වශයෙන් දක්නා ලද සිතෙහි භඞ්ගය අන්‍ය සිතකින් බල යි.

එහෙයින් “ඤාතං ච ඤාණං ච උභො විපස්සති = දක්නා ලද අරමුණ ද, ඒ අනුපස්සනා වශයෙන් දක්නා ලද ඤාණය ද යන දෙක ම ක්‍ෂය-ව්‍යය බලායැ යි පැරැණියෝ කීහ.

එහි අනුපස්සති යනු (අනු-අනුපස්සති) අනිච්චානුපස්සනාදී නොයෙක් ආකාරයෙන් නැවැතැ-නැවැතැ බල යි යන අර්‍ථ යි.

එහෙයින් කීහ:- අනුපස්සතීති කථං අනුපස්සති අනිච්චතො අනුපස්සති = කෙසේ බලා ද අනිත්‍ය වශයෙන් බල යි යනාදිය.

එහි භඞ්ගය නම් අනිත්‍යය පිළිබඳ අන්තිම කෙළවර ය. එහෙයින් ඒ භඞ්ගය අනුව බලන යෝගී තෙමේ සියලු සංස්කාර ජාතය අනිත්‍ය වශයෙන් අනුව බලයි. නිත්‍ය වශයෙන් නො බලයි.

අනතුරුව අනිත්‍ය දුක් වන බැවින්, දුක්ඛය අනාත්ම වන හෙයින් ඒ සංස්කාර ගත ය දුක් වශයෙන් අනුව බල යි. සැප වශයෙන් නො බලයි. අනාත්ම වශයෙන් අනුව බල යි. ආත්ම වශයෙන් නො බලයි.

යම් හෙයකින් යමක් අනිත්‍ය - දුක්ඛ - අනාත්ම නම් එය තෘෂ්ණා - දෘෂ්ටි ආදි වශයෙන් අභිනන්‍දනය නො කට යුතු යි. යමක් අභිනන්‍දනය නො කට යුතු නම් එහි නො ඇලිය යුතු යි. එහෙයින් භඞ්ගානුපස්සනානුසාරයෙන් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යි දක්නා ලද සංස්කාර ජාතයෙහි කළකිරේ. සතුටු නොවේ නො ඇලේ. නො රැඳේ.

ඒ යෝගී තෙමේ මෙසේ නො ඇල්ලෙන් පළමු කොට ලෞකික ඥානයෙන් ම රාගය නිරුද්ධ කෙරේ. සමුදය නො කෙරේ. තෘෂ්ණාව නූපදවයි යන අර්‍ථ යි. නොහොත් මෙසේ විරක්ත වූ යේ දක්නා ලද සඞ්ඛාර ජාතය මෙන් නො දක්නා ලද අනිත්‍යාදී සඞ්ඛාර ද අනුමානඥාන වශයෙන් ම මෙනෙහි කරයි. නිරොධය ම බල යි. සමුදය නො බලයි. යන අර්‍ථ යි. මෙසේ පිළිපන් ඒ යෝගී තෙමේ සංස්කාරයන් දුරු කෙරේ. නො ගනී.

නිර්‍ණය:- මේ අනිත්‍යාදී අනුපස්සනාව තදඞ්ග වශයෙන් ස්කන්‍ධාදි අභිසංස්කාරයන් සමග කෙලෙසුන් පහ කරන හෙයින් පරිච්චගාපටිනිස්සග්ගය යි ද, සංස්කාර ධර්‍මයන් ගේ දොස් දැකීමෙන් ද, සංස්කාර ධර්‍මයනට විපරීත වූ නිර්වාණයෙහි තන්නින්න භාවයෙන් පක්ඛන්‍දනය වන හෙයින් ද පක්ඛන්‍දපටිනිස්සග්ගයයි ද කියනු ලැබේ.

එහෙයින් ඒ අනිත්‍යාදි අනුපස්සනාවෙන් යුක්ත වූ භික්‍ෂු තෙමේ පෙර කී තදඞ්ගාදී ක්‍ර‍මයෙන් කෙලෙසුන් දුරු කෙරේ. නිර්වාණයට පිවිසේ. ඉපදවීම් වශයෙන් කෙලෙසුන් ඇද නො ගනී. දොස් නො දැකීම වශයෙන් සංස්කාරාරම්මණයන් නො ගනී. “පටිනිස්සජතා නො ආදියති” යි එහෙයින් කිය යි.

