ඵලසමාපත්ති

ප්‍ර‍ශ්න:- (මේ ඵලසමාපත්තියෙහි පැවැත්ම දැක්වීම සඳහා ය)

1. ඵල සමාපත්තිය නම් කිම?

2. කවුරු එයට සමවදිද් ද?

3. කවුරු සම නො වදිද් ද?

4. කවරගෙයින් සමවදිද් ද?

5. කෙසේ එයට සමවැදීම වේ ද

6. කෙසේ සිටීම වේද

7. කෙසේ නැගිටීම වේද

8. ඵලයට අනතුරුවැ කුමක් වේද?

9. ඵලය කුමකට හෝ අනතුරුව වේද

1. ආර්‍ය්‍යඵලයා ගේ නිරෝධයෙහි අර්‍ථණාව (පිහිටීම) ඵලසමාපත්ති නමි.

2. සියලු ආර්‍ය්‍යයෝ තමන් - තමන් ගේ ඵලසමවතට සමවදිති. අධිගත හෙයිනි.

3. මතු ශකෘදාගාමි ආදී ආර්‍ය්‍යයෝ යට සෝවාන් ඵලාදියට සම නො වදිති. පුග්ගලාන්තරභාවයට පැමිණිමෙන් සංසිඳුණු හෙයිනි. යට සෝවාන් ඵලාදියෙහි පිහිටියා වූ මතු සකෘදාගාමි ඵලාදියට නො සමවදිත්. අනධිගත හෙයිනි. (හුදෙක් තම තමා අයත් ඵලයටම සමවදිති) මේ මෙහි නිශ්චයයි.

මතාන්තර:- සමහරු සෝතාපන්න- සකදාගාමීන් සම නො වදිතැයි ද, මතු (අනාගාමි - අරහත්) දෙදෙන සමවදිතැයි’ ද යෙති. මේ දෙදෙනම ‘සමෘධියෙහි පරිපූරකකාරි හෙයිනැ යි’ එයට කරුණු එළවති. පෘථග්ජනයාහට ද තමා අධිගත ලෞකික සමවතට සමවැදිය හැකි හෙයින් සෝවාන් - සෙදගැමිහු ඵලසමවතට සමනොවදිති යි යනු අකාරණ යි.

නිදර්‍ශන:- “කතමෙ දස ගොත්‍ර‍භූධම්මා විපස්සනාවසෙන උප්පජ්ජහති. සොතාපත්තිමග්ග පටිලාභත්‍ථාය උප්පාදංපවත්තං -පෙ- උපායාසං බහිද්ධා සඞ්ඛාර නිමිත්තං අභිභූය්‍යතීති ගොත්‍ර‍භූ, සොතාපත්තිඵල සමාපත්තත්‍ථාය සකදාගාමි- අරහත්තඵලසමාපත්තත්‍ථාය -පෙ- සුඤ්ඤවිහාර සමාපත්තත්‍ථාය අනිමිත්තවිහාර සමාපත්තත්‍ථාය උප්පාදං -පෙ- බහිද්ධා සංඛාර නිමිත්තං අභිභූය්‍යතීනි ගොත්‍ර‍භූ[1]

‘විදර්‍ශනා වශයෙන් කවර දශ ගෝත්‍ර‍භූ කෙනෙක් උපදිද් ද ශ්‍රොතාපත්තිමාර්‍ග ප්‍ර‍තිලාභය පිණිස උත්පාදයැ, පැවැත්මයැ -පෙ- දැඩි ආයාසයැ, බාහිර සංඛාර නිමිත්තයැ යන මේ මැඩපියානුයි. ගෝත්‍ර‍භූ නමි. සෝතාපත්තිඵල සමාපත්තිය පිණිස ද, -පෙ- සුඤ්ඤත විරාග සමාපත්තිය පිණිස ද, අනිමිත්තවිහාරසමාපත්තීය පිණිසද, උත්පාද -පෙ- බාහිර සඞ්ඛාරනිමිත්ත ද මැඩපියානු යි ගෝත්‍ර‍භූ නමි. කරුණු මෙසේ හෙයින් සියලුම ආර්‍ය්‍යයෝ තමන් තමන් පිළිබඳ ඵලයට සමවදිත්යැ යි මෙහිලා නිෂ්ඨාවට යා යුතුයි.

4. මෙසේ රජකු රාජ්‍ය සුඛය අනුභව කරන්නා සේ දෙවියන් දිව්‍ය සුඛ්‍ය අනුභව කරන්නා සේ ආර්‍ය්‍යයෝ ඉහාත්ම කෙලෙස් පීඩා දාහයක් සංසිඳුවා සුවසේ වසනු පිණිස කාලය පිරිසිඳ කැමැති - කැමති කෙණෙහි ඵලසමවතට සමවදිත්. (එයට සමවැදීම ද, සමවතෙහි පිහිටීම ද ඉන් නැගීම ද, කෙසේ වේ ද යත්)

5. නිවනින් අනෙක් අරමුණකත් මෙනෙහි නො කිරීම ද, නිවන මෙනෙහි කිරීමදැ යි දෙ ආකාරයකින් ඒ ඵලසමාපත්තියට සමවැදීම වේ.

