ලෝකවිදු

ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වප්‍ර‍කාරයෙන් ලෝකය දන්නා බැවින් “ලෝකවිදූ” නම් වන සේක.

ඒ එසේ මැ යි - උන්වහන්සේ ස්වභාව වශයෙන් ද, සමුදය වශයෙන් ද, නිරෝධ වශයෙන් ද, නිරෝධොපාය වශයෙන් ද යන සර්‍වප්‍ර‍කායෙන් ලෝකය දත් සේක. (ස්වභාව වශයෙන් දැක්ම නම් දුඃඛ වශයෙන් දැක්ම ය. සමුදය වශයෙන් දැක්ම නම් ඒ දුඃඛය යමෙකින් වේ නම් ඒ තෘෂ්ණා වශයෙන් දැක්ම ය. නිරෝධ වශයෙන් දැක්වීම නම් යම් තැනෙක ඒ දුඃඛ ස්වභාවය නිරුද්ධ වේ ද ඒ නිර්‍වාණ වශයෙන් දැක්ම ය. නිරෝධ උපාය වශයෙන් දැක්ම නම් ආර්‍ය්‍යමාර්‍ග වශයෙන් දැක්ම යි. මෙහි ලෝක නම් පඤේචාපාදානස්කන්‍ධ ලෝක යි.) “ලෝක” යන්නෙන් පඤේචාපාදාන ස්කන්‍ධලොකය වදාළ බවට දෙශනාවෙක් මෙසේ යි.

“යත්‍ථ ඛො ආවුසො න ජායති, නි ජියති, න මියති න වචති, න උප්පජ්ජති. නාහං තා ගමනෙන ලොකස්සන්තං ඤාතෙය්‍යං දිට්ඨෙය්‍යං පත්තෙය්‍යං ති වදාමි. න චාහං ආවුසො අප්පත්‍ථාව ලොකස්සන්තා දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපිචාහං ආවුසො ඉමස්මිංයෙව ව්‍යාමත්තෙ කලෙබරෙ සඤ්ඤිම්හි සමනංක ලොකං ච පඤ්ඤාපෙමි, ලොක සමුදයංච, ලොක නිරොධං ච, ලොක නිරොධ ගාමිනිඤ්ච පටිපදං, පඤ්ඤාපෙමි.”

ගමනෙන න පත්තබ්බො - ලොකස්සන්තො කුදාචනං,

න ච අප්පත්‍වා ලොකන්තං - දුක්ඛා අත්‍ථි පමොචනං,

තස්මා භවෙ ලොකවිදූ සුමෙධො

ලොකන්තගූ වුසිතබ්‍ර‍හ්මචරියො

ලොකස්ස අන්තං සමිතාවි ඤත්‍වා

නාසිංසති ලොකමිමං පරං ච”[1] යි.

එක් කලෙක රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් භගවත් බුදුන් කරා එළඹැ “ස්වාමීනි! මම පෙර රොහිතස්ස නම් සෘෂියෙක් වැ සෘද්ධිබලයෙන් ලෝකාන්තය දක්මි”යි සිතා ගමන් කෙළෙමි. ඒ මම ලෝකාන්තය දැකැ ගන්නට නො හැකි වැ අතර දීම කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි! පා ගමනින් ගොස් ලෝකාන්තය දැකැ ගන්නට නො හැකිදැ”යි විචාළේය. එවිට බුදුහු මෙසේ වදාළහ.

ඇවැත්නි! යම් තැනෙක ජාති - ජරා - ව්‍යාධි - මරණ නැත්තේ ද, චුතිඋප්පත්ති නැත්තේ ද ඒ නිර්‍වාණ සංඛ්‍යාත ලෝකාන්තය ප්‍ර‍කෘති පාද ගමනින් ගොස් දැක්ක හැකි යයි මම නො කියමි. (චුති - උප්පත්ති නැවත ගත්තේ අපරාපර චුති උප්පත්ති සඳහා ය.)

ඇවැත්නි! ඒ නිර්‍වාණ සංඛ්‍යාත ලෝකාන්තයට නො පැමිණ දුක් අවසාන කිරීම වන්නේ යයි ද මම නො කියමි. තවද ඇවැත්නි! මේ සංඥා සහිත මනස් සහිත බඹයක් පමණ වූ ශරීරයෙහි ම මම ලෝකය ද ලෝක සමුදය ද, ලෝක නිරොධය ද, ලෝක නිරොධගාමිනී ප්‍ර‍තිපදාව ද පණවමි.

