බෝධි පාක්ෂික ධර්ම

මෙසේ සොතාපත්ති මග්ග යැ, සකෘදාගාමි මග්ග යැ, අනාගාමි මග්ග යැ, අරහත්ත මග්ග යැ යන මේ සිවු මඟෙහි නුවණ, ඤාණදස්සන විසුද්ධි නමැයි කියන ලද වචනය, මේ ක්‍ර‍මයෙන් පැමිණිය යුතු සතර ඤාණ වශයෙන් කියන ලදි. දැන් මේ චතුර්විධ ඥානයෙන් ඥානදර්‍ශන විශුද්ධියේ ආනුභාව දැන ගැනීම පිණිස,

(1) පරිපූර්‍ණ බෝධිපාක්‍ෂික භාව යැ,

(2) වුට්ඨානයෙන් ද, බලයෙන් ද යුක්ත බව යැ,

(3) ඒ ඒ මාර්‍ගයෙන් ප්‍ර‍හාණය කළමනා සංයෝජනාදිය ප්‍ර‍හීණ කිරීම යැ.

(4) අභිසමය කාලයෙහි ඒ ඒ පරිඥාදී වශයෙන් කියන ලද කෘත්‍යයන් පිළිවෙලින්

තතු සේ දැනීම යැ, යන මොහු අවශ්‍ය වෙත්.

(1) එහි සතර සතිපට්ඨාන යැ, සතර සම්‍යක් ප්‍ර‍ධාන යැ, සතර ඉද්ධිපාද යැ, පඤ්ච ඉන්‍ද්‍රියයැ, පඤ්ච බලයැ, සප්ත බොජ්ඣඞ්ගයැ, අෂ්ට ආර්‍ය්‍යමාර්ගයැ, යන මේ සන්තිස් (37) ධර්‍මයෝ නිර්‍වාණාවබොධනාර්‍ථයෙන් බෝධි නම් වූ ආර්‍ය්‍ය මාර්ගයාගේ පක්‍ෂයෙහි වූ හෙයින් බොධිපක්ඛීය නම් වෙති.

විශේෂ:- මෙහි පක්‍ෂයෙහි වීම නම් උපකාරක භාවයෙහි සිටීම යි.

විස්තර:- සතිපට්ඨාන - කායාදී ඒ ඒ අරමුණෙහි අනුවැ පිවිසැ, අනුවැ ගොස් එළඹ සිටින හෙයින් පට්ඨාන නම් සතියම පට්ඨාන වූයේ සතිට්ඨානය.

ඒ සතිපට්ඨානයෙහි කාය-වේදනා-චිත්ත-ධම්ම යන මේ සතර පිළිවෙලින් අශූභ යැ, දුඃඛ යැ, අනිත්‍ය යැ, අනාත්ම යැ යන මේ ආකාරයෙන් ගැනීම් වශයෙන් ද, ශ- යැ, සුඛ යැ, නිත්‍ය යැ, ආත්ම යැ යන මේ සංඥාවන් ප්‍ර‍හාණ කෘත්‍යය සිද්ධ කිරීම් වශයෙන්ද පවත්නා හෙයින් සිවුවැදෑරුම් භේදය වේ. එහෙයින් සතර සතිපට්ඨානය යි කියනු ලැබේ.

(කායාදි සතරෙහි අශුභකාරාදි වශයෙන් ගැනීම පූර්‍වභාග සතිපට්ඨාන වශයෙන් කියන ලදී. ශුභ සංඥා දී ප්‍ර‍හාණ කෘත්‍ය සාධනය මාර්ග සතිපට්ඨාන වශයෙන් දතයුතු. ඒ මාර්‍ගයෙහි එකම සතිය ශුභ සංඥා දී සතර ප්‍ර‍හාණ කෘත්‍යය සිද්ධ කිරීම් වශයෙන් පවතී යනු ටීකා යි.)

සම්මප්පධාන- මේ හේතු කොට අන්‍ය චිත්ත - චෛතසික ප්‍ර‍ධන් (වීර්‍ය්‍ය) කෙරේනු යි පධාන නමි. ශෝභන වීර්‍ය්‍යය සම්මප්පධාන යැ. නොහොත් මේ හේතු කොට චිත්ත-චෛතසික ධර්‍ම මනාව වීර්‍ය්‍ය කෙරේනු යි හෝ සම්මප්පධාන යැ.

තවද, කෙලේස නැමැති විරූපභාව විරහයෙන් ශෝභන වූයේ ම හිත සුව නිපදවීම් විසින් උත්තම භාවය එළවන බැවින් හෝ සම්‍යක් ප්‍ර‍ධන් නමි. මේ වීර්‍ය්‍යයට නම් වේ. මේ වීර්‍ය්‍යය, උපන් අකුශලයන් ගේ ප්‍ර‍හාණ කෘත්‍යය ද, නූපන් අකුශලයන් ගේ අත්පාද කෘත්‍යය ද සිද්ධ කරන හෙයින් සතර වැදෑරුම් වේ. මෙසේ සතර සම්‍යක් ප්‍ර‍ධානයෝය යි කියනු ලැබෙත්.