දැන් ඒ යෝගීහු ගේ ඒ අනිත්‍යානුදර්‍ශන ඥානයෙන් නිත්‍ය සංඥාදි ප්‍ර‍හාණය වන ධර්‍මයන් දැක්වීම පිණිස “අනිච්චතො අනුපස්සන්තො නිච්ච සඤ්ඤං පජහති” යනාදිය කියන ලදි. (අර්‍ථ පෙර කී සේ මැ යි.) මෙහි නන්‍දි නම සප්‍රීතික තෘෂ්ණා යි.

විශේෂ:- මෙහි අනිත්‍ය ග්‍ර‍හණය සංඥා ශීර්‍ෂයෙන් නිර්දේශ යැ. සෙස්සෙහි ද මෙසේමැ යි.

“වත්‍ථුසඞ්කමනාචෙව - සඤ්ඤාය ච විවට්ටනා

ආවජ්ජනා බලඤ්චෙව - පටිසඞ්ඛා විපස්සනා

ආරම්මණත්‍වයෙනාපි - උභො එකවවත්‍ථනා

නිරොධෙ අධිමුත්තතා - වයල්කඛණවිපස්සනා

ආරම්මණඤ්ච පටිසඞ්ඛා - භඞ්ඟඤ්ච අනුපස්සති

සුඤ්ඤතො ච උපට්ඨානං - අධිපඤ්ඤවිපස්සනා

කුසලො තීසු අනුපස්සනාසු - චතස්සො චවිපස්සනාසු

තයො උපට්ඨානෙ කුසලතා - නනාදීට්ඨිසු න කම්පතීති”[2]

‘පූර්‍ව වස්තුවෙන් අපර වස්තුවට සංක්‍ර‍මණය ද සංඥා පෙරැළීම ද, ආවර්‍ජනා බලය ද ප්‍ර‍තිසඞ්ඛාවිදර්‍ශනා යැ,

‘අරමුණය අනුවැ යාමෙන් අතීත අනාගත සංස්කාරයන් ඒකසම භාවයෙන් විනිශ්චය කිරීම ද, භඞ්ගඞ්ඛ්‍යාත නිරෝධයෙහි අධිමුත්ත බව ද ව්‍යලක්‍ෂණවිදර්‍ශනා යැ.

‘පූර්‍ව රූපාදී අරමුණු දැන ඒ අරමුණෙහි භඞ්ගය බැලීම ද, සංස්කාරයන් ශූන්‍ය වශයෙන් වැටහීම ද අධිප්‍ර‍ඥාවිදර්‍ශනා යි.’

‘අනිත්‍යාදි ත්‍රිවිධ අනුපස්සනාහි ද, නිර්විදාදි චතුර්විධ විදර්‍ශනාහි ද දක්‍ෂ වූ යෝගීතෙමේ ක්‍ෂය - ව්‍යය - ශූන්‍යතා යන ත්‍රිවිධ උපස්ථානයෙහි දක්‍ෂ බැවින් නොයෙක් මිථ්‍යාදෘෂ්ටීන්හි කම්පා නො වේ.’

ගාථාවන්හි විශේෂාර්‍ථ මෙසේ යි:- වත්‍ථුසඞ්ඛමනා = (විදර්‍ශනාවට ප්‍ර‍වෘත්ති ස්ථාන හෙයින් රූපාදි ආලම්බනය වස්තු නමි. එසේ රූපයා ගේ භඞ්ගය දැක නැවත ඒ භඞ්ගය දක්නා ලද සිතෙහි ද භඞ්ගය දැකීම් වශයෙන්) පළමු වස්තුවෙන් අන්‍ය වස්තුවකට සංක්‍ර‍මණය වීමෙන්; පඤ්ඤාය ච විවට්ටනා = (උදය හැර ව්‍යයයෙහි) විදර්‍ශනා ප්‍ර‍ඥාව මනාව පිහිටීමෙන්, ආවජ්ජනාබලඤ්චෙව = (රූපාලම්බනයා ගේ භඞ්ගය දැකැ නැවත ඒ භඞ්ගය අරමුණු කරන චිත්තයාගේ ද භඞ්ගය දැකීම පිණිස) ආවර්‍ජනා කිරීමෙහි සමර්‍ථ බව, පටිසඞ්ඛාවිපස්සනා = මේ ආරම්මණ පටිසංඛා විපස්සනා නම් වේ.

