ආහුන්‍යෙය භාවාදී සිද්ධිය:- යන හුදෙක් නිරෝධසමාපත්තියට සමවැදීමේ සමර්‍ථ බව පමණක් මෙහි ආනිසංස නොවේ. ආහුනෙය්‍යාදිභාව සිද්ධිය ද මේ ලෝකෝත්තර ප්‍රඥාවේ ආනිසංසයැ ව දතයුතු.
විස්තර:- අවිශේෂයෙන් චතුර්විධ වූ ම මේ ලොකොත්තර ප්‍රඥාව වැඩු හෙයින් භාවිතප්‍රඥා වූ පුද්ගල තෙමේ සදේවක ලෝකයාට ආහුනෙය්‍ය (=දුරින් ගෙනවුත් දෙන දානයට සුදුසු) වේ. පාහුණෙය්‍ය (=ආගන්තුක දානයට සුදුසු) වේ. දක්ඛිණෙය්‍ය (=පරලොව අදහා දෙන දානයට සුදුසු) වේ. අඤ්ජලිකරණීය (=දොහොත් මුදුනෙහි තබා සියලු ලෝකයා විසින්) අඤ්ජලීකර්‍මයට සුදුසු වේ. සකල ලෝකයා ගේ අනුත්තර පින්කෙත වේ.
විශේෂයෙන් මේ සතර මාර්‍ග අතුරින් පළමුවන සෝවාන් මග නුවණ වඩා මඳ වූ විදර්‍ශනාවෙන් සෝවාන් බවට පැමිණි ශ්‍රද්ධාදි මෘදු වූ ඉඳුරන් ඇත්තේ ම (දෙව් ලොව මිනිස් ලෝ විසින්) සත් සුගති භවයෙකැ ප්‍රතිසන්‍ධි වශයෙන් සසර ඇවිද දුක් කෙළවර කරන්නේ සත්තක්ඛත්තුපරම නම් වේ.
මධ්‍යම විදර්‍ශනාවෙන් ආගත වූ ශ්‍රද්ධාදි මධ්‍යම ඉන්‍ද්‍රියයන් ඇතියේ කුල දෙක තුනක පිළිසිඳීම් විසින් සසර සැරිසරා දුක් කෙළවර කරන්නේ කොලංකොල නම් වේ.
තියුණු විදසුනෙන් ආගත වූ තියුණු ශ්‍රද්ධාදි ඉඳුරන් ඇත්තේ එකම ප්‍රතිසන්‍ධියක් ලැබ සසර දුක් කෙළවර කරන්නේ ඒකබීජ නම් වේ.
කලෙකැ දෙව් ලොව ද, කලෙකැ මිනිස් ලොවදැ යි මිශ්‍රක වශයෙන් සුගති භව සතෙකැ ඉපදීම සත්තක්ඛත්තුපරමතාව යැ. කොලංකොලභාවය ද මනුෂ්‍ය - දිව්‍ය ලෝකයන්හි මිශ්‍රවැ ඉපිද දුක් කෙළවර කිරීමයි. මෙහි කුල වශයෙන් ගැනෙණුයේ මහාසාරකුලමැ යි. හෙද කුල දෙක තුනකැයි කිව ද භව සය තෙක් ද ඉපදිය හැකි යි. මිනිස් ලොව හෝ දෙව් ලොව හෝ එකම අත්බවක් ලබා දුක් කෙළවර කිරීම එකබීජීයැ. (මේ වූකලී ත්‍රිවිධ මාර්‍ගවිදර්‍ශනාවන් ගේ වශයෙන් නියමය වේ. මතු තුන්මග විදර්‍ශනා බලවත් වී නම් එකබීජි වේ. මධ්‍යම වී නම් කෝලංකොල ද, මන්‍ද වී නම් සත්තක්ඛත්තුපරම ද වේ. මේ ටීකානුගත යි.)
දෙවන (ශකෘදාගාමි) මාර්‍ගප්‍රඥාව වඩා එක්වරක් ම මිනිස් ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ශකෘදාගාමි වේ.