ඉද්ධිපාද - පෙර ඉද්ධිවිධ නිර්දේශයෙහි කී සේ, ඉටු වීම් අරුතින් ඉද්ධි නම් වේ. නිපදවීම් ප්‍ර‍තිලාභ සම්පත්තියෙන් හෝ ඉද්ධි නම් වේ.

යමකින් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ නිෂ්පාදනය වෙත් නම් හේ ඉද්ධි නමි. මෙහි සමාධි- පධාන සඞ්ඛාර ප්‍ර‍මුඛ මාර්ග ධර්‍ම ඉද්ධියයි.

ඒ ඡන්දාදීහු ‘තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට පූර්‍වාඞ්ගමාර්‍ථයෙන් හෝ, ඵල වූ සෘද්ධියට පූර්‍වභාග අර්‍ථයෙන් සෘද්ධීහු ගේ පාද වේනුයි හො සෘද්ධිපාද නම් වේ. ඒ සෘද්ධිපාදය, ඡන්‍ද චිත්ත - විරිය- වීමංසා වශයෙන් චතුර්විධ වේ. එහෙයින් සෘද්ධි පාද සතරෙකැ යි කියන ලදි.

එයින් වදාළහ:- “ඉද්ධිපාද සතරෙක ඡන්‍ද ඉද්ධිපාද යැ, චිත්ත ඉද්ධිපාද යැ, විරිය ඉද්ධිපාද යැ, වීමංසා ඉද්ධිපාද යැ[1] කියායි මේ සතර ලෝකෝත්තර ම වේ.

විශේෂ:- ‘ඡන්‍දය අධිපති කොට සමාධිය (චිත්තයා ගේ එකාග්‍ර‍තාවය) ලබා නම් මේ ඡන්‍ද සමාධිය යි’ කියනු ලැබේ. යනාදීන් වදාළ පරිදි ඡන්‍දාදී සතර අධිපතීන් ගේ වශයෙන් ප්‍ර‍තිලබ්ධ ධර්‍ම ඇති ඵස්සාදීහු සෘද්ධිපාදයෝ වෙති. මේ ලෞකික සෘද්ධිපාද යැ.

ඉන්‍ද්‍රිය- ශ්‍ර‍ද්ධා ප්‍ර‍තිපක්‍ෂ වූ අකුශල ධර්‍මය, අවස්තුක ප්‍ර‍සාද ප්‍ර‍තිරූපක වූ මිථ්‍යා දෘෂ්ටි අස්සද්ධිය ද, ථීන-මිද්‍ධ අකුශල සම්ප්‍ර‍යුක්ත කෝසජ්ජය ද, ස්මෘති විප්‍ර‍වාසය වූ ප්‍ර‍මාදය ද, නන් අරමුණෙහි සිත විසුරුවන වික්‍ෂේපය ද, අරමුණෙහි මුළා බව නම් වූ සම්මෝහය ද යන මොවුන් මැඩ පියන හෙයින් ඒ මැඩීම් අර්ථයෙන් ඉන්‍ද්‍රිය නමි.

බල- පෙර කී සේ අස්සද්‍ධිය - කෝසජ්ජාදීන් විසින් මැඩපිය නො හෙන අර්‍ථයෙන් ද, කම්පා නො වන අර්‍ථයෙන් ද ශ්‍ර‍ද්ධාදිය ම බල නමි.

මේ ඉන්‍ද්‍රිය බල දෙක ම ශ්‍ර‍ද්‍ධාදි වශයෙන් පඤ්චවිධ වේ. එහෙයින් පඤ්චින්‍ද්‍රිය යැ. පඤ්චබලයැ යි කියනු ලැබේ.

බොජ්ඣඞ්ග- චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මයන් අවබෝධ කරන සත්ත්‍වයා හට අඞ්ගභාවයෙන් සති ආදී සත් දෙන බොජ්ඣඞ්ග නම් වෙති.