ආරම්මණාන්‍වයෙනාපි උභො එකවවත්‍ථානා = (ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද) අරමුණු අනු වැ යාමේන (වර්‍තමාන ස්කන්‍ධ පඤ්චකය බිඳෙන්නා සේ) අතීතයෙහි ද, අනාගතයෙහි ද, සංස්කාර බිඳේ ය යි දිට්ඨ - අදිට්ඨ දෙදෙනා ගේ ක්‍ෂණ භඞ්ගාදි එක ස්වභාවයෙන් විනිශ්චය කිරීම යැ.

එයින් කීහ පැරැණියෝ :-

“සංවිජ්ජමානම්හි විසුද්ධ දස්සනෙ

තදන්‍වයං නෙති අතීත‘නාගතෙ

සබ්බෙපි සඞ්ඛාරගතා පලොකිනො

උස්සාවබින්‍දු සුරියෙව උග්ගතො”

‘වර්‍තමාන ස්කන්‍ධයන් ගේ භඞ්ග දර්‍ශනය ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් පරිශුද්ධවැ පවත්නා කල්හි

ඒ ඥානයට අනුවැ අතීත වූ ද, අනාගත වූ ද, ස්කන්‍ධයන් ගේ භඞ්ග ඥානය පවතී. සියලු සංස්කාර ධර්‍මයෝ ම හිරු නැගි කල තණ අග පිණි බිඳු සේ විනාශ වන සුලු වෙත්’ ය යි දකී.

නිරොධෙ අධිමුත්තතා = (මෙසේ දෘෂ්ට වූ ද, අදෘෂ්ට වූ දැ යි ද්විවිධ සංස්කාරයන් භඞ්ග වශයෙන් ඒකාන්තයෙන් ව්‍යවස්ථා කොට ඒ භඞ්ග සඞ්ඛ්‍යාත) නිරෝධයෙහි අධිමුක්ත බව (ගරු කොට ඇති බව, එයට නැමුණු බව, අවනත බව, අභිමුඛ බව) යැ.

විශේෂ:- මෙහි නිරෝධ නම් සංස්කාර නිරෝධ යැ, අසඞ්ඛත ධාතුව (නිර්‍වාණය) නො වේ.

වයලක්ඛණවිපස්සනා = විපරිණාම ලක්‍ෂණ භඞ්ගානුදර්‍ශන විදර්‍ශනාව යි.

ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති = (භඞ්ගානු දර්‍ශන වශයෙන්) රූපාදි අරමුණු දැන (ඒ ආලම්බනයාගේ භඞ්ගය දැක ඒ භඞ්ගය ආලම්බන කළ චිත්තයාගේ ද) භඞ්ගය දකී.

සුඤ්ඤතො ච උපට්ඨති = (මෙසේ භඞ්ගය අනුවැ බලන ඒ යෝගීහට සංස්කාරයෝ ම බිඳෙති. සංස්කාරයන් ගේ භේදය ම මරණ යැ අන්‍ය වූ කිසි ආත්මයෙක් නැත්තේ ය යි) ශූන්‍ය හෙයින් ම වැටහීම වේ.

එයින් කීහ පැරණියේ:-

“ඛන්‍ධා නිරුජ්ඣත්ති න චත්‍ථි අඤ්ඤො

ඛන්‍ධානභෙදො මරණන්ති වුච්චති,

තෙසං ඛයං පස්සති අප්පමත්තො

මණිංව විජ්ඣං වජිරෙන යොනිසො”

‘ස්කන්‍ධයෝ නිරුද්ධ වෙත්. ස්කන්‍ධයන් හැර අනෙකෙක් නැති. ස්කන්‍ධ භෙදය මරණය යි කියනු ලැබේ. ඒ ස්කන්‍ධයන් ගේ (වැටහෙන) භඞ්ගය අප්‍ර‍මත්තවූයේ වජ්‍රයෙන් මැණිකක් විදිනා කල එහි සිදුර දක්නා සේ නුවණින් බල යි.

අධිපඤ්ඤා විපස්සනා = (‘රූපාලම්බනයෙහි සිත ඉපිද නිරුද්‍ධ වීම ආරම්මණ පටිසඞ්ඛායැ’යි මෙසේ කී) ආලම්බන ප්‍ර‍තිසඞ්ඛ්‍යා ප්‍ර‍ඥාව ද, (ඒ චිත්තයා ගේ භඞ්ගය බලායැ යි කී) භඞ්ගානුපස්සනාව ද, (සංස්කාර ම බිඳේ. සංස්කාරයන් ගේ භේදය ම මරණය, අන් කිසිවෙක් නැතැ යි’ කී තන්හි) ශූන්‍ය වශයෙන් වැටහීමදැ යි මේ තුන් ආකාරයෙන් කියන ලද අධිපඤ්ඤා විපස්සනාවෙන්

