කෘත්‍ය වශයෙන් චරිත දැනගන්නා ආකාරය

කෘත්‍ය නම් හැමදීම් ආදිය යි. රාගචරිතයා හමදින කල්හි මුස්න මැනෙවින් ගෙනැ යුහුසුලු නො වී වැලි නොවිසුරුවමින් නිකමල් ඇතිරියක් අතුරන්නා සේ පිරිසිදු වැ සම කොටැ හමදින්නේ ය. ද්වේෂචරිතයා මුස්න තර කොටැ ගෙනැ යුහු යුහුවැ දෙපස වැලි නඟමින් රළු හඬින් පිරිසිදුකම් නො බලා විසම කොටැ හමදින්නේ ය. මෝහචරිතයා මුස්න බුරුලින් ගෙනැ වැලි පෙරලමින් කැලිකසල අලලමින් අපිරිසිදු වැ විසම කොටැ හමදින්නේ ය. සිව්රු සේදීම් පඬු පෙවීම් ආදි සියලු කෘත්‍යයන්හි ද පිළිවෙළ මෙසේ ය.

ඒ එසේ මැ යි :- රාගචරිතයා දක්‍ෂ වැ මිහිරි ලෙස සම කොටැ සකස් කොටැ වැඩ කරන්නේ ය. ද්වේෂචරිතයා ස්ථිර වැ දැඩි ලෙස විසමකොටැ වැඩ කරන්නේ ය. මෝහචරිතයා අදක්‍ෂ වැ අවුල් ලෙස විසම කොටැ පරිච්ඡේද රහිතවැ වැඩ කරන්නේ ය. රාගචරිතයාගේ සිවුරු පෙරවුම පවා ඉතා දැඩිත් නො වේ, ඉතා සිථිලත් නො වේ. දුටුවන් පහදින සේ පරිමණ්ඩල කොටැ හාත්පසින් වට කොටැ ය. ද්වේෂචරිතයා ගේ සිවුරු පෙරවුම ඉතා දැඩි වේ. පිරිමඩුලු නො වේ. (සිවුරු එහෙන් මෙහෙන් එල්ලෙන්නේ වේ.) මෝහචරිතයාගේ සිවුරු පෙරවුම බුරුල් ය. අවුල් ය. ශ්‍ර‍ද්ධාචරිතාදීන් පිළිබඳ වැ ද මෙසේ ම දත යුතු යි.

වැළඳීම් වශයෙන් චරිත දැනැ ගන්නා ආකාරය

රාගචරිතයා සිනිඳු වූ මධුර භොජන ප්‍රිය කරන්නේ ය. වළඳන කල්හි ආලොපය ඉතා මහත් කොටැ නො ගෙනැ වට කොටැ රසවිඳිමින් සෙමෙන් වළඳන්නේ ය. මිහිරි වූ දෙයක් ලැබුණු කල සොම්නස් වන්නේ යි. ද්වේෂචරිතයා රළු වූ ඇඹුල් ආහාර ප්‍රිය කරන්නේ ය. වළඳන කල්හි ආලෝපයෙන් කට පුරවා ගෙනැ රස බැල්මක් නැති වැ යුහු යුහු වැ වළඳන්නේ ය. අමිහිරි දෙයක් ලැබුණු විට දොම්නස් වන්නේ යි. මෝහචරිතයා අනියත රුචික ය අසවල් රසයට ප්‍රිය යයි කිය නො හැකි ය. වළඳන කල්හි කුඩා ආලෝප ගෙනැ වට නොකොටැ බත්තුලු භාජනයෙහි ද හෙලමින් මුඛයෙහි ද ගා ගනිමින් වික්‍ෂිප්ත වැ නොයෙක් දේ කල්පනා කරමින් වළඳන්නේ ය. ශ්‍ර‍ද්‍ධාචරිතාදි තුන් දෙනාගේ පැවැත්ම ද පිළිවෙළින් යට කී බඳුයයි දත යුතු.