(මේ වූ කලී පස්වැදෑරුම් ශකෘදාගාමීන්ගෙන් අන්තය යැ. ඒ මෙසේයි:- කෙනෙක් මෙහිද ශකෘදාගාමි ඵලය ලබා මෙහිම පිරිනිවෙති. කෙනෙක් මෙහි ශකෘදාගාමිවැ දෙව්ලොව ඉපිද එහිදී පිරිනිවෙති. කෙනෙක් දෙව්ලොව ශකෘදාගාමිවැ එහිදී ම පිරිනිවෙති. කෙනෙක් දෙව් ලොව ශකෘදාගාමි වැ මෙහි ඉපිද මෙහිදී පිරිනිවෙති. කෙනෙක් මෙහිදී ශකෘදාගාමිවැ දෙව් ලොව ඉපිද එහි ආයු ඇතිතාක් සිට නැවැතැ මෙහි ඉපිද පිරිනිවෙති. මේ පස්වැන්නා මෙහි ගැනේ - ටීකා)
තුන් වන මාර්‍ගප්‍රඥාව වඩා අනාගාමී වේ. හේ ප්‍රතිසන්‍ධි වශයෙන් මෙහි නූපදනා හෙයින් එනම් වේ.
ඒ අනාගාමි තෙමේ ශ්‍රද්ධාදි පඤ්චේන්‍ද්‍රිය ධර්‍මයන් ගේ අඩු වැඩි බැවින් අන්තරා පරිනිබ්බාඨි යැ.
උපභච්ච පරිනිබ්බායී යැ
අසඞ්ඛාර පරිනිබ්බායී යැ
සසංඛාර පරිනිබ්බායී යැ
උද්‍ධංඝොත අකණිට්ඨගාමී යැ යි පස් වැදෑරුම් වේ. මේ කාමලෝකය හැර පිරිනිවෙන්නේ වෙයි.
විස්තර:- අවිහාදීන් අතුරින් යම්කිසි ශුද්ධාවාසයෙකැ ඉපිද එහි ආයුඃප්‍රමාණයෙන් මධ්‍යයට නොපැමිණ පිරිනිවෙනුයේ අන්තරාපරිනිබ්බායී යැ.
ආයු මධ්‍යය පසු කොට පිරිනිවෙනුයේ උපභච්චපරිනිබ්බායී යැ,
නිරුත්සාහයෙන් මාර්‍ග උපදවා පිරිනිවෙනුයේ අසංඛාර පරිනිබ්බායී යැ,
උත්සාහයෙන් මතු මාර්‍ග උපදවනුයේ සසංඛාරපරිනිබ්බායී යැ,
උපන් ශුද්‍ධාවාස භූමියෙන් ක්‍රමයෙන් මතු - මතු ලොකයට යමින් අකණිටාව තෙක් යන්නේ උද්‍ධංසොතඅකණිට්ඨගාමී යැ.
විශේෂ:- අවිහයෙහි උපන් කෙණෙහි රහත් වැ පිරිනිවෙන්නෙකැ, ආයු මධ්‍යයට නො පැමිණ පිරිනිවෙන්නෙක, ආයු මධ්‍යයෙහි පිරිනිවෙන්නෙක යි අන්තරාපරිනිබ්බායීහු තිදෙනෙක් හා උපභච්චපරිනිබ්බායී එකෙක, උද්ධංසොත අකණිඨගාමි එකෙකැ යි පස්දෙනකි.
ඔහු පස් දෙන අසංඛාර පරිනිබායී පසෙක සසංඛාර පරිනිබ්බායී පසෙකැ යි දස දෙනෙක් වෙති. අත්පපාදි තුනෙහි ම එසේම දසදෙනා බැගින් වෙති. අකණිඨකයෙහි උද්‍ධංසොත අකණිඨගාමී හැර සතර දෙනෙකි.
හෙද සසංකාර - අසංඛාර භේදයෙන් අටදෙනෙකැ යි මෙසේ අනාගාමී ආර්‍ය්‍යයෝ අටසාලිස් (48) දෙනෙක් වෙති.
තවද අවිහාදි පිළිවෙලින් අකණිට්ඨකය තෙක් (පිළිවෙලින්) ගොස් එහිදී රහත්වැ පිරිනිවෙනුයේ උද්‍ධංසොත අකණිට්ඨගාමි නම් වේ.