එයින් වදාරන ලදි:- “ද්වෙ ඛො ආවුසො පච්චයා අනිමිත්තයා චෙතො විමුත්තියා සමාපත්තිය, සබ්බනිමිත්තානඤ්ච අමනසිකාරො. අනිමිත්තාය ද ධාතුයා මනසිකාරො[2] ‘ඇවැත්නි! රූපාදි සියලු සංස්කාර නිමිති මෙනෙහි නොකිරීම යැ යි අනිමිත්ත මුඛයෙන් නම් වූ නිර්‍වාණය මෙනෙහි කිරීමයැ යි අනිමිත්ත මුඛයෙන් සමවැදිය යුතු ඵලසමාපත්තියට සමවැදීමට මේ කරුණු දෙකෙකි.

මේ වූ කලී එයට සමවදනා පරිදියි:- ඵලසමවතට සමවදනා කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් රහසිගතවැ නන් අරමුණෙන් වැළකී සිතින් උදයව්‍යයාදි වශයෙන් සංස්කාරයෝ විදර්‍ශනාවට නැගිය යුතු වෙත්. පැවැති අනුපූර්‍ව විදර්‍ශනා ඇති ඒ යෝගීහුගේ සංස්කාරයන් අරමුණු කොට ඇති වොදාන නම් (ගොත්‍ර‍භූ) ඥානයට අනතුරුව ඵලසමාපත්ති වශයෙන් නිවන්හි සිත පිහිටයි. මෙහිලා ඵල සමවතට නැමුණු හෙයින් ශෛක්‍ෂයහට ද ඵලසමවත උපදනේ යැ. මාර්‍ගය නො උපදනේ යි.

මතාන්තර:- සෝවාන්තෙමේ ‘ඵලසමවතට සමවදිමි’යි විදර්‍ශනා පිහිටුවා (පටන්ගෙන) ශකෘදාගාමි වේ. ශකෘදාගාමි ද අනාගාමි වේය යි කියන්නා වූ අභයගිරිවැස්සන්ට මෙසේ කියයුතු. එසේ වන්නා හා “අනාගාමි රහත් වෙයි. රහත්තෙමේ පසේබුදු වෙයි. පසේ බුදු සර්‍වඥ බුදුවෙයි” කියායි. එහෙයින් අභයගිරි වැස්සන් ගේ මතය නො යෙදේ. පෙර කී පාළි වශයෙන් ම ප්‍ර‍තික්‍ෂේප කළ හෙයිනි. ශෛක්‍ෂයාට ද ඵලයම උපදී. මාර්‍ගය නො උපදී. ඒ ශෛක්‍ෂයා ප්‍ර‍ථමධ්‍යානික මාර්‍ගය අධිගත වී නම් ප්‍ර‍ථමධ්‍යානික ඵලයම උපදී. ද්විතීයාදි ධ්‍යානයන් අතුරින් යම් කිසි ධ්‍යානයක් අධිගත වී නම් ඒ ද්‍විතීයාදිධ්‍යානිකඵලයම උපදී. මෙසේ ඒ ඵලසමාපත්තිය වේ.

6. තයො ඛො ආවුසො පච්චයා අනිමිත්තයා චෙතොවිමුත්තියා ඨිතියා සබ්බනිමිත්තානඤ්ච අමනසිකාරො අනිමිත්තාය ධාතුයා මනසිකාරො පුබ්බෙව අභිසඞ්ඛාරොති.”2

‘ඇවැත්නි! අනිමිත්ත චේතෝවිමුක්තිය නො සිඳ පැවැත්මට ප්‍ර‍ත්‍යයයෝ තිදෙනෙක් වෙති. සියලු සංස්කාර නිමිති මෙනෙහි නොකිරීම ද, අනිමිත්තධාතුව මෙනෙහි කිරීම ද කාලය පිරිසිඳීම ද, යන තිදෙනා යි.

විශේෂ:- මෙහි පළමුවැම අභිසංස්කරණය නම්- සමවතට සමවැදීමට පළමුවැමැ ‘අසුවල් කාලයෙහි නැගී සිටිමි යි’ කාලය පිරිසිඳීම යි. එසේ පිරිසුන් කලැ යම්තාක් ඒ පිරිපුන් කාලය නො පැමිණියේ නම් ඒ තාක් සිටීම වේ. මෙසේ ඵලසමවතෙහි සිටීම වේ.

7. “ද්‍වෙ ඛො ආවුසො පච්චයා අනිමිත්තයා චෙතොවිමුත්තියා වුඨානාය සබ්බනිමිත්තානංච මනසිකාරො අනිමිත්තයා ධාතුයා අමනසිකාරො[3]

‘ඇවැත්නි අනිමිත්ත චේතෝවිමුක්තියෙන් නැගිටීමට මේ කරුණු දෙකෙක් වේ. සියලු සංස්කාර නිමිති මෙනෙහි කිරීමයැ, අනිමිත්ත ධාතුව මෙනෙහි නො කිරීමයැ, යන දෙකයි මෙසේ වදාළ හෙයින් ඒ ඵලසමවත්හු ගේ දෙ පරිද්දෙකින් නැගීම වේ.