(මේ අර්‍ථයම ගාථායෙන් ද සමර්‍ථනය කරති)

‘කිසි කලෙක ලෝකාන්තය පාද ගමනින් නො යා හැකි ය. ලෝකාන්තයට නො ගොස් දුකින් මිදීම ද නො කළ හැකි ය.

එබැවින් ලෝකය දන්නා ලෝකයෙහි අන්තයට පැමිණි විසූ මාර්‍ග බ්‍ර‍හමචර්‍ය්‍යා ඇති, කෙලෙස් සන්සිඳු වූ සුප්‍රාඥ රහතන්වහන්සේ ලෝකාන්තය දැනැ මෙලොවද පරලොව ද නො පතන සේක.’

(මේ දේශනයෙහි “ලෝක” යි වදාළේ පඤ්ච උපාදානස්කන්‍ධ ලෝක ය. කෙවල සෘතු සමුත්‍ථාන රූප ලෝකය නොවේ. එහි චතුස්සත්‍යය පැණවිය නො හැක. මෙයින් භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්‍ධ සංඛ්‍යාත ලෝකය දත් හෙයින් ලෝකවිදු නම් වූ සේකැ යි කී නියා දත යුතු යි. ලෝක නම් පංච උපාදානසකන්‍ධ ලෝකය පමණෙක් ද අන්‍ය ලෝක නැත්තේ ද ඇත්නම් ඒ ලෝක උන්වහන්සේ නො දත් සේක් ද යනු විසඳන්නට මෙහි දී ලෝක විභාගය දක්වා ඒ සියලු ලෝක ද දත් පරිදි විස්තර කරති.)

සංස්කාර ලෝක, සත්ත්‍ව ලෝක, අවකාශ ලෝක යයි ලෝක ත්‍රිවිධ වේ.)

“එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා[2]” යන මේ දේශනා පාළියෙහි දැක්වුණේ සංස්කාර ලෝක ය. (‘එක් ලෝකයෙකි. එනම් සියලු සත්ත්‍වයෝ ප්‍ර‍ත්‍යයයෙන් පවත්නෝ ය.’ යනු එහි අර්‍ථ යි. මෙහි ආහාර ශබ්දයෙන් ප්‍ර‍ත්‍යය වදාළ බව දත යුතු යි. ප්‍ර‍ත්‍යයෙන් නිපදනා සියල්ල සංස්කාර ලෝක නම් වේ. ඉන්‍ද්‍රිය බද්ධ අනින්‍ද්‍රිය බද්ධ සියලු ස්කන්‍ධයෝ ‘පච්චයෙහි සංවරීයන්ති ලුජ්ජන්ති පලුජ්ජන්තී’යි කී බැවින් සංස්කාර ලෝක නම් වෙත්” යනු සන්න යි “සබ්බෙ සත්තා”යි වදාළේ පුද්ගලාධිෂ්ඨාන වශයෙනි.)

“සස්සතො ලොකො ති වා අසස්සතො ලොකො ති වා”[3] යන මේ දෙශනා පාළියෙහි දැක්වුණේ සත්ත්‍ව ලෝක ය. (‘දෘෂ්ටිගතිකයන්ගේ ශාස්වතාදි වශයෙන් ආත්මය ලෝකය යන කල්පනාව භූයො වෘත්තීන් සත්ත්‍ව විෂය වේ. සංස්කාර විෂය නො වේ, “ඉන්‍ද්‍රිය බද්ධ ස්කන්‍ධයන්ගේ සමූහය ද සන්තානය ද සත්ත්‍වලොක නම” යනු සන්න යි. සත්ත්‍ව ලෝක නම් සත්ත්‍වයෝ යි.)

“යාවතා චන්‍දිමසුරියා

පරිහරන්ති දිසා භන්ති විරොවනා

තාව සහස්සධා ලොකො

එත්‍ථ තෙ වත්තතෙ වසො”[4]

යන මේ දේශනා පාළියෙහි දැක්වුණේ අවකාශ ලෝක ය ‘සඳ හිරු දෙදෙන යම් තාක් තැන් පරිහරණය කරත් ද, බබල බබලා දිගුන් බබුලුවත් ද, ඒ තාක් තැන් එක් ලෝකයෙකි. එ බඳු දහස් ලෝකයෙකි. ඒ දහස් ලෝකයෙහි තාගේ වශය පවත්නේ ය’ යනු එහි අර්‍ථ යි. (“අනින්‍ද්‍රිය බද්ධ, රූපාදීන්ගේ සමූහය ද, සන්තානය ද අවකාශ ලෝක නමි” යනු සන්න යි. අවකාශ ලෝකයට භාජන ලෝක යනු දු නමෙකි.)

