14. චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි.

චිත්තවිශුද්ධිය.

චිත්තවිශුද්ධි නම් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කැරැගැන්ම ය. මෙහි චිත්ත නම් සමාධි යි. එ් වනාහි උපචාර සමාධි, අර්පණා සමාධි ය යි ද්විවිධ වේ. උපචාර සමාධි නම් අර්පණා ප්‍රාප්තියට පූර්වයෙන් ලැබෙන කාමාවචර සමාධි ය. අර්පණාසමාධි නම් රූපාවචර අරූපාවචර සමාධි සංඛ්‍යාත අෂ්ට සමාපත්ති ය. මෙහි විස්තර යට දැක්විණි. ශීලවිශුද්ධිය ඇත්තහුට චිත්තවිශුද්ධිය ලැබිය හැකි ය.

දිට්ඨි විශුද්ධිය.

චිත්ත විශුද්ධිය ලත් යෝගී විසින් දෘෂ්ටි විශුද්ධියට පැමිණිය යුතු ය. දෘෂ්ටි විශුද්ධි නම් නාමරූප පරිග්‍රහය හෙවත් නාමරූප පිළිබඳ පිරිසිඳ දැන්මයි. ඒ දැන්ම වනාහි සංක්‍ෂෙප වශයෙන් ද කළ හැකි ය. විස්තර වශයෙන් ද කළ හැකි ය. අධ්‍යාත්ම ධර්ම දෙ කඩ කොටැ සිතා මේ නාම ය රූප නො වේ. මේ රූපය නාම නො වේ. නාමය අනෙකෙක. රූපය අනෙකක. ඒ නාම රූප දෙකින් අන්‍ය වූ ආත්මයෙක් හෝ ජීවියෙක් හෝ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැතැයි දැන ගැන්ම සංක්‍ෂෙප පරිග්‍රහ යි. මේ සඳහා නාම-රූප ලක්‍ෂණ, රස, ප්‍රත්‍යුපස්ථාන, පදස්ථාන වශයෙන් පිරිසිඳිය යුතු ය. ලක්‍ෂණ නම් ගින්නෙහි උෂ්ණත්වය මෙන් ධර්මයන්ගේ සාමාන්‍ය ස්වභාවය යි. රස නම් ගින්නෙහි පැසවන බබළන ගතිය මෙන් ධර්මයන්ගේ කෘත්‍ය හා සම්පත්තී යි ප්‍රත්‍යුපස්ථාන නම් ගින්නෙහි දුම මෙන් ධර්මයන්ගේ ඵලය යි. පදස්ථාන නම් ගින්න ඇතිවීමට හේතු මෙන් ධර්මයන්ගේ අසාධාරණ ප්‍රත්‍යය සංඛ්‍යාත ආසන්න කාරණය යි. මේ සිව් ආකාරයෙන් නාම රූප පරිග්‍රහය දෘෂ්ටි විශුද්ධි යි. මෙයින් සක්කාය දිට්ඨිය විෂ්කම්භනය වන බව දත යුතු. එයින්ම සංඥාවිපර්යාශ, චිත්තවිපර්යාෂදෘෂ්ටි විපර්යාශ යන ත්‍රිවිධ විපර්යාශ ද තුනී වන බව දත යුතු.

නාම-රූප දෙක ලක්‍ෂණාදි වශයෙන් මෙන් මැ පඨවි ධාතු ආදි චතුර්විධ ධාතු වශයෙන් ද, රූපස්කන්‍ධාදි පඤ්ච ස්කන්‍ධ වශයෙන් ද, චක්ඛායතනාදි ද්වාදස ආයතන වශයෙන් ද චක්ඛුධාතු ආදි අෂ්ටාරස ධාතු වශයෙන් ද පිරිසිඳැ දැන්ම දිට්ඨිවිසුද්ධිය යි. මේ සංක්‍ෂෙප ක්‍රමය යි.