(යම් පුද්ගලයකු) ලෝකෝත්තර මාර්‍ග ක්‍ෂණයෙහි උපදනා සති ආදි ධර්‍ම සමුදාය කරණ කොට ක්ලේශ සන්තාන නිද්‍රාවෙන් නැගෙන හෙයින් ද, චතුරාර්‍ය්‍ය සත්‍ය ප්‍ර‍තිවේධ කරන හෙයින් ද, නිර්‍වාණය හෝ අවබෝධ කරන හෙයින් ද මාර්ග ඥානය තෙමේ බෝධිය යි කියනු ලැබේ. ඔහුට අඞ්ගවන හෙයින් සති ආදිය බොජ්ඣඞ්ග නම් වේ. (ටීකා මතය)

අරියමග්ග- සසරින් නික්මවන (ගෙනයන) අර්ථයෙන් සම්මාදිට්ඨි ආදී අට දෙන මාර්ගාඞ්ග නම් වෙති.

මෙසේ මේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයෝ මාර්‍ගයට පූර්‍ව භාගයෙහි නානා චිත්තක්‍ෂණිකයන් වැ පවතිත්. ලෞකික විදර්‍ශනාව පවත්නා කල්හි ආනාපාන-ඉරියාපථ-චතුසම්පජඤ්ඤ-පටික්කුලමනසිකාර පර්ව හා- නවසීවථික පර්ව වශයෙන් තුදුස් (14) පරිද්දෙකින් පරිග්‍ර‍හ කරන්නහුට කායානුපස්සනා සතිපට්ඨානය ද, නව ප්‍ර‍කාරයෙකින් වෙදනා පරිග්‍ර‍හකරන්නහුට වේදනානුපස්සනා සතිපට්ඨානය ද, සොළොස් (16) ආකාරයෙන් සරාග- සදෝස- සමෝහ- සංඛිත්ත- මහග්ගත- සමාහිත- සඋත්තර- විමුත්ත යන සප්‍ර‍තිපක්‍ෂ පදයන්ගේ සොළොස් (16) ආකාරයෙන් සිත පරිග්‍ර‍හ කරන්නහුට චිත්තානුපස්සනා සතිපට්ඨානය ද, නීවරණ- උපාදානස්කන්‍ධ- ආයතන- බොජ්ඣඞ්ග- සච්ච යන පස්වැදෑරුම් පර්‍ව වශයෙන් ධර්‍මයන් පරිග්‍ර‍හ කරන්නහුට ධම්මානුපස්සනා සතිපට්ඨානය ද ලැබේ.

මේ අත්බැව්හි තමා සතන්හි නූපන් පරහට උපන් අකුශලය දැක ‘යම් යම් පරිද්දකින් පිළිපන් ඔහුට මේ වධබන්‍ධනාදිය උපන්නේ නම් මම එසේ නො පිළිපදිමි යි’ මෙසේ ඇති කල්හි ඒ අකුශලය මට නූපදීනු යි ඒ අකුසල් නූපදීමට වෑයම් කරන කල්හි පළමුවන සම්‍යක් ප්‍ර‍ධානය ද, තමා සතන්හි උපන් අකුසලයක් දැක ඒ අකුශල ප්‍ර‍හාණය පිණිස වෑයම් කරන්නහුට දෙවන සම්‍යක් ප්‍ර‍ධානය ද මේ අත්බව්හි නූපන්විරූ ධ්‍යාන විදර්‍ශනාදියක් ඉපදවීමට වෑයම් කරන්නහුට තුන්වන සම්‍යක් ප්‍ර‍ධානය ද, තමා සතන්හි උපන් ධ්‍යානාදියක් නො පිරිහෙන සේ නැවැතැ නැවැතැ උපදවන්නහුට සතරවන සම්‍යක් ප්‍ර‍ධානයලැබේ.

ඡන්‍දය ධුර (ප්‍ර‍ධාන) කොට කුශලය උපදවන කලැ ඡන්‍දිද්‍ධිපාදය වේ. (සෙස්ස ද මෙසේමැ යි.) -පෙ- මිථ්‍යා වචනයෙන් වෙන් වන කල්හි සම්‍යක් වාග් විරතිය වේය යි මෙසේ පූර්‍ව භාගයෙහි මේ සතිපට්ඨාන- සම්මප්පධාන- ඉද්‍ධිපාද විරතීහු නානා චිත්තයෙහි ලැබෙති.

විශේෂ:- මේ ඡන්‍දිද්‍ධිපාද- සම්මවාචාවන් ගෙන් සෙසු ඉද්ධිපාදයන් ද, සෙසු විරතීන් ද ලක්‍ෂණහාර වශයෙන් ලැබෙන හෙයින් කියන ලදී.