භාග්‍යවතුන් වහන්සේ සංස්කාර, සත්ත්‍ව, අවකාශ යන මේ ත්‍රිවිධ ලෝක ම දත් සේක. එහෙයින් උන්වහන්සේ ලෝකවිදු ය.

(මේ ත්‍රිවිධ ලෝක පිළිබඳ තව ද විස්තරයක් කරති.)

සංස්කාර ලෝකය

“ලෝක එකෙකි - එනම් සියලු සත්ත්‍වයෝ ප්‍ර‍ත්‍යයෙන් පවත්නෝ ය.

“ලෝක දෙකෙකි - එනම් නාම - රූප ය.

“ලෝක තුනෙකි - එනම් සුඛ, දුඃඛ, උපෙක්‍ෂා යන ත්‍රිවෙදනාය.

“ලෝක සතරෙකි - එනම් කබලීකාර, ඵස්ස, මනො සඤේචතනා,

විඤ්ඤාණ යන සතර ය.

“ලෝක පසෙකි - එනම් පංච උපාදානස්කන්‍ධයෝ ය.

“ලෝක සයෙකි - එනම් ආධ්‍යාත්මික ආයතන සය ය.

“ලෝක සතෙකි - එනම් විඥාන සථිති සත ය.

“ලෝක අටෙකි - එනම් අෂ්ට ලෝක ධර්‍ම ය.

“ලෝක නවයෙකි - එනම් සත්ත්‍වාවාස නව ය.

“ලෝක දසයෙකි - එනම් ආයතන දස ය.

“ලෝක දෙලොසෙකි - එනම් ආයතන දොලොස ය.

“ලෝක අටලොසෙකි - එනම් ධාතු අටලොස ය.”

මේ සංස්කාර ලෝක යි උන්වහන්සේ මේ සියල්ල දත් සේක. (නිර්‍වාණය ද, මාර්‍ග-ඵල ද සංස්කාර ලෝකයට ඇතුළත් නොවේ. නිර්‍වාණය ප්‍ර‍ත්‍යයෙන් නො පවත්නේ ය. මාර්‍ග-ඵල ප්‍ර‍ත්‍යයෙන් නිපන් ද ලෝකොත්තර බැවින් සංස්කාර නො වන්නේ ය. සංස්කාර වනාහි අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත යි.)

සත්ත්‍වලෝකය

භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්‍වයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා සේක. එසේ ම අප්පරජකඛ, මහාරජක්ඛ, තික්ඛින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, සුවිඤ්ඤාපය, දුවිඤ්ඤාපය, භව්‍ය, අභව්‍ය සත්ත්‍වයන් දන්නා සේක. එසේ උන්වහන්සේ සත්ත්‍ව ලොකය ද දන්නා බැවින් ලෝකවිදු වන සේක.

ආශය - “යම් සේ මෘගයෝ ගෝචරයට ගොස් නැවත අවුත් යම් තැනෙක හොවිද්ද හෝ ඔහුට ආශය නම් වේ ද, එසේ ම සිත ද අන්‍යථා ප්‍ර‍වෘත්ති වැ ද අවුත් යම් තැනෙක හොවී නම් හේ ඔහුට ආශය යි කියනු ලැබේ. හෙ ද ශාශ්වත දෘෂ්ට්‍යාදි විසින් චතුර්විධ වේ.

කීයේ මැනු.

“සස්සතුච්ඡෙද දිට්ඨි ච - ඛන්ති වෙවානුලොමිකී

යථාභූතං ච යං ඤාණං - එතං ආසය සද්දිතං” යි.

මෙහි ශාශ්වතය, උචේඡේදය යන දෘෂ්ටීහු දෙදෙන වට්ටය ආශ්‍ර‍ කළ පුහුදුන්ගේ ආශය, විවට්ටය ආශ්‍ර‍ය කළ ශුද්ධ සත්ත්‍වයනට වනාහි අනුලොම ක්‍ෂාන්තිය, යථාභූත ඥානය යන ආශය” යනු සන්නයි.)