විස්තර වශයෙන් වනාහි එක් එක් ධාතුවකට ද එක් එක් ස්කන්‍ධයකට ද එක් එක් ආයතනයකට ද එක් එක් චක්ඛාදි ධාතුවකට ද අයත් ඵස්සාදි නාම ද කෙසාදි රූප ද වෙන් කර දත යුතු යි. එසේ වෙන් කැරැ දැන ඒ එක් එක් නාමයක හෝ රූපයෙක හෝ ලක්‍ෂණාදිය වෙන් වෙන් වැ බැලිය යුතුය. ඒ විස්තරය විශුද්ධි මාර්ගයෙහි ඇත්තේ ය. යට ද දක්වන ලදි. මෙසේ බලත් ඔහුට යථාභූත දර්ශනය පහළ වේ. මේ යථාභූත දර්ශනය නැත්තේ සත්ත්වයෙක් ජීවියෙක් ආත්මයෙක් ඇතැ යි ගෙනැ එහි අවිනාශය සලකන්නේ ශාස්වත දෘෂ්ටියෙහි වැටෙයි. විනාශය සලකන්නේ උච්ඡේද දෘෂ්ටියෙහි වැටෙයි. යථාභූත දර්ශනය ඇත්තේ අඞ්ගසම්භාරය විනා රථයෙක් යි වෙනම දෙයෙක් නැතැ යි ගන්නා සේ නාම රූප දෙකින් පිටත් වෙන ම සත්ත්‍වාදියෙක් නැතැ යි ගන්නේ ය. අන්‍ධයා හා පිළා හා එක් වැ ගමන් ගන්නා සේ නාම හා රූප හා එක් වැ පවත්නේ ය යි ගන්නේ ය. විස්තර විශුද්ධි මාර්ගයෙහි බලනු.

කංඛාවිතරණ විසුද්ධිය.

දිට්ඨිවිසුද්ධිය ලත් යෝගී විසින් කංඛාවිතරණ විසුද්ධියට පැමිණිය යුතු ය. කංඛාවිතරණ විසුද්ධි නම් යට දැක්වුණු නාම රූපයන්ගේ ප්‍රත්‍යය පරිග්‍රහය යි. හෙවත් නාම රූප ඇතිවන හේතු පිරිසිඳැ දැන්ම යි. ඒ දැන්ම ද සංක්‍ෂෙප වශයෙන් ද විස්තර වශයෙන් ද ලැබ ගත හැකි ය. වස්තු හා ආරම්මණ නාම ඇති වීමේ හේතු ය. කර්ම, චිත්ත, සෘතු, ආහාර, රූප ඇතිවීමේ හේතුය. අවිද්‍යා තෘෂ්ණා, උපාදාන, කර්ම, නාමරූප ඇතිවීමේ හේතු යි. මේ සංක්‍ෂෙප පරිග්‍රහය යි. පටිච්චසමුප්පාදයෙහි පට්ඨානනය වශයෙන් දැන් ම විස්තර පරිග්‍රහය යි.

විශුද්ධිමාර්ගාගත ක්‍රමයෙන් බින්‍දු මාත්‍රයෙක් මෙසේ ය:

කංඛාවිතරණ විසුද්ධියට පැමිණෙනු කැමැති යෝගී දක්‍ෂ වෙදෙක් රෝගියකු දැකැ රෝග නිදානය සොයන්නා සේ අනුකම්පා සහිත පුරුෂයෙක් වීථියෙක උඩුකුරු වැ වැටී හුන් ළදරුවකු දැකැ ඔහුගේ මව්පියන් සොයන්නා සේ නාම රූප දැකැ ඒ නාම රූප කෙසේ වී දැ යි ඔවුන්ගේ ප්‍රත්‍යය සොයන්නේ ය. මේ කය පියුම් උපුල් තුළෙක හෝ මිණිමුතු ආරෙක හෝ උපදින්නේ නො වෙයි. පරමසම්බාධ දුර්ගන්‍ධ කුස තුළ ගවරවළෙක පණුවකු මෙන් උපදින්නේ ය. එයට අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්ම යන සතර නිබ්බත්තක හේතු ය. ආහාරය උපත්‍ථම්භක ප්‍රත්‍යය. ඉනිදු අවිද්‍යා තෘෂ්ණා උපාදාන මව මෙවන් ද කර්මය පියා මෙන් ද ආහාරය කිරි මව මෙන් ද උපකාර වේ. මෙසේ රූපකාය ප්‍රත්‍යය දැනැ ඇස හා රූපය නිසා චක්ඛුවිඤ්ඤාණ සිත උපදින්නේ ය යනාදීන් නාමකාය ප්‍රත්‍යය ද දැන ගන්නේ ය. මේ මෙසේ මෙකල ප්‍රත්‍යය වූවා සේ පෙර ද ප්‍රත්‍යය වූයේ ය. මතු ද ප්‍රත්‍යය වන්නේ ය යි දැනැ ගන්නේ ය. එසේ දැන ගනුත් ඔහුට පූර්වාන්තය නිසා පවත්නා “මම් පෙර වූයෙම් ද නො වූයෙම් ද, කෙසේ වූයෙම් ද, කෙබඳු වූයෙම් ද, කවරෙක් වැ කවරෙක් වූයෙම් ද යන පඤ්චවිධ විචිකිච්ඡා ද “මම මතු වන්නෙම් ද, නො වන්නෙම් ද යනාදීන් අපරාන්තය නිසා ඇතිවන පංචවිධ විචිකිච්ඡා ද “මම ද? නැත් ද? මම කවරෙකිම් ද, කෙබන්දෙකිම් ද, මේ සතා කොයින් ආයේ ද, හේ කොයි යන්නේ ද යන වර්තමානය නිසා පවත්නා ස වැදෑරුම් විචිකිච්ඡා ද යන සොළොස් වැදෑරුම් විචිකිච්ඡා නැති වන්නේ ය. එසේ කංඛා-විචිකිච්ඡා විතරණය කරන හෙයින් ම මෙයට කංඛාවිතරණ විසුද්ධිය යි කියනු ලැබේ.

තව ද කිසිවෙක් නාමය පිළිබඳ සාධාරණ අසාධාරණ යන ද්විවිධ හේතු ද, රූපය පිළිබඳ කර්මාදි චතුර්විධ හේතු ද සොයන්නේ ය. චක්‍ෂුරාදි ද්වාර සය හා රූපාදි ආරම්මණ සය නාමයාගේ සාධාරණ හේතු ය. කුසලාකුසලාදි සියල්ල එයින් ම වන බැවිනි. යෝනිසෝමනස්කාරාදිය අසාධාරණ හේතු ය. යෝනිසෝමනස්කාර සද්ධර්ම ශ්‍රවණාදිය කුශලයන්ට ද අයෝනිසෝමනස්කාරාදිය අකුශලයන්ට ද, කර්මය විපාකයන්ට ද භවාඞ්ගාදිය ක්‍රියාවන්ට ද ප්‍රත්‍යය වන බැවිනි. කර්ම චිත්ත සෘතු ආහාර යන සතර රූපයට ප්‍රත්‍යය. මෙකල මෙන් පෙර ද මේ මෙසේ ප්‍රත්‍යය වූයේ ය. මතු ද වන්නේ ය යි සිතත් ඔහුට තුන් කල් පිළිබඳ කංඛාවිතරණ වන්නේ ය.

තව ද කිසිවෙක් නාමරූප පිළිබඳ පටිච්චසමුප්පාදනයයෙන් ප්‍රත්‍යය සොයන්නේ ය. එයිනු දු ඔහුගේ තුන් කල් පිළිබඳ කංඛා විතරණ වන්නේ ය.