අකණිට්ඨකයට නො පැමිණි සුදස්සිය තෙක් යට සිවු බඹලොවෙහි සැරිසරා පිරිනිවෙනුයේ උද්‍ධංසොත නමි.
අකණිඨයෙහිම ඉපිද පිරිනිවෙනුයේ න උද්‍ධංසොත අකණිට්ඨගාමි යැ, යට සතර සුද්ධාවාසයන්හි ඉපිද එහිම පිරිනිවෙනුයේ න උද්‍ධංසොත - න අකණිඨගාමි යැ යි මෙසේ උද්‍ධංසොත අකණිට්ඨගාමිහු සතර දෙනෙකි. මේ එකම චතුෂ්කයක් සේ ගැනිණි.
සිව් වැනි මාර්‍ග ප්‍රඥාව වඩා කිසි කෙනෙක් ප්‍රඥාවිමුක්ත වෙති.
කිසි කෙනෙක් උභතොභාගවිමුක්ත වෙති.
කිසි කෙනෙක් ෂඩභිඥ වෙති.
කිසි කෙනෙක් ප්‍රතිසම්භිදා ප්‍රභෙදගත මහාක්‍ෂීණශ්‍රව වෙත්.
ආර්‍ය්‍යපුද්ගල භේද:- පෙරැ කී ත්‍රිවිධ සෝතාපන්නයෝ දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤාචි සතර ප්‍රතිපදා වශයෙන් දොළසෙකි.
1. ඔහු නැවැතැ ශ්‍රද්‍ධා - ප්‍රඥාධුර වශයෙන් සූවිස්සෙක - 24
2. සකදාගාමිහු විමොක්ඛමුඛ තුන ප්‍රතිපදා වශයෙන් සතර දෙනා බැගින් ගෙන දොළසෙක - 12
3. පෙරැකීසේ අනාගාමීහු අටසාළිසෙක - 48
4. රහත් හු
o පඤ්ඤාවිමුක්ත දොළසෙක - 12
o උභතොභාග විමුක්ත දොළසෙක - 12
o ත්‍රිවිද්‍යක දොළසෙක - 12
o ෂඩභිඥක දොළසෙක - 12
o ප්‍රතිසම්භිදාප්‍රාප්ත දොළසෙක - 12
o ප්‍රත්‍යෙකබුද්ධ, සම්‍යක් සම්බුද්‍ධ දෙදෙනෙක - 2
මෙසේ සියලු ආර්‍ය්‍යයෝ එක්සිය සසාලිසෙකි - 146
එහෙයින් “මග්ගක්ඛණෙ පනෙතං ජටං විජටෙති නාම. ඵලක්ඛණෙ විජටීතජටො සදෙවකස්ස ලොකස්ස අග්ගදක්ඛිණෙය්‍යො හොතී” සතර වන මාර්‍ග ක්‍ෂණයෙහිම ජටා විජටනය කෙරේ නමි. ඵල ක්‍ෂණයෙහි සුදුසු සේ ජටා විජටනය කෙළේ සදේවක ලෝකයාට අග්‍රදක්‍ෂිණාර්‍හ වේය’ යි මෙහි ආදියෙහි කියන ලදි.
අරී පැණ බවුනේ - මෙසේ නන් අනුසස් වේ
එහෙයින් නිසි නැණිතියෝ - එහි අබිරුති වඩත්වා
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤාං ච භාවයං
අතාපි නිපතො භික්‍ඛු
සො ඉමං විජටයෙ ජටං”
යන ගාථායෙහි සීල- සමාධි- ප්‍රඥා මුඛයෙන් වදාළ විශුද්‍ධි මාර්‍ගයෙහි
ප්‍රඥාභාවනානෘශංස නිර්දේශ නම් වූ තෙ විසි වන
පරිච්ඡේදය නිමියේ යි.
අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්ථවිර ස්වාමිපාදයන් කළ
විශුද්ධි මාර්ග නම් පාළි ග්‍රන්ථයේ සිංහලානුවාදය
සමාප්තයි.