අනුශය - මාර්‍ගයෙන් ප්‍ර‍හීණ නො කළ බැවින් සන්තානයෙහි නිදි ගෙනැ මෙන් සිටින සුදුසු කරුණක් ලැබීමෙන් නැගී එන රාගාදි කේලශයෝ සත්දෙන අනුශයයෝ ය.

චරිත - සුචරිත, දුශ්චරිත, රාගාදි ෂට් චරිත හෝ

අධිමුක්ති - (“අධිමුක්ති නම් අධ්‍යාශය ධාතු යි. හේ ද්විවිධ වේ. හීනාධිමුක්තිය, ප්‍ර‍ණීතාධිමුක්තිය යි” යනු සන්න යි.)

අප්පරජක්ඛ - මඳ වූ කෙලෙස් රජස් ඇති ප්‍ර‍ඥා නේත්‍ර‍ ඇත්තා වූ නොහොත් උත්සන්න නො වූ රාගාදි රජස් ඇත්තා වූ

මහාරජක්ඛ - මහත් වූ කෙලෙස් රජස් ඇති ප්‍ර‍ඥා නේත්‍ර‍ ඇත්තා වූ නොහොත් උත්සන්න රාගාදි රජස් ඇත්තා වූ.

තික්ඛින්‍ද්‍රිය - තීක්‍ෂණ වූ ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රිය ඇති.

මුදින්‍ද්‍රිය - මෘදු වූ ශ්‍ර‍ද්‍ධාදි ඉන්‍ද්‍රිය ඇති

ස්වාකාර - සුන්‍දර වූ ආකාර ඇති - කල්‍යාණ ප්‍ර‍කෘති ඇති

ද්වාකාර - අයහපත් ආකාර ඇති නරක ප්‍ර‍තිපත්ති ඇති

සුවිඤ්ඤාපය - පහසුවෙන් ධර්‍මය හැඟවිය හැකි

දුවිඤ්ඤාපය - පහසුවෙන් ධර්‍මය හැඟවිය නොහැකි

භව්‍ය - කර්‍මාවරණ, විපාකාවරණ, කේලශාවරණ නැති

අභව්‍ය - කර්‍මාවරණ, විපාකාවරණ, කේලශාවරණ ඇති

(කර්‍මාවරණ නම් ආනන්තරිය කර්‍ම කළ. විපාකාවරණ නම් අහේතුක ද්විහේතුක, ප්‍ර‍තිසන්‍ධික, ක්ලේශාවරණ නම් නියත මිථ්‍යාදෘෂ්ටික.)

අවකාශලෝකය

තථාගතයන් වහන්සේ සත්ත්‍ව ලෝකය සේ ම අවකාශ ලෝකය ද දත් සේක. ලෝකයක් නම් එක් සක්වළෙකි. (“නෙමිමණ්ඩල සදෘශ වූ චක්‍ර‍වාට පර්‍වතයෙන් හාත්පසින් පරික්‍ෂිප්ත හෙයින් ලෝකධාතුව චක්‍ර‍වාළය යි කියනු ලැබේ.” යනු සන්නයි) සක්වළෙක් වනාහි අයම්-විතරින් දොළොස් ලක්‍ෂ තුන්දහස් සාරසිය පණස් (123450) යොදුනෙකි. වටින් සතිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පණස් (3610350) යොදුනෙකි. බොලින් (ගනකමින්) දෙලක්‍ෂ සතලිස් දහස් (240000) යොදුනෙකි. මෙතෙක් විශාල වූ මේ මහාපෘථිවිය සාරලක්‍ෂ අසූදහසක් (480000) යොදුන් ඝන ඇති ජලය පිට පිහිටියේ ය. පෘථිවි සන්‍ධාරක ජලය යනු මේ ය. ඒ ජලය ද නවලක්‍ෂ සැටදහසක් (960000) යොදුන් ඝන ඇති වාතයෙහි පිහිටියේ ය. මේ ලෝක සංස්ථිය යි.

මෙසේ පිහිටි සක්වළ මැද මහාමේරු පර්‍වතය සූඅසූ දහසක් (84000) යොදුන් මහසයුරෙහි බැසැ පිහිටියේ ය. එතෙක් ම සයුරින් මතු නැඟී සිටියේ ය. එහි අයම් විතරද සූඅසූදහස් (84000) යොදුනි. නානාවිධ රත්නයෙන් විචිත්‍ර‍ වූ සුගන්‍ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්‍ධර, විනතක, අස්සකණ්ණ යන සප්තකූට පර්‍වතයෝ ඒ මහමේරුවට අඩින් අඩ පමණින් මහාසාගරයෙහි බැසැ සිටියෝ ය. එසේ ම නැඟී ද සිටියෝ ය.