තව ද කිසිවෙක් අතීත හේතු පස හා වර්තමාන ඵල පස වශයෙන් ද වර්තමාන හේතු පස හා අනාගත ඵල පස වශයෙන් ද යනු කම්මවට්ට විපාකවට්ට වශයෙන් නාමරූප පිළිබඳ ප්‍රත්‍යය සොයන්නේ ය. එසේ සොයත් ඔහුට අතීත අනාගත වර්තමාන ධර්ම චුති පටිසන්‍ධි වශයෙන් ප්‍රකට වැ දැනෙන්නට පටන් ගනියි. ඤාතපරිඤ්ඤා යනු මේ ය. හේ මෙසේ සලකයි. “අතීත කර්ම ප්‍රත්‍යයයෙන් නිපන් ස්කන්‍ධ එහි ම නිරුද්ධ විය. අතීත කර්ම ප්‍රත්‍යයයෙන් මෙහි අන්‍ය ස්කන්‍ධ පහළ විය. අතීත භවයෙන් මෙහි එක ද දෙයෙක් නො ආයේය. මේ භවයෙහි දු කර්ම ප්‍රත්‍යයයෙන් නිපන් ස්කන්‍ධ නිරුද්ධ වෙයි. මතු භවයෙහි උපදින්නේ අන්‍ය ස්කන්‍ධය මේ භවයෙන් මතු භවයට කිසිවකු දු නො යයි. එහෙත් අතීත කර්ම හේතුයෙන් මෙහි දු මෙහි කර්ම හේතුයෙන් මතු ද ස්කන්‍ධ පහළ නො වන්නේ නොවේ” යි. මෙසේ ච්‍යුති ප්‍රතිසන්‍ධි වශයෙන් සියලු ධර්ම දනුත් ඔහුට සියලු ආකාරයෙන් නාම රූප පිළිබඳ ප්‍රත්‍යය පරිග්‍රහ ඥානය වන්නේ ය. එයින් යට දැක්වුණු සොළොස් වැදෑරුම් සැක දුරු වෙයි. එසේම “සත්‍ථරිකංඛති” යනාදීන් දැක්වෙන අෂ්ටවිධ කංඛා ද නො වෙයි. දෙසැට මිථ්‍යාදෘෂ්ටි විෂ්කම්භනය වෙයි. මෙසේ නානා නයයෙන් නාම රූප පිළිබඳ ප්‍රත්‍යය දැක්මෙන් තුන් කල්හි සැක දුරු කැරැ සිටිනා නුවණ කංඛාවිතරණ විසුද්ධි ය යි දත යුතු. ධම්මට්ඨිත ඤාණ, යථාභූත ඤාණ, සම්‍යග් දර්ශන යනු ද මේ කංඛාවිතරණ විශුද්ධිය යි. බුද්ධශාසනයෙන් පිහිට ලද්දේ මේ නුවණ ලත් තැනැත්තේ යයි කිය යුතු. චුල්ලසොතාපන්න යනු දු මේ යි.

ප්‍රශ්න.

  1. චිත්තවිශුද්ධිය යනු කිම? පැහැදිලි කරනු.
  2. දිට්ඨිවිසුද්ධිය විස්තර කරනු. එය ලැබැ ගත හැකි ක්‍රම දක්වනු.
  3. කංඛාවිතරණ විශුද්ධිය කවරේ ද?
  4. කංඛාවිතරණ විශුද්ධිය සඳහා ප්‍රත්‍යය පරිග්‍රහය කී ආකාරයකින් කළ හැකි ද?
  5. මෙයට කුමක් හෙයින් ධම්මට්ඨිතඤාණ, යථාභූතඤාණ, සම්‍යග්දර්ශන යන නම් ව්‍යවහාර කෙරේ ද? චුල්ලසෝතාපන්නයා කවරේ ද?