දශවිධ වූ ද මේ අශුභය ලක්‍ෂණ වශයෙන් එකෙක් ම ය. දශවිධ වූ ද මේ අශුභයාගේ ලක්‍ෂණ අපිරිසිදු බව යි. දුර්‍ගන්‍ධ බව යි. නින්‍දිත බව යි. පිළිකුල් බව යි. ඒ වානිහ මළ සිරුහි මතු වැටහෙන්නේ නො වේ. ස්ත්‍රියකග් දත් ඇ දැක්මෙන් සෑගිරි වැසි මහාතිස්ස තෙරුන්ට මෙන් ද, ඇතුපිට නැගී ගමන් ගත් රජු දැක්මෙන් සංඝරක්‍ෂිත ස්ථවිරයනට උපස්ථාන කළ සාමණේරයන්ට මෙන් ද, ජීවමානක ශරීරයෙහි ද වැටහෙන්නේ ය. මළ සිරුර සේ ජීවමාන ශරීරය ද අශුභ ය. ජීවමාන ශරීරයෙහි අශුභ ලක්‍ෂණ ආගන්තුක අලඞ්කාරයෙන් වැසී යන බැවින් නො පෙනේ. නිසර්‍ගයෙන් ම මේ ශරීරය දත් ඇට අධික කොටැ ඇති තුන්සීයක් ඇටින් නැඟුණේ ය. එක් සිය අසූවක් සන්‍ධියෙන් ගැළපුණේ ය. නවසියක් නහරින් වෙළුණේ ය. නවසියක් මස් වැදලින් ඇළවුණේ ය. තෙත් මිනිස් සමින් වැළඳුණේ ය. සිවියෙකින් වැසුණේ ය. කුඩා මහත් සිදුරු ඇත්තේ ය. මේද තෙල් පිරුණු සැළියක් මෙන් උඩින් යටින් දිලියෙන්නේ ය. පණු කැලන් විසින් සෙවුණේ ය රෝගයනට ස්ථාන ය. දුඃඛ ධර්‍මයන වස්තු ය. පැලී ගිය පරණ ගෙඩියක් මෙන් නව වූණද්වාරයෙන් නිතර කුණු වැගිරෙන්නේ ය. දෙ ඇසින් කබ ගලයි. දෙකන් බිලින් කන්කැඳුරු වැටෙයි. දෙ නාස් පුටයෙන් සොටු වැගිරෙයි. මුඛයෙන් ආහාර හා පිත හා සෙම හා ලෙහෙ හා නැගෙයි. අධො මාර්‍ග දෙකෙන් මළ-මුත්‍ර වැගිරෙයි. නවානු දහසක් රොම් කූපයෙන් අපවිත්‍ර ඩහදිය ගලයි. නිලමැසි ආදීහු පිරිවරා ගනිති. දැහැටි නො කා මුව නො දොවා හිස තෙල් නො ගා නො නා හැඳුමක් පෙරවුමක් නැති වැ නග්න ස්වභාවයෙන් නො පීරු අවුල් වූ කෙසින් යුක්ත වැ ගමින් ගමට ඇවිදින රජුගේ ද, පුස්සඬු සැඩාල් ආදීන් අතුරෙන් කිසිවකුගේ ද කිසි වෙනසක් නැත්තේ ය. අපිරිසිදු බැවින් දුගඳ බැවින් නින්‍දිත බැවින් පිළිකුල් බැවින් රජෙකුගේ ද, සැඩොලෙකුගේ ද වෙනසක් නැති. දැහැටි වළදා මුව සෝධා නන්වන් පීළියෙන් විළි තැන් වසා නන්වන් සුවඳ විලවුන් ගල්වා කුසුමාභරණාදියෙන් සැරසී “මම ය මාගේ ය” යි ගත යුතු ආකාරයට පත් කැරැ ගනිති. ආගන්තුක අලඞ්කාරයෙන් පිළිසන් වැ යන බැවින් මේ ශරීරය පිළිබඳ යථා ස්වභාව-අශුභ ලක්‍ෂණය නො දත් පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි ද ස්ත්‍රීහු පුරුෂයන් කෙරෙහි ද ප්‍රේම කරති. පරමාර්‍ථ වශයෙන් බලත් හොත් මෙහි ඇළුම් කටයුතු ස්වල්ප මාත්‍ර වූ ද තැනෙක් නැති.