(යුගන්‍ධරය දෙසාළිස් දහසක් (42000) යොදුන් සමුද්‍රයෙහි බැස සිටියේ එපමණක් ම නැඟී සිටියේ ය. ඊසධරය එක්විසි දහසක් (21000 යොදුන් සමුද්‍රයෙහි බැසැ සිටියේ ය. එපමණක්ම නැඟී සිටියේ ය. යනාදීන් කී නියා දත යුතු යි.) තවද මේ සප්තකූට මහාමේරුව පරික්‍ෂේප කොටැ සිටියේය. (මේරුව සිසාරා යුගන්‍ධරය ද, යුගන්‍ධරය සිසාරා ඊසධරය ද යනාදීන් පිහිටියේ යයි දත යුතු.) සතර වරම් රජදරුවන්ගේ ද, දේව යක්‍ෂයන්ගේ ද නිවාස එහි ය. මේ පර්‍වත අතර සීදන්ත සාගර පිහිටියේ ය.

හිමාලය පර්‍වතය පන්සියක් (500) යොදුන් උස ය. තුන්සියක් (300) යොදුන් අයම් විතරය. සූඅසූ දහස් (84000) කූටයන්ගෙන් ප්‍ර‍තිමණ්ඩිතය.

යම් දඹගසක් නිසා මේ ද්‍විපය ජම්බුද්‍විපය යි ප්‍ර‍කාශ වීද, එහි පිහිටි ඒ දඹගස විටින් පසලොස් (15) යොදුන් හා උසින් පණස් (50) යොදුන් හා කඳ ඇත්තේ ය. ශාඛා පණස් (50) යොදුන් දිග ඇත්තේ ය. පුලුල සියක් (100) යොදුන, උස සියක් යොදුන. අසුර භවනයෙහි චිත්‍ර‍පාටලී රුක ද, ගරුඬ භවනයෙහි සිම්ඛලී රුකද, අපරගෝයානයෙහි කදම්බ රුක ද, උරුකුරුදිවයිනෙහි කප්රුක ද, පූර්‍වවිදෙහයෙහි මහරි රුක ද, තව්තිසා භවනයෙහි පරසතු රුක ද ප්‍ර‍මාණයෙන් මෙතෙක්ම වන්නේ ය.

මේ මුළු ලෝක ධාතුව වටා පිහිටි සක්වළගල වනාහි දෙ අසූ දහසක් (82000) යොදුන් මහා සමුද්‍රයෙහි ගැලී සිටියේය. එතෙක්ම සමුදුරින් මතු නැඟී සිටියේ ය.

මේ ලෝක ධාතුයෙහි පිහිටි චන්‍ද්‍ර‍ මණ්ඩලය එකුන් පණස් (49) යොදුන සූර්‍ය්‍ය මණ්ඩලය පණස් (50) යොදුන. තව්තිසා භවනය දස දහසක් (10000) යොදුන. අසුර භවනය ද, අවීචි මහනිරය ද, ජම්බුද්‍විපය ද එසේම දසදහස් දසදහස් (10000) යොදුන. අපරගෝයානය සත්දහස් (7000) යොදුන. පූර්‍වවිදේහය ද සත්දහස් යොදුන. උතුරුකුරු දිවයින අටදහසක් (8000) යොදුනි. මේ එක එක මහාවීපයෙක් පන්සිය පන්සිය (500) කොදෙව් පිරිවර කොටැ ඇත්තේ ය. මේ සියල්ල එක් කොටැ ගත් කල්හි එක් සක්වළෙකැ යි කියනු ලැබේ. එය ම එක් ලෝකධාතුවෙක් ද වන්නේ ය. ඒ සක්වළ තුනක් අතරෙහි ලෝකන්තරිය නිරයෙකි. මෙසේ සක්වළ අනන්තය. ලෝකධාතුව ද අනන්තය. භාග්‍යවත් බුදුහු අනන්තවූ බුද්ධඥානයෙන් මේ සියලු අවකාශ ලෝකය ද දත් සේක. එබැවින් උන්වහන්සේ සකල ලෝකය දත් බැවින් ලෝකවිදු නම් වන සේක.

  1. අ:නි: චතුක්ක නිපාත 219

  2. පටි: ම: 117 බුරුම අකුරු

  3. වි:ප: ඛුද්දකනිපාත 589

  4. ම: නි: මූලප: 330