එක් කලෙක දඹදිව කසීරට මහා දුර්භික්ෂයක් හට ගත්තේ ය. කවුඩන්ට ද ආහාර දුර්ලභ විය. නගර ග්‍රාම ඇසුරු කොට විසූ කවුඩෝ බොහෝ සෙයින් වනගත වූහ. මේ කාලයේ බෝසත්තුමා ද දියකාවකු ව ඉපිද හිමාලය වන පෙදෙසෙහි එක් විලක් ඇසුරු කොට විසුවේය. ඔහුගේ නම වීරකය, බරණැස් නුවර විසූ සවිට්ඨක නම් කවුඩෙක් කැවිඩියත් සමග ඒ වනයට ගියේ ය. දිනක් සවිට්ඨක ඒ විල සමීපයෙහි හැසිරෙනුයේ දිගේ ගැලී එහි මසුන් අල්වා කා, පියාපත් වේලමින් සිටි වීරක දැක “මේ දියකාවා නිසා බොහෝ මසුන් ලැබිය හැකිය. මොහුට උපස්ථාන කරමි”යි සිතා දියකාවා වෙත ගොස්, “හිමියනි, ඔබට උපස්ථාන කිරීමට කැමැත්තෙමි”යි කීය. දියකාවා ද “මැනව”යි කීය. සවිට්ඨක එතැන් පටන් වීරක හට උවටැන් කෙළේය. වීරක ද විලට බැස මසුන් අල්වා කා කවුඩාට ද බොහෝ මසුන් අල්වා දෙයි. කවුඩා කැමති තාක් කා ඉතිරි කොටස කැවිඩියට ද දෙයි.
මෙසේ කල් යවන අතර කවුඩාගේ මානය වැඩිණ. ඌ සිතනුයේ “මමත් කළුය. දියකාවාත් කළුය. පියාපත් පා ආදියෙන් ද දියකාවාත් මාත් සමානය. දියකාවා අල්ලන මසුන් කා මම කුමට ජීවත් වන්නෙම්ද? දියකාවාට මසුන් ගතහැකි නම් මට බැරි වන්නේ කෙසේද? මමත් අද පටන් දියකාවා මෙන් ම විලෙහි ගිලී මසුන් අල්ලා ගන්නෙමි”යි සිතා වීරකට ද ඒ බව කීය. එකල්හි වීරක, “නුඹ දියේ ගැලී මසුන් ගන්නා කුලයෙහි උපන්නේ නොවෙහිය, දියේ ගැලී නො මැරෙව”යි කී නමුත් එය ද නො පිළිගෙන තමාගේ සිත්හි හටගත්තා වූ පලාසයෙන් මුලා වූයේ විලට බැස මසුන් සෙවීමට දියේ ගැලී දිය සෙවෙල් සිඳ මතු විය නොහී දියසෙවෙල්වල පැටලැවී මළේය. දිය සෙවෙල් අතර හොට පමණක් මතු වී තුබුණේය. කැවිඩිය සැමියා දක්නට නැති ව වීරක සමීපයට ගොස් “සැමියාට කුමක් වී දැ යි දන්නෙහි දැ”යි ඇසීය. එකල්හි වීරක, -
උදක ඵල චරස්ස පක්ඛිනෝ
නිච්චං ආමකමච්ඡ භෝජිනෝ
තස්සානුකරං සවිට්ඨකෝ
සේවාලේ පලිගුණඪිතෝ මතෝ
දිය ගොඩ දෙක්හි ම හැසිරෙන්නා වූ නිතර අමු මස්ම භක්ෂණය කරන්නා වූ පක්ෂියාට අනුව වැඩ කරන්නට ගොස් දියසෙවෙල්හි පැටලී මළේ ය යි කීය. කැවිඩිය සැමියා නැත්තෙන් නැවත බරණැසට ම ගියාය.
පලාසය නිසා තමාට බැරි වැඩ කරන්නට ගොස් මළා වූ සවිට්ඨකයා මෙන් පලාසය ඇත්තෝ ඒ හේතුවෙන් නොයෙක් විට විනාශයට ද පැමිණෙන්නාහුය. පලාසය නිසා ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම් ආදියෙන් මරණින් මතු අපායට ද පැමිණෙන්නේ ය. එබැවින් අනර්ථකර වූ පලාසයට වැදිය නො හෙන පරිදි සිත් ආරක්ෂා කරත්වා!