ඒ එසේ මැ යි:- කෙස්-ලොම්-නිය-දත්-කෙළ-සොටු මළ මූ ආදීන් අතුරෙන් ශරීරයෙන් බැහැරට වැටුණු කිසිවකුත් කිසි කෙනෙක් අතින් පවාස්පර්‍ශ කරන්නට කැමැති නොවෙති. එබන්දක් දැකැ පෙළෙති. ලජ්ජා වෙති. පිළිකුල් කරත් බැහැරට නො වැටී ශරීරයෙහි සේස වූ දේත් වැටුණු දේ සේ මැ පිළිකුල් වුව ද මෝහාන්‍ධකාරයෙන් වැසුණු ආත්ම ස්නෙහ රාගයෙන් රත්වූවෝ ඉෂ්ට ය, කාතනය, නිත්‍යය, සුඛය යි ගනිති. එසේ ගන්නා හා ඔව්හු කැලේ පිපි කෑල රුක දැකැ ‘එහි ගිලිහී නො වැටුණු මල් මේ එල්ලෙන්නේ මස් කැබලිය”යි වෙහෙසට පවත්වන ජර නරි සමාන බවට පත්වෙති.
ජර සිවලා කැලේ - මල් පිපි කෑල රුක දැකැ
මම මස් ගසක් ලදිමි’යි - සතුටින් ලොබින් දිවැ ගොස්
වැටුණු වැටුණු මල - ඩැ ඩැ ‘මෙය මස නොවේ තෙලෙ
ගස ලෙලෙන්නේ මස ය’යි - සිතමින් එහි ම ලගනේ
නැණවත් දන එසේ - සිරුරින් වැටුණු කොටස ම
අසුබැ යි නො ගෙනැ රඳනා - දෙය ද අසුබැ යි ගන්නේ
නුනුවණ දන ලොවෙහි - මේ සිරුර සුබ විසින් ගෙනැ
කෙරෙමින් නොයෙක් අකුසල් - සසර දුකින් නො මිදෙනේ
එ බැවින් නැණවතුනි! - මළ මිනිය හා දිවමන්
මෙ කුණු සිරුර පවතින පිළිකුල් බව ම සලකවු.
කීයේ මැ යි:-
“දුග්ගන්‍ධො අසූචි කායො - කුණපො උක්කරූපමො
නින්‍දිතො චක්ඛුභූතෙහි - කායො බාලාභිනන්‍දිතො
අල්ලචම්මපටිච්ඡන්තො - නවද්‍වාරො මහාවණො
සමන්තතො පග්ඝරති - අසූචි පූතිගන්‍ධියො
සචෙ ඉමස්ස කායස්ස - අන්තො බාහිරතො සියා
දණ්ඩං නූණ ගහෙත්‍ථාන - කාකෙ සොණෙ ව වාරයෙ.”
‘මේ කය දුර්‍ගන්‍ධය, අපවිත්‍රය, කුණුය, කසළ ගොඩක් හෝ වර්චස්කූපයක් බඳු ය. නුවණැතියන් විසින් නින්‍දිතය, මූඪයන් විසින් අභිනන්‍දිත යි.’
‘මේ කය තෙත් සමකින් පිළිසන් ය. නව දොරක් ඇත්තේ ය. මහාව්‍රණයකි. කුණු ගඳ ඇති අසූචි හාත්පසින් වැගිරෙයි.’
‘මේ කයෙහි ඇතුළු පැත්ත ඉදින් පිට පැත්තට හැරුණේ නම් ඒකාන්තයෙන් දඬුමුගුරු ගෙන කවුඩන් බල්ලන් එළවන්නට සිදුවන්නේ ය.’
එබැවින් පණ්ඩිත යෝගාවචර විසින් දිවමන් සිරුර වේවා මළ සිරුර වේවා අශුභ ලක්‍ෂණය පෙණෙන කො තැන හෝ නිමිති ගෙනැ කර්‍මස්ථානය අර්පණාවට පමුණුවා ගත යුතුයි.
සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධිමාර්‍ගයෙහි
සමාධිභාවනාධිකාරයට ඇතුළත්
සවැනි අශුභ කර්‍මස්ථාන නිර්‍දෙශය යි.