විස්තර:- මේ ධර්‍මයෝ සතර මාර්ග චිත්තයන් ගේ උත්පත්ති කාලයෙහි එක සිතෙහි ලැබෙති. ඵල ක්‍ෂණයෙහි සතර සම්‍යක් ප්‍ර‍ධානයන් හැර අවශේෂ තෙතිස් (33) ධර්‍මයෝ ලැබෙති. මෙසේ එකම චිත්තක්‍ෂණයෙහි ලැබෙන්නා වූ මොවුන් ්කෙරෙන් එකම නිවන් අරමුණු කරන සතිය, කාය-වෙදනා- චිත්ත- ධර්‍ම විෂයෙහි සුභ- සුඛ- නිච්ච- අත්ත සංඥාවන්ප්‍ර‍හාණ කෘත්‍යය සිද්ධ කිරීම් වශයෙන් සතර සතිපට්ඨානය යි කියනු ලැබේ. එක වීර්‍ය්‍යය-අනුත්පන්නයන් ගේ අනුත්පාදාදි කෘත්‍ය සාධන වශයෙන් සතර සම්මප්පධානය යි කියනු ලැබේ. මේ හැර, සෙසු ඉද්ධිපාදාදි පස් කොටසෙහි හායන, වඩ්ඪන නැති. සති -වීරිය යන වස්තු ධර්‍ම ද්වයය ම කායානුපස්සනාදී වශයෙන් සතරකට ද, සම්මප්පධාන වශයෙන් සතරකට ද බෙදේ. ඉද්ධිපාදාදිය වෙන වෙන වස්තු ධර්‍ම හෙයින් අඩු වැඩියෙන් නො වේ.

තව ද, ඒ සන්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයන් විෂයෙහි විශේෂ විධියෙක් දැක්වේ.

නවයක් ඒකවිධ යැ, එකක් ද්විවිධ යැ, නැවැත එකක් චතුර්විධ යැ, එකක් පඤ්චවිධ යැ, එකක් අෂ්ටවිධ යැ එකක් නවවිධ යැ යි මෙසේ ඒ බෝධිපාක්‍ෂික ධර්‍මයෝ ෂඩ්විධ වෙති.

විස්තර:- ඡන්‍ද, චිත්ත, ඉද්ධිපාද වශයෙන් ද, පීති, පස්සද්ධි, උපෙක්ඛා, බොජ්ඣඞ්ග වශයෙන් ද, සම්මාසඞ්කප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, මග්ගඞ්ග වශයෙන් දැ යි මේ නවධර්‍ම එක් එක් වැදෑරුම් වේ.

සද්ධාව - ඉන්‍ද්‍රිය, බල වශයෙන් දෙපරිදි වේ.

සමාධිය - සමාධින්‍ද්‍රිය, සමාධි බල, සමාධිසම්බාජ්ඣඞ්ග, සම්මාදිට්ඨි වශයෙන් සිවුවැදෑරුම් වේ.

පඤ්ඤාව - ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, (ධම්මවිචය) සම්මා දිට්ඨි, (මග්ගඞ්ග) විමංසිද්ධිපාද වශයෙන් පස්වැදෑරුම් වේ.

සතිය - (සතර) සතිපට්ඨාන, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ග වශයෙන් අටවැදෑරුම් වේ.

විරිය - සතර සම්මප්පධාන, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග, ඉද්ධිපාද වශයෙන් නව වැදෑරුම් වේ.

තවද:-

‘නො මුසු බෝ පැකි දම් - වත් දම් විසින් තුදුසෙකි. (14)

කොටස් විසින් සත්විඳි - උකට බෙයින් සත් තිසෙකි. (37)’

මේ සියලු බෝධිපාක්‍ෂික, ධර්‍ම සති, විරිය, ඡන්‍ද, චිත්ත, පඤ්ඤා, සද්‍ධා, සමාධි, පීති, පස්සද්ධි, උපෙක්ඛා, (සඞ්කප්ප) චිතක්ක, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යැ යි අමිශ්‍ර‍ව වස්තු ධර්‍ම වශයෙන් තුදුසෙක් (14) වේ.

විශේෂ:- අධිපති සතර එකවිට නො ලැබෙන හෙයින් දෙතිසෙකුදු (32) වේ. ඒ ධර්‍මයක් සත්තිස් වැදෑරුම් වනුයේ මෙසේ

“සිය කිස නිපදනෙන් - සිය රුවිනුදු පවත්නෙන්

අරී මග නිපන් කලැ - මෙ සියලු දම් නිපදනේ”

එක් එක් ධර්‍මයක් ඒකවිධ වැ සිට තමා අයත් ඒ ඒ කෘත්‍ය කරන හෙයින් ද, චිත්තිද්ධිපාදාදීන් අභේද වැ ස්වරූපයෙන් පවත්නා හෙයින් ද, ඒ සත්තිස් (37) ධර්‍මයෝ ම ආර්ය මාර්‍ගයෙහි සම්භව වෙති.

මෙසේ පළමු කොට මේ ඥානදර්‍ශනවිශුද්ධියෙහි පරිපූර්‍ණ බෝධිපාක්‍ෂික භාවය දතයුතු.

  1. වි:පි: ඉද්ධිපාද විභඞ්ග 166