කුසලො තිසු අනුපස්සනාසු = අනිත්‍යාදි ත්‍රිවිධ අනුපස්සනාහි දක්‍ෂ වූ යෝගී තෙමේ

චතසෙසා ච විපස්සති = නිබ්බිදා - විරාග - නිරෝධ - පටිනිස්සග්ග යන සතර අනුපස්සනාහි ද,

තීසු‘පට්ඨානෙසු තුසලතා = ක්‍ෂය - ව්‍යය - ශූන්‍ය වශයෙන් ද, මේ ත්‍රිවිධ වූ උපස්ථානයෙහි ද දක්‍ෂ වේ.

විශේෂ:- ක්‍ෂය-ව්‍යය වශයෙන් උපස්ථානය අනිත්‍ය හෙයින් ද, භය වශයෙන් උපස්ථානය දුඃඛ හෙයින් ද, ශූන්‍යතා වශයෙන් උපස්ථානය අනාත්ම හෙයින් ද වේ. (ටීකා)

නානාදිට්ඨිසු න කම්පති = ශාස්වත දෘෂ්ටි ආදි නානාප්‍ර‍කාර දෘෂ්ටීන්හි කම්පා නො වේ.

මෙසේ අකම්ප්‍ය වූ යෝගී තෙමේ ‘නිරුද්ධ නුවූයේ ම නිරුද්ධ වේ. නො බිඳුනේ ම බිඳේය‘යි පැවැති මනස්කාර ඇත්තේ බිඳෙන දුර්‍වල භාජනයක් මෙන් ද, විසිරෙන සියුම් රජසක් මෙන් ද, බදින තල මේන ද, සියලු සංස්කාරයන් ගේ උප්පාද - ඨිති - පවත්ති - නිමිත්ත හැර භේදය ම දකී.

නිදර්‍ශන:- ඇස් ඇති පුරුෂයෙකු පොකුණු තෙරෙකැ හෝ ගං තෙරෙකැ හෝ සිට මහත් පොද ඇති වැස්සක් වස්නා කල දිය පිට මහත් - මහත් බුබුළු නැගි-නැගී, වහා-වහා බිඳෙන්නවූන් දක්නා සේ ඒ යෝගී තෙමේ සියලු සංස්කාරයෝ බිඳෙත්-බිඳෙත් ය යි දකී. මේ බඳු යෝගියා සඳහා බුදුහු මෙසේ වදාළහ.

“යථා බුබ්බුලකං පස්සෙ - යථා පස්සෙ මරීචිකං

එවං ලොකං අවෙක්ඛන්තං - මච්චුරාජ න පස්සති”[3]

‘දිය බුබුලක් - මිරිඟු දියක් දක්නා සේ ලෝකය බලන යෝගී මරහු නො දකී’ (අර්‍හත්‍වයට පැමිණේ) මෙසේ සියලු සංස්කාරයෝ බිඳෙත් බිඳෙත්ය යි එක්වන් බලන ඒ යෝගීහු ගේ ශාස්වත දෘෂ්ටි ප්‍ර‍හාණය, ජීවිතනිකන්ති පරිත්‍යාග යැ, සත්ත භාවනාවෙහි යුක්ත ප්‍ර‍යුක්තතා යැ, පිරිසිදු ආජිවතා යැ, කෘත්‍යා‘කෘත්‍යයෙහි ව්‍යවෘත නො වීම යැ, කිසිවකට භය නැති බව ය, ක්‍ෂාන්ති සුරත භාව ලාභ යැ, අධිකුශල ධර්‍මයෙහි අරතිය හා කාමගුණ රතිය සහනතා යැ යන මේ අටඅනුසසක් දකී. මේ උතුම් අට අනුසස් දැක ඒ භඞ්ගය බලන සුලු යෝගී තෙමේ නිවණට පැමිණෙනු පිණිස ගිනි ගත් වස්ත්‍ර‍-ශීර්‍ෂ ඇතියකු සේ සංස්කාරයන් ගේ භඞ්ගය සන්මර්‍ශනය කෙරේ.

භඞ්ගානුපස්සනා ඤාණය නිමි.

  1. ප:ම: ඤාණකථා 65 (බුරුම)

  2. ප:ම: ඤාණකථා 56 (බුරුම)

  3. ධ:ප: ලොකවග්ග 16