විශේෂ:- මෙහි සර්‍වනිමිත්ත නම් - රූප නිමිත්තයැ, වෙදනා නිමිත්ත යැ, සඤ්ඤා නිමිත්ත යැ, සඞ්ඛාර නිමිත්ත යැ, විඤ්ඤාණ නිමිත්ත යැ යන මොහු යැ. හුදෙක් මොවුන් එකවට මෙනෙහි නො කෙරේ. එකම චිත්තවිථියෙක්හි නො ලැබෙන හෙයිනි. සර්‍වසංග්‍රාහික වශයෙන් මේ සියලු රූපාදි නිමිති කියන ලදි. එහෙයින් භවාඞ්ග සිතට කර්‍ම- කර්‍මනිමිති- ගතිනිමිති අතුරින් යම්කිසිවෙක්් අරමුණු වේ නම් ඒ අරමුණු මෙනෙහි කරන පුද්ගලයාහට ඵලසමවතින් නැගීම වේය යි මෙසේ ඵලසමවත්හුගේ වුට්ඨානය දතයුතු.

8. ඵලසිතට කවර සිතක් අනන්තර ප්‍ර‍ත්‍යය වේ ද ඵලසිතට ඵලසිත ම අනන්තර ප්‍ර‍ත්‍යය වේ. භවාඞ්ග සිත හෝ අනන්තර ප්‍ර‍ත්‍යය වේ.

9. කවර සිතකට ඵලසිත අනන්තර ප්‍ර‍ත්‍යය වේ ද

මාර්‍ගසිත අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵලසිතෙක් ඇති.

ඵලසිත අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵල සිතෙක් ද ඇති.

ගොත්‍ර‍භූසිත අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵලසිතෙක් ඇති.

නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵල සිතෙක් ද ඇති.

ඒ මෙසේ යි:- මාර්‍ගවීථියෙහි ඵලචිත්තයට මාර්‍ගචිත්තය අනන්තර ප්‍ර‍ත්‍යය වේ. පූර්‍ව - පූර්‍ව ඵලචිත්තයට පසුවැ පසුවැ වූ ඵලචිත්ත ඵලයෙන් අනන්තර ප්‍ර‍ත්‍යය වේ. ඵලසමවත්හි පළමු ඵලචිත්තයට ගෝත්‍ර‍භූචිත්තය අනන්තර ප්‍ර‍ත්‍යය වේ. (මෙහි ගෝත්‍ර‍භූ නම් අනුලොමඥානයයි.)

එයින් වදාළහ.

අරහතො අනුලොමං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො. සෙඛානං අනුලොමං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන් පච්චයො[4]

රහතන් ගේ අනුලොමය ඵලසමාපත්තියට අනන්තර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. ශෛක්‍ෂයන් ගේ අනුලොමය ඵලසමාපත්තියට අනන්තර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේයැ’ කියා යි. යම් ඵලයෙකින් නිරොධයෙන් නැගීම වේ නම් ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට අනන්තරය යි.

එහි මාර්‍ගවීථියෙහි උපන් පුන්‍ය ඵලය හැර සෙසු සියල්ල ඵලසමාපත්ති වශයෙන් පවත්නේ වේ.

මෙසේ මේ ඵලය මාර්‍ගවීථියෙහි ඵලසමාපත්ති හෝ ඉපදීම් වශයෙන් වේ.

“පටිප්පස්සද්ධරථං - අමතාරම්මණං සුභං

වන්තලොකාමිසං සන්තං - සාමඤ්ඤඵලමුත්තමං

ඔජවන්තෙන සුචිනා - සුඛෙන අභිසන්‍දිතං

යෙන සාතාතිසාතෙන - අමතෙන මධුං විය

තං සුඛං තස්ස අරියස්ස - රසභූතමනුත්තරං

ඵලස්ස පඤ්ඤං හාවෙත්‍ථා - යස්මා වින්‍දති පණ්ඩිතො

තස්මාරියාඵලස්සෙතං - රසානුභවනං ඉධ

විපස්සනා භාවනාය - ආනිසංසොති වුච්චති”

‘විඩා සංසිඳ වූ - නිවන් අරමුණු කළ සුඛ

ලොබ වැනසුමින් සන්සුන් - උතුම් ලොවුතුරු පලරස

ඔදවත් සුපිරිසිදු - ඉ මිහිරි එපල සුවයෙන්

අමා රසයෙන් මුසු කළ - මීයෙන් පියායන සේ

අරිපල පිළිබඳ - රස වූ එලොවුතුරු සුව

පැනබවුන් වැඩුමෙන් - නුවණැතියෝ විඳිත් මැයි.

ඉන් අරීපල රස - වැළඳුම මැ මෙහි පිවිතුරු

විදසුන් බවුන් වැඩුමේ - අනුසස් යැයි වදාළෝ’

  1. ප:ම: ඤාණකථා 65

  2. ම:නි: මූලපණ්ණාසක 299

  3. ම:නි: මූලපණ්ණාසක 299

  4. ප:ප: පඤ්හවාර 99