ඊර්‍ෂ්‍යාව නිසා ප්‍රේත වූ ස්ත්‍රියක්.

සැවැත් නුවර විසූ එක් පුරුෂයකුට මත්තාය, තිස්සාය කියා භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් මත්තා අශ්‍ර‍ද්ධාවත් වූ නපුරු වූ ඊර්‍ෂ්‍යා කරන්නා වූ තැනැත්තියකි. තිස්සා කරුණාවත් වූ සාමකාමී තැනැත්තියකි. ඕතොමෝ දිනපතා භික්ෂූන් සතර නමකට දන් දෙන්නීය. සැමියා ද තිස්සාවගේ ගුණවත් බව නිසා ඈට වඩා ඇලුම් කරන්නේය. මත්තා ඇයට ඊර්‍ෂ්‍යා කරන්නීය. කිසි පිනකුදු නොකරන්නීය. ඕ තොමෝ පසු කාලයේ දී කාලක්‍රියා කොට ඊර්‍ෂ්‍යා කිරීම වූ පාපයෙන් ප්‍රේත ව උපන්නීය. ඕතොමෝ තමා කළ කර්මානුරූප වශයෙන් දුක් පසක් විඳින්නීය. එක් දවසක් ඒ ප්‍රේතිය සවස් කාලයේ ගෙයි පිටිපස තිස්සා නමින් සිටියදී ඇය ඉදිරියේ පෙනී සිටියාය. තිස්සා ඇය දැක “තී කවරියක්දැ”යි විචාළාය. එකල්හි ප්‍රේතිය මත්තා බව කීය. ඉක්බිති ඔවුන් අතර මතු දක්වන පරිදි කථාවක් වූයේ ය.

තිස්සා :

“තී මිනිස් ලොවදී කිනම් පාපයක් කෙළෙහි ද? කිනම් පාපකර්මයක විපාකයෙන් ප්‍රේතව උපන්නෙහි ද?

මත්තා :

මම චණ්ඩ වූ පරුෂ වූ ඊර්‍ෂ්‍යා කරන්නා වූ මසුරු වූ තැනැත්තියක් වීමි. ඒ මම නොමනා වචන කියා ප්‍රේත ලෝකයට පැමිණියෙමි.

තිස්සා :

තිගේ ශරීරය සෑම තැන ම ධූලි තැවරී තිබෙන්නේ කුමක් නිසා ද?

මත්තා :

එක් දවසක් තී නා පිරිසිදු ව මට වඩා හොඳින් සැරසී මා බලා සිටියදී සැමියා හා බොහෝ වේලාවක් කථා කරමින් සිටියෙහි ය. එය ඉවසිය නොහැකි මම ගෙය හැමද එකතු කර තුබූ කසල ගොඩ ගෙන තිසේ හිස මත හෙලූයෙමි. දැන් මගේ ශරීරයෙහි ධූලි තැවරී තිබෙන්නේ ඒ නිසාය.

තිස්සා :

ඒ බව මම දනිමි. අනිකකුදු දනු කැමැත්තෙමි. තිගේ ඇඟ කසන්නේ කවර හේතුවකින් ද?

මත්තා :

එක් දවසක් අපි දෙදෙනා බෙහෙත් ගෙනෙනු පිණිස වනයට ගියෙමු. එදා කහඹිලියා ගෙඩි ගෙන වුත් තිගේ සයනයෙහි රහසින් විසුරුවා ලීමි. ඒ පාපයෙන් දැන් මාගේ ඇඟ කසන්නේ ය.

තිස්සා :

එය ද මම දනිමි. අනිකකුදු අසනු කැමැත්තෙමි. එද කියනු මැනවි. නුඹට හඳින වස්ත්‍ර‍ නැත්තේ කුමන පාපයකින් ද?

මත්තා :

එක් දවසක් නුඹ සැමියා සමග මඟුල් ගෙයකට යන්නට සූදානම් ව සිටියාය. එදා මම නුඹේ ඇඳුම් සොරා ගතිමි. මට දැන් වස්ත්‍ර‍ නැත්තේ ඒ පාපයෙනි.

තිස්සා :

එය ද මම දනිමි. අනිකකුදු අසනු කැමැත්තෙමි. තිගේ ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ කවර පාපයකින් ද?

මත්තා :

මම එක් දවසක් තිගේ මල් හා සුවඳ ද විලවුන් ද ගෙන අසූචි වළක බහාලීමි. මගේ ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ ඒ පාපයෙනි.

තිස්සා :

එසේ කළ බව මම දනිමි. අනිකකුදු කියනු මැනව. තී මෙපමණ දිළිඳු වූයේ කවර හේතුවකින් ද?

මත්තා :

අප දෙදෙනාට ම වස්තුව සම ව තිබුණේ වී නමුත් මම කිසි පිනක් නො කෙළෙමි. දිළිඳු වූයේ එහෙයිනි.

තිස්සා :

තිට මා දෙන්නේ කුමක්ද? තිට දුකින් මිදෙනු පිණිස මා කරන්නේ කුමක්ද? කළ යුත්තක් ඇත්නම් කියව. කියන දෙයක් මම කරන්නෙමි.

මත්තා :

භික්ෂූන් වහන්සේ අටනමකට දන් දී මට පින් දුන මැනව. එයින් මට සැප අත් වන්නේය.

තිස්සා ඇය සුවපත් කරවනු කැමැත්තී ප්‍රේතියගේ කීම පරිදි භික්ෂූන් වහන්සේලා අටනමකට දන් දී සිවුරු ද පුදා ඇයට පින් පැමිණවූවාය. ඒ පින් අනුමෝදන් වීමෙන් ප්‍රේතිය සුවපත් වූවා ය.

පරහට ඊර්‍ෂ්‍යා කරන්නා වූ අසත්පුරුෂයන්හට මරණින් මතු මත්තාවට මෙන් ප්‍රේත ව උපදින්නට හෝ නරකයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ඉපද බොහෝ කල් දුක් වන්නට සිදුවන්නේ ය. ඔවුහු මිනිස් ලොව උපන්නාහු ද ඒ හේතුවෙන් සැමට ම යටත්ව විසිය යුතු කිසිදු ආනුභාවයක් නැත්තා වූ යාචකයන් දාසයන් වැනි පුද්ගලයෝ වෙති. අන්‍යයන් විසින් නො සලකනු ලබන්නෝ වෙති. දිළිඳු වෙති. විරූප වෙති.

මෙසේ බොහෝ ආදීනව ඇත්තා වූ මේ ඊර්‍ෂ්‍යාව නැමැති පාප ධර්මයට සිත් සතන්හි උපදින්නට නො දී නුවණැත්තෝ තම තමා ගේ සිත ආරක්ෂා කරත්වා! හදිසියෙන් සිත් සතන්හි ඊර්‍ෂ්‍යාව පහළ වූයේ ද එය ප්‍ර‍කාශ නො කොට පරපීඩනාදියෙන් ක්‍රියාවෙහි නො යොදවා වහා ම සිතින් බැහැර කොට සිත ශුද්ධ කර ගනිත්වා!