අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි පුණ්ණ තෙරණුවෝ එක්තරා පහසු ඇති තැනකට ගොස් මහණ දම් පුරනු කැමැත්තෝ තථාගතයන් වහන්සේ වෙත එළඹ, ඒ බව සැලකොට ශ්‍රමණ ධර්මය මස්තකප්‍රාප්ත කරගන්නා පරිදි කොටින් අනුශාසනාවක් කරන ලෙස ඇයැද සිටියෝ ය.
තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරණුවන්ට චරිතානුකූල අනුශාසනාවක් කොට ඉක්බිති “පුණ්ණයෙනි, තෙපි මහණදම් පිරීමට කොහි යන්නහුදැ”යි විචාල සේක. පුණ්ණ තෙරුන් වහන්සේ “ස්වාමීනි, මම සුනාපරන්ත ජනපදයට යෙමි.”යි සැලකළෝ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ හා පුණ්ණ තෙරුන් අතර මතු දැක්වෙන කථාව කැරුණේ ය.
තථාගතයන් වහන්සේ:
“පුණ්ණයෙනි, සුනාපරන්ත වැසි මිනිස්සු නපුරෝය. ඉදින් තොපට ඒ මිනිස්සු එහිදී බණින්නට පටන්ගත හොත් එකල්හි තොපි කුමක් කරන්නහු ද?”
පුණ්ණතෙරුන් වහන්සේ:
“ස්වාමීනි, මේ මිනිස්සු යහපත් මිනිස්සු ය. මොවුහු මට බනින්නාහු නමුත් අතින් පයින් නො තලති”යි සිතමි.
තථාගත:
“පුණ්ණයෙනි, ඉදින් ඒ මිනිස්සු තොපට අතින් පයින් තැළුවාහු නම් එකල්හි තොපි කුමක් කරන්නාහු ද?”
පුණ්ණ
“ස්වාමීනි, මේ මිනිස්සු යහපත් මිනිස්සු ය, මොවුහු අතින් පයින් ගසන්නාහු නමුත් මට ගල් නො ගසති.”යි සිතන්නෙමි.
තථාගත:
“පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ගල් ගසන්නාහු නම් එකල්හි කුමක් කරන්නාහු ද?”
පුණ්ණ:
“ස්වාමීනි, මොවුහු යහපත් මිනිස්සු ය, මට ගල් ගසන්නාහු නුමුත් පොලුවලින් නො ගසති”යි සිතන්නෙමි.
තථාගත:
“පුණ්ණයෙනි, ඉදින් තොපට සුනාපරන්ත වැසියෝ පොලුවලින් ගසත් නම් එකල්හි කුමක් කරන්නහු ද?”
පුණ්ණ:
“ස්වාමීනි, මේ සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සු ය. මොවුහු පොලුවලින් ගසන්නාහු මුත් ආවුධවලින් පහර නොදෙත්ය”යි සිතන්නෙමි.
තථාගත:
“පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ආවුධවලින් ගසත් නම් එකල්හි කුමක් කරන්නහු ද?”
පුණ්ණ:
“ස්වාමීනි, සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සු ය. මොවුහු ආවුධයෙන් ගසන්නා වූ නුමුත් මා නො මරති”යි සිතමි.
තථාගත:
“පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්තයෝ තොප තියුණු වූ ආවුධවලින් ඇණ කොටා මරන්නහු නම් එකල්හි කුමක් කරන්නහු ද?”
පුණ්ණ:
“ස්වාමීනි, ඉදින් සුනාපරන්තයෝ මා මරත් නම්, එකල්හි ශරීරය කෙරෙහි හා ජීවිතය කෙරෙහි කළකිරුණා වූ ඇතැම්හු දිවි නසවා ගනු පිණිස වධකයන් සොයා යන්නාහ. මම වනාහි නො සොයා ම වධකයන් ලදිමි”යි සිතන්නෙමි.
ඉක්බිති තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන් වහන්සේගේ මනා හික්මීම ගැන සාධුකාර දී සුනාපරන්තයට යනු පිණිස සමු දුන් සේක. පුණ්ණ තෙරණුවෝ සුනාපරන්තයට වැඩ ඒ වස්කාලය ඇතුළත පන්සිය දෙනකුන් උපාසක භාවයට ද පමුණුවා රහත් ව නිවන් දුටු සේක. මේ කථාව ආදර්ශයට ගෙන පුණ්ණ තෙරුන් වහන්සේ මෙන් ඉවසන්නට පුරුදු කර ගැනීමෙන් තම තමාගේ සිත් ආරක්ෂා කර ගනිත්වා!